මදුරු දඟර කොම්පැනිවල සාක්කුවට වැටී මිනිසුන් මරන ලංකාවේ සෞඛ්‍ය බලධාරියෝ

(2011 ජුනි 21, W3Lanka) මාරාන්තික ඩෙංගු රෝගය බෝකරන මදුරුවන් විනාශ කිරීම සඳහා සාර්ථක විසඳුමක්‌ ලෙස හඳුනාගෙන ඇති බී.ටී.අයි. බැක්‌ටීරියාව ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට අදාළ අනුමැතිය ලබාදීම ඩෙංගු මර්දන ව්‍යාපාරය විසින් ප්‍රමාද කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.


පසුගිය කාලයේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම බී.ටී.අයි. බැක්‌ටීරියාව භාවිතා කිරීම පිළිබඳ රටේ මහා ප්‍රචාරයක් කළේ ය. බී.ටී.අයි. බැක්‌ටීරියාව කියුබාවෙන් ආනයනය කරන බව කියමින් කලක් නැටූ සෞඛ්‍ය බලධාරීහු ඉන් පසු එය මේ රටේ නිපදවන බව කියමින් ඩෙඟා නැටූ හ. ඉන් පසු බී.ටී.අයි. ගැන කතා අඩු විය. ඒ ඇයි?


බී.ටී.අයි. යනු Bacillus Thuringiensis Israelensis යන වදන් තුනේ මුලකුරුවලින් සැදුණු acronym එකක් හෙවත් සංකේත නාමයකි. එහෙත් සෞඛ්‍ය බලධාරීන්ට එය Big Ticket Item එකක් හෙවත් අධික ලාභ ලැබිය හැකි සිල්ලර භාණ්ඩයක් නො වීම බී.ටී.අයි. ගැන කතා ගොළු වීමට හේතු වූ බව අපේ නිරීක්ෂණයයි.


කියුබාවෙන් බැක්ටීරියාව ගෙන්වීම දිගට ම කරගෙන යන්නට නො ලැබුණේ ඊට වඩා බෙහෙවින් අඩු නිෂ්පාදන පිරිවැයකින් ලංකාවේ නිපදවන්න‍ට හැකි වූ නිසා ය. රජයට අයත් කාර්මික තාක්ෂණ ආයතනයේ අවසරය මත බී.ටී.අයි. බැක්ටීරියාව නිපදවීම පිණිස ආරම්භ කළ බයෝ ලංකා සමාගමට වසරකට බී.ටී.අයි.බැක්ටීරියා ලීටර් 10,000ක් 15,000ක් පමණ වසරකට නිපදවන්නට පුළුවන් බව ඒ දිනවල වාර්තා විණි.


බයෝ ලංකා සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට බී.ටී.අයි. බැක්ටීරියාව මිනිසුන්ට, සුරතල් සතුන්ට හෝ වන සතුන්ට විෂ නැත. මධ්‍යම මට්ටමේ හෝ ඉහළ මට්ටමේ ප්‍රමාණයකින් බී.ටී.අයි. බැක්ටීරියාව පරිසරයට යෙදූ විට විනාඩි 15කින් මදුරු ගහණය 50%කින් අඩු වී ඉතිරිය ද පැයකින් විනාශ වී යන බව එහි සඳහන් වේ.


වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂ ද්‍රව්‍ය ලියාපදිංචි කිරීමේ ඒකකය මගින්ද සහතික කර ඇති බී.ටී.අයි. බැක්‌ටීරියාව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදීගෙන මහජන සෞඛ්‍ය පරීක්‌ෂක නිලධාරීන් ඔස්‌සේ මහජනතාවට හඳුන්වා දෙන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා අනුමැතිය ලබාදී තිබියදී පවා ඩෙංගු මර්දන ව්‍යාපාරය මෙලෙස එම බැක්‌ටීරියාව භාවිතය සඳහා අනුමැතිය නොදෙන්නේ මදුරු දඟර නිෂ්පාදකයන්ගේ බලපෑම් නිසා බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව දිවයින පුවත්පත කියයි.


සෞඛ්‍ය අමාත්‍යංශයට වඩා ප්‍රබල ඩෙංගු මර්දන ව්‍යාපාරය නම් ආයතනයක් රටේ ඇති ය කීම අමූලික බොරුවකි. මේ වනාහි සෞඛ්‍ය ඇමතිවරයා බේරා වෙන කාගේ හෝ ඇඟ පිට වරද පැටවීමේ ප්‍රයත්නයකි. ඇත්ත කතාව නම්, මේ රටේ සෞඛ්‍ය අමාත්‍යංශයත්, සමස්ත ආණ්ඩුවත් මදුරු දඟර නිෂ්පාදකයන්ගේ සාක්කුවට වැටීමයි.


මදුරුවන් පලවා හැරීමට බස්නාහිර පළාතේ ජනතාව විශාල ප‍්‍රමාණයේ කන්ටේනර් පෙට්ටි හතකට පිරවිය හැකි මදුරු දඟර ප‍්‍රමාණයක් දිනකට පුළුස්සන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් යොදවා කරන ලද සමික්ෂණයක ප්‍රතිඵල ඇසුරින් පසුගියදා හෙළි කළේ ය.මදුරු දඟර අලෙවි කරන ප‍්‍රධාන පෙළේ වෙළඳ සැල් 25000ක් පමණ බස්නාහිර පළාතේ ඇති බවද එම පරීක්‍ෂණයෙන් හෙළි වී තිබේ.


ලංකාවේ කිසිදු විද්‍යාඥයෙකු හෝ සෞඛ්‍ය බලධාරියෙකු මදුරු දඟරවල ඇති අහිතකර ප්‍රතිඵල පිළිබඳ පර්යේෂණයක යෙදී නොමැති බව වාර්තා වෙයි.


අපට දැනගන්නට ලැබී ඇති අන්දමට මදුරු දඟර අලෙවි කරන සමාගම් එවැනි පර්යේෂණ වැළැක්වීම සඳහා ඇති තරම් මුදල් විසි කරයි. එබැවින් එවැනි පර්යේෂණයක් සඳහා යමකු ඉදිරිපත් වනවාත් සමගම මුදල් වියදම් කර එය වළක්වන අතර, මදුරු දඟර දැන්වීම්වලින් ආදායම් ඉලක්ක කරන ජනමාධ්‍ය සමාගම් ද ඒවායේ අහිතකර ප්‍රතිඵල පිළිබඳ පළ කිරීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරති.


Environmental Health Perspectives විද්‍යා සගරාවේ මීට වසර ගණනාවකට ඉහත 2003දී පළ කරන ලද අධයයන වාර්තාවක සඳහන් පරිදි ආසියානු වෙළඳපළවලින් මිළ දී ගන්නා ලද මදුරු දඟරවල "S-2" හෙවත් octachlorodipropyl ether නම් එක්සත් ජනපදය විසින් තහනම් කරන ලද රසායනික අඩංගු වී තිබේ. මේවා විසින් bischloromethyl ether හෙවත් BCME නම් පෙණහළු පිළිකාකාරකය නිකුත් කරන බවද, රැය පුරා මදුරු දඟර දල්වා නිදන්නන් වැඩිපුර මෙම පිළිකාකාරකවලට නිරාවරණය වන බව ද එම වාර්තාව පවසයි.


වෛද්‍යවරු මදුරුවන් පළවා හැරීම සඳහා මදුරු දඟර නිර්දේශ නොකරන අතර නිර්දේශ කරන්නේ මදුරු දැලයි. එහෙත් මදුරු දැල් තබා නිදා ගැනීමට යහනක්වත් නැති අඩු වියදම් නිවාස, අවතැන් කඳවුරු ආදියෙහි මදුරුවන් පළවා හැරීමට ඇති එකම මාධ්‍යය මදුරු දඟරයයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය බල්ලන්ට හෙනම ගහපිය.

    ReplyDelete
  2. This must be the best article I read here. Spot on buddy . This scam is killing a few "loved" kids every day.

    ReplyDelete
  3. නැද්ද නාථ දේවාලෙ පැත්තෙන් සුභාරංචියක් හෙම?

    ReplyDelete
  4. ටික කලකට ඉස්සර ජානමය වෙනසක් කරපු මදුරුවො ගැනත් මේ සමාගම් වලට චෝදනාවක් තිබුනා.
    http://groundviews.org/2009/06/01/gm-mosquitoes-unleashed-in-sri-lanka-multinational-companys-involvement-suspected/

    ReplyDelete
  5. බලන් යද්දි ඔක්කොම තමගෙ වාසියට විතරයි..!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා