නව පණ ලබන පුවත්පත් මණ්ඩලය හා පණ අදින පුවත්පත් පැමිණිලි කොමිෂම

(2011 මැයි 21, W3Lankaමේ ආණ්ඩුව තරම් නාස්තියට දූෂණයට එරෙහි වෙනත් ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ තබා ලෝක ඉතිහාසයේවත් නැත.


පසුගියදා ආණ්ඩුව සොයා ගත් තවත් නාස්තියක් වන්නේ 2002 සිට අහෝසි කර ඇති පුවත්පත් මණ්ඩලය වෙනුවෙන් තවමත් නිලධාරීන්ට වැටුප් ගෙවන බව හා ‍කාර්යාලයක් ද නඩත්තු කරන බවයි.


මේ නාස්තිය නැවැත්වීම සඳහා ආණ්ඩුව දැන් පුවත්පත් මණ්ඩලය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ 1973 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනත යළි ගෙන ඒම තුළිනි. මෙම පනත යටතේ පුවත්පත් කලාවේදීන්ට දඩ හෝ සිර දඬුවම් පැමිණවීමේ බලය පුවත්පත් මණ්ඩලයට ලැබේ.


කිසිදු අවස්ථාවක මාධ්‍යවේදීන්ට දඬුවම් ලබාදීමක් හෝ මාධ්‍යවේදීන් අධිකරණයකට ඉදිරිපත් කිරීමක් පුවත්පත් මණ්ඩලය සිදු කර නැතැයි පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසී ය.


මෙය සමාන වන්නේ මරණ දඬුවම පැමිණුව ද එය ක්‍රියාත්මක නො කරන තත්වයටයි.


මොන බයිලා කීවත් මේ අයියලාගේ කෙරුවාව ජනමාධ්‍යකරුවෝ පමණක් නො ව මුළු ලෝකය ම දනිති. දැනටත් මාධ්‍යකරුවන් සිය පෑන හසුරුවන්නේ එකී තත්වය පිළිබඳ මනා අවබෝධයකිනි. මේ වනාහි ඔවුන් බිය වැද්දීම සඳහා ගෙන එන තවත් යකෙක් බව කිව යුතු නැත.


ලෝකයේ වර්තමාන පිළිගැනීම වන්නේ මාධ්‍ය විනය සම්බන්ධ කරුණු වෙනුවෙන් වෘත්තීය ආයතන විසින් පවත්වාගෙන යන ලංකාවේ පුවත්පත් පැමිණිලි කොමිසම වැනි ආයතන වගකිව යුතු බවයි.


ලංකාවේ පුවත්පත් පැමිණිලි කොමිසම ගරා වැටීමට එක් හේතුවක් වූයේ රජයෙන් විශ්‍රාම වැටුප් දෙකක් වංචනික ලෙස ලබා ගෙන අසු වූ, අහංකාර, උඩඟු පුද්ගලයකු වූ සෑම් විජේසිංහ එහි සභාපති පදවිය දැරීමයි. ඔහුගේ කාලයේ මෙම සමථ මණ්ඩලය කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පන්නයේ පොල්කටු උසාවියක් වූ බව ලේඛකයා පවසන්නේ මෙම උසාවියේ නඩු කියා ලද අත්දැකීම් ඔස්සේ ය.


එවැනි පුද්ගලයන්ට මෙවැනි ආයතනවල තනතුරු දරන්නට දීමෙන් හා රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘති පුවත්පත් පැමිණිලි කොමිසම සමග පටලැවීමට ඉඩ දීමෙන් මෙම ලිබරල් ආයතනය විනාශ වන්නට ඉඩ හැරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන හා සියලු ජනමාධ්‍යකරුවන් වගකිව යුතු ය.


එසේ ම, ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන පුවත්පත් පැමිණිලි කොමිසමට ගරු කළේ නැත. ඒ වෙනුවට පුවත්පත් පැමිණිලි කොමිසම ඒ මාධ්‍ය ආයතන හමුවේ වැඳ වැටෙන තත්වයක් නිර්මානය වී තිබිණි.


අවසානයේදී මේ සියල්ලෙන් වාසිය සැලසී ඇත්තේ නිදහස් අදහස් ප්‍රකාශනයට බිය පාලකයන්ට ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා