ටෙරන්ස් පුරසිංහගේ මරණ වරෙන්තුව දිනමිණේ

(2011 මැයි 09, W3Lanka) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අධිපති ආචාර්ය ටෙරන්ස් පුරසිංහ අප දන්නා තරමින් නම් කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයකු නො වන ස්වාධීන විචාරකයෙකි.


මාක්ස්වාදියකු වන හේ විශේෂයෙන් ම ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ලා දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකමට ගරු කරන්නෙකි. ධනේශ්වර විරෝධියෙකි. ප්‍රගතිශීලී මහජන අරගලවලට පක්ෂපාතිත්වයක් දක්වන්නෙකි.


ඔහු වැනි චින්තකයකු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශාධිපති ධුරය දැරීම එම සරසවියට ගෞරවයකි. මක් නිසා ද යත්, අධිපති මතවාද විවේචනය කරන්නකුට පවා එවැනි තනතුරක් ලබා දීමෙන් විශ්ව විද්‍යාලය පෙන්වන්නේ සිය චින්තනමය පුළුල්කම ය.


එහෙත්, මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල බුද්ධි මණ්ඩප නො ව, සටහන් කට පාඩම් කර විභාග ලියා සමත් වී ගුරුවරුන් වී තමන් කලින් ලියා ගත්, බොහෝ විට ඒවා දුන් අය ද තමන්ගේ ගුරුවරුන්ගෙන් ලියා ගත් සටහන් කියවන (සංකල්පය නලින් ද සිල්වාගේ ය), අනුකාරකවාදී, පටු කල්පනාකාරී, දේශපාලන ප්‍රචාරකයන්ගේ හා බත් බැලයන්ගේ තෝතැනි වේ.


පුරසිංහගේ පුටුවේ වාඩි වන්නට කෙළ හළන පිරිස් සිසුන් ද උසි ගන්වමින්, රාජ්‍ය මාධ්‍ය යොදාගෙන ඔහුට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පෙනේ.


අලුත් ම අලුත් පොදු සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය නම් ශිෂ්‍ය කණ්ඩායමක් විසින් හිටි හැටියේ ම නුගේගොඩ නගර මධ්‍යයේ පුරසිංහට එරෙහිව උද්ඝෝෂණයක් කළේ ගිනි තැබීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල ද යෙදෙමිනි.


පොදු සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු බව කියන බුද්ධික රුවන් ශිෂ්‍යයා එම උද්ඝෝෂණයේදී මෙසේ පැවසූ බව මාධ්‍ය වාර්තා කළ හ, "ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ අංශාධිපති ටෙරන්ස් පුරසිංහ මහතා සති අන්ත පුවත් පතකට තීරු ලිපියක් ලියමින් කියන්නේ ශ්‍රී ලංකාවේ තිබුණේ ත්‍රස්තවාදයක් නොව රැඩිකල් තරුණවාදයක් කියලයි. මහින්ද රාජපක්ෂ මේ රැඩිකල් තරණවාදය ඝාතනය කළා කියලයි. අපි කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හෝ රජයේ ආරක්ෂක අංශ එහෙම කර තිබේ නම් ඔප්පු කරන ලෙසයි."


මෙය ඉතා මුග්ධ කතාවකි. ටෙරන්ස් පුරසිංහ පළ කරන්නේ අදහසකි. අදහස් ඉදිරිපත් කරන්නේ සංවාදය සඳහා ය. අදහස්වලට පක්ෂව හා විපක්ෂව තර්ක කළ හැකි ය. අදහස් ඔප්පු කිරීමක් අවශ්‍ය නැත. සංවාදය තුළ අදහස් ප්‍රතික්ෂේප වන්නට ඉඩක් ඇත.


එහෙත්, මොවුන් පුරසිංහගේ අදහස චෝදනාවක් ලෙස භාර ගත් බව පෙනේ. චෝදනාවක් සඳහා අවශ්‍ය වන්නේ විභාග කිරීමකි. පුරසිංහගේ චෝදනාව ඔප්පු කිරීම සඳහා අවශ්‍ය විභාගය කරන විනිසුරුවෝ කවුරු ද? ටෙරන්ස් පුරසිංහට පැමිණිලිකරු ලෙස කරුණු ඉදිරිපත් කළ හැකි,පොදු සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළ හැකි, අදාළ පාර්ශ්ව සාක්කි සඳහා කැඳවිය හැකි විනිශ්චය සභාවක් පත් කළ යුතු බව මේ උද්ඝෝෂකයන් කියන්නේ ද? මෙවැනි කරුණු ඔප්පු කරන්නැයි ඉල්ලීමෙන් යුද්ධයේ අවසන් භාගයේ සිදු වූ දේ පිළිබඳ සොයා බැලීමේ යාන්ත්‍රණයක් ගොඩනැඟීමට එක්සත් ජාතීන් කරන යෝජනාව යුක්ති යුක්ත හෙවත් legitimate වන බව මේ බත්බැලයන්ට නො තේරේ.


ලේඛකයා ටෙරන්ස් පුරසිංහගේ ලිපි උනන්දුවකින් කියවන්නෙක් හෝ ඔහුගේ දෙසුම්වලට උනන්දුවෙන් සවන් දෙන්නෙක් නො වේ. ඔහුට අනුව, පුරසිංහ යනු වමෙන් ප්‍රධාන ධාරාවේ මාකට් එකක් හදා ගත් ඊනියා බුද්ධිමය ප්‍රභූවරයෙකි. වාම හා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් ලවා හදා ගන්නා වේදිකාවලට නැඟ, හැමදාම දක්නට ලැබෙන සීයක්, එකසිය පනහක් වැනි උපරිම සෙනගක් සතුටු කළ හැකි අන්දමේ පොර ටෝක් දී වේදිකාවෙන් බැස යන සඳකි. මෙවැනි ඊනියා බුද්ධිමය ප්‍රභූවරු වම හරහා වැටී ඇති අඩ විශේෂයක් බව ලේඛකයාගේ අදහසයි. මෙසේ ලියූ විට මේ වර්ගයේ පිරිස් ලේඛකයාට වෛර කරන්නේ සරසවි පොදු ශිෂ්‍ය ව්‍යාපාරය ටෙරන්ස් පුරසිංහට වෛර කරනවාට වඩා කර්කශ ලෙස ය. එය වෙන ම කාරණයකි. එහෙත්, පුරසිංහට සිය අදහස් ප්‍රකාශ කිරීමට ඇකි නිදහස වෙනුවෙන් ලේඛකයා කොන්දේසි විරහිතව පෙනී සිටියි.


පහත පළ වන්නේ අවසානයේදී මහජන දේපලක් විය යුතු රාජ්‍ය සමාගමක් වන ලේක්හවුස් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන දිනමිණ පුවත්පත යොදාගෙන ඔහුට මරණීය තර්ජනයක් කරන ආකාරයයි.


"මගේ අදහස අනුව නම් මේ කතා කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශාධිපති ටෙරන්ස් පුරසිංහ මහතා නොවේ. මේ කතා කරන්නේ දරුස්මාන්ලාට කැලෑ පත්තර අච්චු ගහන්න ඩොලර් වියදම් කරන ලද බටහිර එන් ජී ඕ කාරයන්ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ රට නැවත වරක් අරාජිත කරන්නටය. නැවත වරක් මේ රට ලේ විලක් කරන්නටය. එමගින් ඔවුන්ගේ අක්‍රීය වූ හොර ජාවාරම නැවත ක්‍රියාත්මක කරන්නටය. ඒ සඳහා අවශ්‍ය ඕනෑම මිලක් ගෙවීමට ඔවුන් සූදානම්ය. ඒ සඳහා ඔවුන් යොදාගනු ලබන්නේ අනුන්ගේ ඩොලර්වලට කෙල හලන මේ පුරසිංහලා වැන්නවුන්ය.


"අවසාන වශයෙන් මට පුරසිංහ මහතාට කීමට තිබෙන්නේ වැදූ මවටත් උපන් දේශයටත් නිග්‍රහ කරන්නා වසලයෙක් වන බැවින් ඩොලර් කොළ ටිකකට තම නිජ භූමිය පාවා නොදෙන ලෙසයි. එසේ නොවුව හොත් පුරසිංහ මහතාගේ අවසාන හතර රියන නෝර්වේවලින් සොයා ගත යුතු වන්නේය."


මේ තර්ජනය කරන්නේ මොරටුවේ කෝලිත ජයවර්ධන නමැත්තෙකි. කොහොම ද ලංකාවේ රාජ්‍ය මාධ්‍ය කෙරුවාව? .

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Me thama Asiave Aschariya...Hora balalu Sil aran inne dawas dahaykata...

    ReplyDelete
  2. අචාර්ය ටෙරන්ස් පුරසිංහ...හානේ මෙයාගෙ පීඑච් ඩී එක කොහෙන්ද ගත්තේ ? මර්වින් සිල්වා ගිය කැම්පස් එකෙන්ද දන්නෑ ගත්තේ ? ? ( අචාර්ය උපධිය ගැන විතරයි හොඳේ !) පැරකුම් දස්සයානේ ඔව්වා හොයන්ට !අර රනවන ගැනත් හෙව්වේ පැරක්ම් නේද? .....අපි නොදන්න මොනර තැන්න !!

    ReplyDelete
  3. ටේරන්ස් පුරසිංහ යනු දුර්ලබ ගනායේ ගූරුවරයෙකී. වචනයේ පරිසමාප්තියෙන්ම ගූරුවරයෙකි. ඔහු ඡුපුරේ අනිත් ඇදුරන් මෙන් 'සුදු ටොයියන්ට' ක්ලාස් දෙන්නේ නැත. ඔහුගේ විශය බොරු කර සමත් වන්නටද ඉඩදේන්නේ නැත. මේ නිසා 'මහන්සි වනවා වෙනුවට හාන්සි වන' බොහෝ දෙනේක් පුරසිංහයන් සමග වෛයිරය.ටේරන්ස් පුරසිංහ යන්ට උතුරේ ප‍්‍රශ්ණය උතූරට පමනක් සීමා වී නොපෙනුනේය. එය සමස්ථ ඉච්චාභත්වයට පත් තරුණ පරපුරේ ගැටලූවක් ලෙස පෙනුනේය. සමහර දේශන වලදි ඔහු එය මනාව විග‍්‍රහ කර පෙන්වයි. නමුත් වර්ථමානයේ විශ්ව විද්‍යාල වල ඉන්නා පොත්ගූල්ලන්ට ඒවා තේරුම් ගැනීමට විචාර බුද්ධියක් නැත.ඒසේම ඡුපුරේ පොදු කියා ආරම්භ වන බොහෝ ශිෂ්‍ය සංගම්වල නායකයින් වීශ්ව විදයාලයට පැම්ණියේ කූමන පාසලින්ද ඔහුගේ උසස් පොළ සමත් සහතිකය නිකමට ඉල්ලා බැලිය යුතූය. ඊට හේතූවනම් මේ නායකයින් වීශ්ව විද්‍යාලයට ඇතූලත් කර ඇත්තේ යම් යම් ඔත්තූ සේවා වලිනි. මේ ආකාරයේ ශිෂ්‍ය නායකයකයකූ අප සමග වසර හතරක් ශිෂ්‍ය ව්‍යාපාරයක නිරතවී ඔත්තූ සේවයකින් වැටුප් ලබාගෙන අතේ මට්ටු වු අත් ඇකීමක් මා හට ඇත. මේ නිසා ටේරන්ස් පුරසිංහ යනට විරුද්ධව නැගීසිටින්නේ ඒවන් බළල් අතක් වන්නට බැරි නැත. කේසේ නම්ත් ටේරන්ස් පුරසිංහ මහතා මුදල් වෙනුනේ නම් සිය දේශණ කූමන දේශපාලන පක්ෂයකටවත් විකූනන්නේ නැතී බව ඉතා වගකීමෙන් සටහන් කරමී.

    ReplyDelete
  4. මෙන්න ෆැසිස්ට්වාදයේ අලුත්ම ප්‍රවණතාවය

    Link
    http://www.lankaguardian.com/2011/05/blog-post_10.html

    අමිල ගුණරත්න

    මතවාදයන් මතවාදයෙන්ම පරාජය කරනවා වෙනුවට බුද්ධි මන්දපෝෂණයෙන් පෙලීම නිසා මතවාදයන්ට පහර දීමට ඔලු පලාගන්නා , පඹයන් ගිනිතියන , මරණ වරෙන්තු අනියම් ලෙසින් සමාජගතකරන බුද්ධිමය ක්‍රියාකාරීත්වය අතින් ලෝකයේ 500 වන ස්ථානයටත් පහල සිටින ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව තවත් අබුද්ධිමය ක්‍රියාදාමයක් ආරම්භ කර ඇත. එනම් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අධිපති ආචාර්ය ටෙරන්ස් පුරසිංහ කියූ ප්‍රකාශයකට විරුද්ධව වනචාරී ක්‍රමයට විරෝධය පෑමයි. මෙම විරෝධය දැන් දිනමිණ පුවත්පත හරහා ඔහුට මරණීය තර්ජන කිරීම දක්වා දුර ගොස් තිබේ. මෙවැනි විරෝධතා ශිෂ්ට සමාජයකට නොගැලපෙන්නක් වුවද බුද්ධි දරිද්‍රතාවයෙන් පෙලෙන ලංකාවේ විශ්වවිද්‍යාල සදහා මෙවැනි ක්‍රමවේදයන් වලංගුය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා