පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට රු. කෝටි 26,500ක්; ඒත් රෝහලේ ශල්‍යාගාරයේ වායු සමීකරණ හදන්න සල්ලි නැහැ

ගෝල්ඩ් කෝස්ට්
(2011 ජුනි 29, W3Lanka) වායුසමීකරණ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ පවතින එකම ශල්‍යාගාරයේ සිදු කෙරෙන සියලු සැත්කම් මෙම දිනවල ඇනහිට ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන බව දිවයින වාර්තා කරයි.


හම්බන්තොට රෝහල් ශල්‍යාගාරයෙහි දිනකට සැත්කම් 60 ක්‌ පමණ සිදු කෙරෙන අතර එම සැත්කම් ඇනහිට තිබීම හේතුවෙන් දෛනික සැත්කම් ලේඛන අවලංගු කිරීමට සිදුව ඇති බව පුවත්පත පවසයි.


රෝහලේ තත්වය එසේ ය. එහෙත්, ඊයේ දිනමිණ වාර්තා කළ පරිදි 'වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන හම්බන්තොට නගරයේ සංවිධාන කටයුතු සිදුවන ආකාරය පරීක්ෂා කිරීම උදෙසා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ ඇගැයුම් නිලධාරී' පිරිසක් ඊයේ හම්බන්තොට ගිය හ.


දිනමිණට අනුව, හම්බන්තොට යනු 'වසර 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන' නගරයයි.


එහෙත්, ඇත්ත නම්, හම්බන්තොට මෙකී ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා ද නැද්ද යන්න තීරණය වන්නේ මෙම ඇගයුම් නිලධාරි පිරිස විසින් සකසනු ලබන වාර්තාව පදනම් කරගෙන නොවැම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා මහ සමුළුවේදී පොදුරාජ්‍ය මණ්‌ඩලයට අනුබද්ධිත රටවල් 71ක ඡන්දය විමසීමෙන් අනතුරුව වීමයි.


පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සත්කාරකත්වය ලබා ගැනීම සඳහා හම්බන්තොට සමග තරග වැදී සිටින්නේ ලක්ෂ පහමාරක් පමණ ජනගහණයක් ජීවත් වන ඕස්ට්‍රේලියාවේ දැඩි සංචාරක ආකර්ශනයක් ඇති, ක්‍රීඩා අංශයෙන් විශාල දියුණුවක් හා යටිතල පහසුකම් සහිත වෙරළාසන්න ගෝල්ඩ් කෝස්ට් පුරවරයයි. එය හම්බන්තොට වැනි සිහින පුරවරයක් නොව ඇත්ත ම පුරවරයකි. විස්තර සඳහා මෙතැන ඔබන්න.


හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතිය නඩත්තු කර ගන්නට සල්ලි නැති වුණාට ලංකාව 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් රුපියල් මිලියන දෙලක්ෂ හැටපන් දහසක් වැය වේ යයි ඇස්තමේන්තු කර තිබේ. එය ඉලක්කමෙන් කියනවා නම් රු.265,000,000,000කි. එනම් රු. කෝටි 26,500කි


නො කෙරෙන වෙදකමට කොච්චර ඇස්තමේන්තු කළත් මොකදැයි මෙවැනි දැවැන්ත උළෙලවල් ලංකාවේ පැවැත්වෙනවාට අකැමැති දේශද්‍රෝහීන් කියනු ඇත.


කෙසේ වෙතත්, රජය මේ වන විටත්, මෙම ක්‍රීඩා උළෙල ලංකාවට ලබා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රචාරණ කටයුතුවල යෙදෙන PMP ලෙගසි නම් විදේශ සේවා මහජන සම්බන්ධතා සමාගමට රු. මිලියන 400ක් ගෙවා ඇතැයි ආණ්ඩුවට සමීප පුද්ගලයකු වන වික්ටර් අයිවන් කර්තෘ පදවිය දරන රාවය පුවත්පත පවසයි.


හම්බන්තොට රෝහලේ ශල්‍යාගාරයේ වායු සමීකරණ පද්ධතිය ක්‍රියාත්මක තත්වයට පත් කරන්න රු. මිලියනයක්වත් වැය වන්නේ නැත.


රජය මෙවැනි මහා පරිමාණ මහජන මුදල් නාස්ති කිරීම් කෙතරම් කර තිබේ ද? හම්බන්තොට වරායේ ගල කඩන්නට පෙර එයට වතුර පිරෙව්වේ ඇයි? දැන් ගල කඩන්නට වරාය හදන්නට ගිය මුදලෙන් හතරෙන් පංගුවක් වැය වේ. 


ලෝක කුසලානය වෙනුවෙන් හැදූ සූරියවැව ක්‍රීඩාංගනයේ එයින් පසු තරග කීයක් ක්‍රීඩා කළා ද? 


ප්‍රාදේශීය නගරවල තිබෙන ක්‍රීඩාංගනයත් පළාත් පාලන ආයතන පාලකයන්ගේ හෙංචයියන් විසින් කඩ දැමීම සඳහා වංචනික ලෙස අල්ලමින් තිබේ. මේ මොහොතේත් එවැනි ක්‍රියාවක් මතුගම නගරයේ සිදු වෙමින් තිබේ. 


මෙවැනි උළෙලවල් පැවැත්වූවාට රටේ ක්‍රීඩාවේ සංවර්ධනයක් සිදු වන්නේ නැත. සිදු වෙනවා යයි කියන සංචාරක කර්මාන්තයේ දියුණුව වැනි වෙනත් දේ ද සිදු වන්නේ නැත. එහෙම වෙනවා නම්, කෝ ක්‍රිකට් ලෝක කුසලානයෙන් ලැබූ ප්‍රතිලාභ? ලෝකය පුරා ම ක්‍රිකට් පාලක මණ්ඩල ලාභ ලබද්දී අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය නඩත්තු කරන්න සිදු වී තිබෙන්නේ මහජන මුදලින්. 


මහජන මුදලින් සංදර්ශන පැවැත්වූවා කියා රටක් දියුණු වන්නේ නැත. රටක් සංවර්ධනය වීම සඳහා අවශ්‍ය යහපාලනයකි. 


ලංකාවේ රජය යනු මෙරට මහජනයා‍ගෙන් බදු මුදල් සූරා ගනිමින්, උන්මත්තක ව්‍යාපාරවල ආයෝජනය කරමින්, රජය වටා සිටින මජර පිරිස් කොමිස් හරහා ලාභ ගරා ගන්නා, පාඩු මහජනතාව පිට පටවන දැවැන්ත හොර ජාවාරමක් බව අපි මීට පෙර ද සඳහන් කර ඇත්තෙමු. 


මේ රටේ ජනතාවගේ අනාගතය අන්ධකාර කරන්නේ රජය නම් සමාගම විසිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඇයි ඕන වාරගනනක් ජනාධිපති වෙන්න පුළුවන් සංශෝධනේ ගෙනාවෙ පාර්ලිමේන්තුවෙන් අහලනෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා