පාලකයන්ට ප්‍රඥාව පහළ කර ගන්න රනිල්ගේ කතාව නිමිත්තක්

(2011 මැයි 04, W3Lankaඩේලි මිරර් පුවත්පතින් උපුටා ගෙන අප මෙහි පළ කළ ඡායාරූපය ජාතික හෙළ උරුමය ඊයේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවේදී ගනු ලැබූ එකකි. අධිෂ්ඨාන පූජාවට සහභාගි වන අධිෂ්ඨානය බිඳ ගත් භික්ෂුවක් සිය අත ඇති ඩිජිටල් කැමරාවෙන් ඡායාරූපයක් ගන්නා අන්දම එහි සටහන් වී ඇත.


එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන්ට තිසරණ බලෙන් ප්‍රඥාව පහළ කිරීම මෙම අධිෂ්ඨාන පූජාවේ අරමුණ විය. අබෞද්ධ බෑන් කී මූන්ට ප්‍රඥාව පහළ කිරීමට පෙර බෞද්ධ භිකෂූන් කළ යුතුව ඇත්තේ අර්බුදයට මුහුණ දී සිටින මේ රටේ පාලකයන්ට අවස්ථාවට මුහුණ දීම සඳහා ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමයි.


පාලකයන්ට සැබැවින් ම ආදරය කරන ඔවුන්ගේ හිතවතුන් මේ මොහොතේ හැසිරිය යුත්තේ වළං කඩේට පැන්න ගොනුන් විලස නො වේ. ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැහැදිලිව සඳහන් කළ අන්දමින් මේ වනාහි 1987දී ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් යුද්ධයට කොටු වී සිටි ජනතාවට ආහාර ආධාර ගුවනින් සැපයූ අවස්ථාව වැනි එකකි.


අප දකින අන්දමට නම්, මේ වනාහි කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු සංහිඳියාව ඇති කිරීමට හා ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට මහින්ද රාජපක්ෂ රජය අසමත් වීමේ ප්‍රතිඵලයයි. කිසිවකුට සවන් නො දෙන අහංකාර මානසිකත්වය තව තවත් දිරි ගන්වමින් ඔවුන් එම තත්වයට ඇද දැම්මේ යුද ජයග්‍රහණයෙන් ඔද වැඩී ලෝකයට ම අභියෝග කරන ජාතිවාදී මානසිකත්වයකට ඇද වැටී සිටි පටු කල්පනාකාරී සිංහල ජාතිවාදීහු ය. පශ්චාත් කොටි සංවිධාන සමයේ දෙමළ ප්‍රශ්නය වැඩියෙන් ජාත්‍යන්තරකරණය වෙමින් රට බෙදෙන නව බරපතල තත්වයක් නිර්මානය වෙමින් ඇති බව තේරුම් ගැනීමට ලංකාවේ පාලකයෝ අසමත් වූ හ.


දැන් ඇති වී තිබෙන ලෝක සහයෝගය මත මේ රට දෙකට කැඩෙන තත්වයට සම්පූර්ණයෙන් ම වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව හා ඔවුන්ට සහාය දුන් සිංහල ජාතිවාදී බලවේගයි.


තත්වය අතිශය බැරෑරුම් ය. ලංකාවට පැමිණ සිටින දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් රොබ්ට් ඕ බ්ලේක් පැමිණි වහා ම ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධාන‍ නායක ආර්. සම්බන්ධන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් හමු වී පැය එකහමාරක් සාකච්ඡා කළේ ය. දේශපාලන විසඳුම පිළිබඳ සාකච්ඡා සිදු වූ බව මන්ත්‍රී සුමන්තිරන් මාධ්‍යවලට පැවසී ය.


කිලිනොච්චි හා මුලතිව් බලා ඊයේ පිටත් ව ගිය බ්ලේක් බ්‍රහස්පතින්දා ආපසු කොළඹ පැමිණි පසු නැවතත් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය බලාපොරොත්තු වෙයි.


බ්ලේක්ගේ සංචාරය සිදු වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද අපරාධ චෝදනා සහිත මූන් කමිටුව ඉදිරියේ අසරණව සිටින මොහොතක ය. ලංකාව යුද අපරාධ චෝදනා විභාගයකට එරෙහිව කටයුතු කිරීම සඳහා සහයෝගය අපේක්ෂා කරන ඉන්දියාව ද දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් ලංකාවට බලපෑම් කරයි. සාකච්ඡාවලදී දැඩි ස්ථාවරයක් ගනිමින් 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කළ බලය බෙදීමට එහා ගිය දෙයක් ඉල්ලන්නැයි දෙමළ ජාතික සන්ධානයට බලපෑම් කළේ ඉන්දියාවයි. ලංකාවට ඉන්දීය සහයෝගය ලැබෙනු ඇත්තේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ලංකාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුවයි. 


දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේත්, ඇමරිකා එක්සත් ජනපදයේත් සහයෝගය ලබමින් ඉතා ප්‍රබල ස්ථානයක සිටිමින් සාකච්ඡාවලට සහභාගි වන බව පැහැදිලි ය. අද වන විට සාකච්ඡා පැවැත්වෙන ආකාරය තීරණය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ උවමනාවන් පරිදි ය.


ගිලෙන නැවෙන් මීයන් පළා යන්නා සේ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කිරීම සඳහා පත් කර ඇති ආණ්ඩු කමිටුවෙන් ඉල්ලා අස් වී ඇත. අස් වන්නට පෙර හේ අප්‍රේල් 29දා පැවති සාකච්ඡා මග හැරියේ ය.


දේශපාලන විසඳුමක් සඳහා මහින්ද රාජපක්ෂ රජයට දැඩි බලපෑමක් සිදු වන මේ මොහොතේ දෙමළ ජාතික සන්ධානයත් සමග සිදු කරන දැඩි ස්වරූපී සාකච්ඡා සඳහා හරි හමන් නියෝකජිත පිරිසක් හෝ පත් කර ගන්නට ආණ්ඩුව අසමත් වී ඇති බව පෙනේ. මෙම දුෂ්කර අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන රාජපක්ෂලා තනි කරන්නට ඉඩ ඇති පෙරහරක කසකරු ලෙස රත්නසිරි වික්‍රමනායක සලකන්නට පුළුවන.


දෙමළ ජාතිකවාදීන් ඉල්ලා සිටින දේශපාලන බලය ලබා දීමට එරෙහි සිංහල ජාතිකවාදී පාලකන්ට ජාතීන්ගේ ප්‍රශ්නයේ වඩාත් ම දුෂ්කර මොහොත එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කර දෙවසරක් යන විට උදා වී ඇත.


මේ හා සමාන තත්වයක් කොසොවෝ සම්බන්ධයෙන් ද උදා වූ අතර අවසානයේදී කොසොවෝ සර්බියාවෙන් වෙන් ව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ ජාත්‍යන්තර සහාය ලබමිනි.


ලංකාවේ ද දැන් තත්වය බොහෝ දුරට කොසොවෝහි තත්වයට සමාන ය.


යුද්ධයේ වීරයන් වෙනුවට දැන් අවශ්‍ය සාමයේ, සංහිඳියාවේ හා සාකච්ඡාවේ වීරයෝ ය.


දෙමළ ජාතික සන්ධානය සමග කරන සාකච්ඡා කඩාකප්පල් කිරීම හා දෙමළ නායකයන්ටත්, දෙමළ ජනතාවටත් හිරිහැර වන අන්දමේ ක්‍රියාමාර්ග ගැනීම මේ මොහොතේ ඊලාම්වාදයට කරන හොඳම උඩගෙඩි දීමකි.


උදා වී තත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුක්තව කරන ලද කරුණු ඉදිරිපත් කිරීමක් මෙතෙක් දේශපාලකයන්ගේ පැත්තෙන් සිදු වූයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් පමණි.


එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ශ්‍රී ලංකා ආණ්‌ඩුව සමග සාකච්ඡා කිරීම සඳහා රාමුවක්‌ ඔහුට උපදෙස් දුන් කමිටුවේ නිරීක්‍ෂණ මත සකසා ඇති බව පවසන වික්‍රමසිංහ අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව දිගින් දිගටම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සංවාදයක්‌ පවත්වාගෙන යා යුතු බව හා 2009 මැයි මාසයේ 23 වැනි දින එක්‌සත් ජාතීන්ගේ මහලේකම් හා ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයෙහි සඳහන් කළ අන්දමට "ජාත්‍යන්තර මානව හිමිකම් තත්ත්වයන්ට හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වගකීම්වලට අනුව මානව හිමිකම් ආරක්‍ෂා කිරීමටත්, වර්ධනය කිරීමටත්" ශ්‍රී ලංකාව කරන බව කී කැප වීම ක්‍රියාවෙන්ම පෙන්වීම අවශ්‍ය බව ය.


රනිල් වික්‍රමසිංහ මෙසේ ද පවසයි. "අප මූලික අවධානය යොමුකළ යුත්තේ රටේ ස්‌වෛරීභාවය පිළිබඳවය. එහි අංග දෙකක්‌ ඇත. පළමුවැන්න රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත නොගැසීමයි. රජය විසින් ජනතාවගේ අයිතීන් හා නිදහස ආරක්‍ෂා කරලීම දෙවැන්නයි. මෙයට අප විසින් ස්‌වේච්ඡාවෙන්ම ඇති කරගත් ජාත්‍යන්තර බැඳීම ද ඇතුළත්ය. ඕනෑම ආණ්‌ඩුවක්‌ සිය දේශය තුළ ඇතිවන මානව හිමිකම් පිළිබඳ ගැටලු සඳහා අවධානය යොමුකළ යුතුය. කිසියම් ආණ්‌ඩුවක්‌ ඒවා නොසලකා සිටින කල්හි ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ අර්බුද මතුවීම ස්‌වාභාවිකය. සටන්පාඨ කියමින් කෑගැසීම ඊට පිළියමක්‌ නොවේ."


"හමුදා ජයග්‍රහණයෙන් පමණක්‌ ගැටලු අවසන් වී තිරසාර සාමය උදාකරගත නොහැකිය. ප්‍රචණ්‌ඩත්වයට මග පෑදූ සමාජ ආර්ථික තත්ත්වයන් හා ආයතනික සැලසුම් වෙනස්‌ කරලීමට එමගින් අවකාශ පෑදී ඇත. දැන් අපට අවශ්‍ය මේ ගැටලුවලට හේතු බීජ හා අත්මුල් නිවාරණය කළ හැකි සාධාරණත්වයකි. ජනවර්ගයන් අතර වේදනාවන් හා වෛරයන් තීව්‍ර කරවන කිසිදු ක්‍රියාමාර්ගයක්‌ අප අනුගමනය නොකළ යුතුය. වඩාත් විවෘත වඩාත් පරිපූර්ණ හා අසමානතා නැති සමාජයක්‌ නිර්මාණය කරන අතරතුරම විපත්තියේ ගොදුරු බවට පත්වූ ජනතාවගේ අවශ්‍යතා ඉටුකරලීම පෙරදැරි කරගත් සාධාරණත්වයක්‌ කරා සංක්‍රමණය වීමේ විශ්වාසය තහවුරු කළ යුතු බව මා පවසන්නේ එබැවිනි. අපට අවශ්‍ය වනුයේ එක ලෙස ක්‍රියාකාරී හා පලදායී වන සමබර වූ ප්‍රතිපත්තීන් හා උපයෝගිතාවන්ය."


කෙළින් කියන්න බයේ මේ වෙන වචනවලින් වහෙන් ඔරෝ බසින් කියන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දිය යුතු බවයි. දෙමළ ජනතාව සමග බලය බෙදා ගත යුතු බවයි. මේ කතාව කෙළින් කියන්නට බිය වීමෙන් රනිල් වික්‍රමසිංහ පෙන්නුම් කරන්නේ අවස්ථාවට මුහුණ දිය හැකි විකල්ප නායකත්වයක් සඳහා ඔහු ද නුසුදුසු බවයි.


එක රටක් තුළ බලය බෙදා ගැනීම ගැන කතා කරන්නට බිය ලංකාවේ දේශපාලකයන්ට අපට කීමට ඇත්තේ අප මීට වසර ගණනාවකට පෙර සිට කී කතාවකි. 


සිංහල මූලික ශ්‍රී ලංකා රාජ්‍යය නො වෙනස්ව පවත්වා ගන්නට උත්සාහ කරන සියල්ලෝ සිංහල බෙදුම්වාදියෝ ය. ඔවුහු දෙමළ ජාතිවාදීන් සමග එක ම කාසියේ දෙපැත්ත වෙති. උදා වී ඇති දුෂ්කර අවස්ථාවේ ඔවුන් කටයුතු කරන්නේ රට බෙදන දෙමළ ඊලාම්වාදී උවමනාවට උඩගෙඩි දෙමිනි. රට නො බෙදා පවත්වා ගත හැක්කේ බලය බෙදා ගත හොත් පමණි. මේක කෙළින් කියන අපව කන්නට හැදුවාට ඇත්ත එයයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ලංකාවේ බලය අනිවාර්යයෙන් ම බෙදිය යුතුයි. මෙය ජාතීන් වෙන කරන රේඛාවන්ගෙන් හැකිතාක් දුරස් ව කරන්නේ නම වඩාත් යහපත් වේ. ඔබ කියන "සිංහල මූලික ශ්‍රී ලංකා රාජ්‍යය" ට විකල්පය වනුයේ එය දෙමල මුලික පලාතක් මුස්ලිම් මුලික පලාතක් හා සිංහල මුලික පළාත් ගොඩක් ලෙස බෙදීම නොව, එක ශ්‍රී ලාංකීය ජාතියක් පිළිබිඹු වන සේ තනි ජාතික ඒකක බිහි නොවන සේ බෙදිමයි. මතුපිටින් පෙනෙන විදිහට නම් දිස්ත්‍රික් මට්ටම බෙහෙවින්ම උචිතයි.

    බලය බෙදීම ගැන කෙස් පලා තර්ක කිරීම වෙනුවට ඉහළින් ම මේ බෙදීම කරලා හිටියා නම් සමහර විට සියලු පාර්ශ්ව එය පිළිගන්න ඉඩ තිබ්බා.

    මහින්ද ගේ පුරාජේරු, සැමරුම්, විවෘත කිරීම්, ලෝකෙට බැනීම් පිරිච්ච පහුගිය අවුරුදු දෙක මේ සඳහා අගේට යොදා ගන්න තිබ්බා. ඒත් කාටද කියන්නේ? මහදනමුත්තයි ගෝලයෝ රෝය්ත්තයි වගේනේ දැන් දවස ගෙවෙන්නේ.

    ReplyDelete
  2. "අඩෝ බැන්කි මූන්" සටන අසාර්ථකව ඇතිබව රොබට් බ්ලේක්ගෙ පැමිණීමෙන් පෙනේ. රාජ්‍ය තාන්ත්‍රිකව විසඳිය යුතු ප්‍රශ්ණ වලට වීරවන්ස වැනි කසිප්පු චන්ඩින් යෙදවීමෙන් ප්‍රශ්ණ වැඩිවී ඇත.

    ReplyDelete
  3. රනිල් වික්‍රමසිංහ බලය බෙදීම ගැන කෙලින් කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ , මෙවරත් කෙලින් කිවා නම් තවත් චාටර් කැමකට වඩා දෙයක් සිදු වෙන්නෙ නැත . ඇතුලෙ ගිනි ජාලාව අතරතුර මීට වඩා දෙයක් රනිල්ගෙන් බලාපොරොත්තුවීම අසාධාරනය , මට නම් මේ රනිල් වසර ගනනකට පසු රජයේ වැඩ පිලිවෙලක් පිලිබඳ දැරු හොන්දම ස්ථාවරයයි

    ReplyDelete
  4. "හමුදා ජයග්‍රහණයෙන් පමණක්‌ ගැටලු අවසන් වී තිරසාර සාමය උදාකරගත නොහැකිය .............
    ඉහත ඡේදයේ දැක්වෙන අදහස සම්පූර්ණ සත්‍යයයි.
    විපක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා ගේ මෙම ප්‍රකාශය අතිශයින්ම අගය කළයුත්තකි.
    මේ සත්‍යය දැකීමට අපේ පාලකයන්ගේ දෑස් විවරවේවා යයි පතමු.

    ReplyDelete
  5. කෙලින් කියන්නෙ නැතුව වහෙන් ඔරෝ කියන එක හොදයි මොකද කෙලින් කියන්න ගියොත් වහෙන් ඔරෝ කියන ටිකත් කියාගන්න බැරිවෙනව

    ReplyDelete
  6. 2007 nowa 1987 neda?

    ReplyDelete
  7. "පළමුවැන්න රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත නොගැසීමයි. රජය විසින් ජනතාවගේ අයිතීන් හා නිදහස ආරක්‍ෂා කරලීම දෙවැන්නයි." Read the logic in these two statements. The first one unavoidable if the second is not honored.

    Sovereignty is not a right of the ruler. It belongs to the people.

    ReplyDelete
  8. rani oya de kelin kiyala tamai dan opposition leader vela inne..edath oya tika vahen oro kivva nam ada president RANIL>>>

    ReplyDelete
  9. You talk about human rights..even to put a comment on this approval is needed..where is my right of expression???

    ReplyDelete
  10. ""අප දකින අන්දමට නම්, මේ වනාහි කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු සංහිඳියාව ඇති කිරීමට හා ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට මහින්ද රාජපක්ෂ අසමත් වීමේ ප්‍රතිඵලයයි.""

    මේ පෙනෙනේ w3lankaගේ දේශපාලනයේ දිග පළලයි. w3lanka සිතා සිටිනුයේ මහින්ද පාලනය ඔය කියන ජාතීන්ගේ ප්‍රශ්ණෙ විසඳුවේ නම් ජාත්යන්තර ප්‍රජාව 'ඒකත් වාසනාවන්' කියා ලංකවට තමුන්ගෙ පාඩුවෙ ඉන්න දෙනු ඇතැයි කියා විය යුතුය. මා මුළින්ම සිතුවේ මෙවැනි අමන විහිළු ප්‍රසිද්ධියේ කීමට තරම් තකතීරුකමක් ඇත්තේ නිර්මාල් රංජිත් දේවසිරි වැන්නවුන්ට පමණක් බවය. නමුත් පෙනී යන ලෙසට w3lanka වැනි සිඟිති ජාත්යන්තරවාදීන්ද තම තම හැකි පමණින් ජාත්යනතර ප්‍රජාවට කඩේ යාමට පටං ගෙන ඇති සෙයකි. අපටද මෙවැනි තකතීරුකම් වලට කීමට ඇත්තේ 'අනේ වාසනාවන්' යන්න පමණි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා