සිතන්න.තේරුම් ගන්න. අධිකරණයට අපහාස නො කරන්න

(2011 මැයි 02, W3Lankaව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ලකර රුපියල් ලක්‍ෂ පහක (05) මුදලක්‌ කප්පම් ලෙස ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටි මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හා පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිවුදෙනා රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා (29 දා) නියෝග කර ඇත.


එතරම් කල් ගත වීමකින් තොරව ඇප ලැබුණු මෙම ‍සැකකරු පිළිබද අප්‍රේල් 22දා දිවයින පුවත්පත වාර්තා කළේ මෙසේ ය:


කෘෂි නිෂ්පාදන හා හෝටල් ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු ජාතික ව්‍යාපාරියකුට අයත් ගිණුමකින් රුපියල් (98,50,000) අනූඅට ලක්‌ෂ පනස්‌ දහසක මුදලක්‌ වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධියේ සැකකරු වන රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ මහජන සම්බන්ධීකරණ ලේකම්වරයකු යෑයි කියන ඡේ. එම්. බුද්ධික ජයසිංහ නමැත්තා ලබන මස 04 වැනිදා දක්‌වා රක්‌ෂිත භාරයේ තැබීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (21) නියෝග කළ බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.


ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ඇරැයුමෙන් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා 2005 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබූ කාර්ෂ් කුරේශි නමැති ඇමරිකානු ජාතිකයා 2005 වසරේ ජුනි මාසයේ සිය මවුබිමට ගිය අවස්‌ථාවක දී ඔහුට අයත් ගිණුමකින් ව්‍යාජ අත්සන් යොදා සැකකාර ලේකම්වරයා එම මුදල ලබාගෙන තිබුණි. එවකට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ආයෝජන ප්‍රවර්ධන විධායක නිලධාරියකු ලෙස සේවය කළ සැකකරු එම විදේශ ජාතිකයා නුවරඑළිය ප්‍රදේශයේ ආරම්භ කිරීමට සැලැසුම් කොට තිබූ ව්‍යාපෘතිය අධීක්‌ෂණය භාරව සිටියදී විදේශිකයාට අයත් චෙක්‌පත ව්‍යාජ අත්සන් යොදා ඔහුගේ ගිණුමෙන් එම මුදල ලබාගෙන තිබුණි.


තම ගිණුමෙන් විශාල මුදලක්‌ අඩුවී ඇති බව දැනගත් එම විදේශ ජාතිකයා ඒ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට තිබූ අතර ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක්‌ මගින් කළ කරුණු දැක්‌වීම සලකා බැලු කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට තිබුණි.


වසර ගණනාවක්‌ තිස්‌සේ පොලිසියේ ඇසට වැලි ගසමින් සැඟවි සිටි සැකකරු මෙයට දින කිහිපයකට පමණ පෙර ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ පරණ යකඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ පහක කප්පමක්‌ ලබාගැනීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ මෝසමක්‌ මගින් ඉල්ලීමක්‌ සලකා බැලු කොටුව මහෙස්‌ත්‍රාත්වරිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කොට තිබුණි.


එම නියෝගය අනුව ඊයේ උදැසන දැඩි ආරක්‍ෂක විධි විධාන යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා තම සේවාදායකයා පසුගිය මාර්තු 31 වැනිදා දක්‌වා මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස රාජකාරි කොට ඇති බවත් බයිපාස්‌ සැත්කමකට ලක්‌කළ රෝගී පුද්ගලයකු වන ඔහුට ඕනෑම කොන්දේසියක්‌ යටතේ ඇප ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්‌වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂක අනුර ද සිල්වා මහතා වසර ගණනාවක්‌ තිස්‌සේ පදිංචිව සිටි ස්‌ථානවලින් පලාගොස්‌ සැඟවී සිටි සැකකරුගේ නම කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පුවත්පත් මගින් දැන ගැනීමට හැකිවූ බවත්, ඒ අනුව අධිකරණයට කැඳවනු ලැබූ ඔහුට ඇප ලබා නොදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කළ එම කරුණු දැක්‌වීමෙන් අනතුරුව සැකකරු සිදුකර ඇති වරදේ බරපතලකම මෙන්ම ඔහු අධිකරණය මඟහැර සිටීම යන කරුණු සලකා අධිකරණය එම ඇප ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරන බව පෙන්වා දෙමින් එම නියෝගය නිකුත් කළාය.


සිතන්න.තේරුම් ගන්න. අධිකරණයට අපහාස නො කරන්න.




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. එක නඩුවක් ගැන වචන මාලාවක් අනෙක ගැන එක චායාරුපයක් විශිෂ්ටයි පැරා ඔබේ ඉදිරිපත් කිරීමේ කලාව , අද මිනිස්සුන්ට හිතන්න දෙයක් ඉතිරි නොකළ ජනප්‍රිය ගෙඩි පිටින් දෙන මාද්‍ය කලාවක කෙළවර හිරගෙදර ,එක අතකින් මෙහෙම වෙනකොට මාද්‍ය, මිනිසුන්ට දෙයක් හිතන මාද්‍ය කලාවකට යොමුවේවි ,ඔබ ලෙස , ඒක තමා ඔබ පතන, අප පතන ජනතාවක් බිහි කිරීමේ මුල් අඩිතාලම . අධිකරණයට ජයවේවා.
    එලෙසම ශාන්ත විජේසුරිය මහතාට අත් වූ ඉරණම පිළිබද හද පත්ලෙන් නැගෙන කණගාටුව ප්‍රකාශ කරමි .

    ReplyDelete
  2. එලෙසම අද දැක්ක පුවතකට අනුව බන්ධ නා ගරගතවී සිටින ශාන්ත විජේසුරිය මහතාට ,වීර වැඩක් කල යයි කාට හෝ පෙන් නීමට කාගේ හෝ ජරාපාලකයෙක්ගේ ඉදුල් බුදින බත්බැල බන්දනාගාර නිලදාරියෙක් පහර දී තිබෙනවා , මේ නින්දිත ක්‍රියාව අප දැඩිව හෙළාදකිනවා .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා