වසර දස දහසකට පසු බල්ලන් නැවත වනගත කිරීමේ මානුෂික මෙහෙයුම කරාපිටියෙන් ඇරඹේ

(2011 මාර්තු 20, W3Lanka) ලංකාවේ කකුල් හතරේ බල්ලෝ ලක්ෂ 20ක් සිටිති. සමහර බල්ලෝ මහ මැදුරුවල සුර සැප විඳිති. අනෙක් බල්ලන්ට යන එන මං නැත.


බල්ලා ඉහළ සමාජයේදී සමාජ තත්වය පෙන්වන කැඩපතක් ද වේ. 


කෙසේ වෙතත්, තිරිසනුන් අතරින් මිනිසාට වඩාත් ම සමීප සත්වයා බල්ලා ය. බල්ලා කෙතරම් මිනිසා‍ට සමීප වූයේ ද යත්, අද වන විට කැළෑවල බල්ලන් නැති තරම් ය. ලංකාවේ නම් කැළෑ බල්ලන් විශේෂයක් ඇත්තේ ම නැත. 


බල්ලා මිනිසාගේ මිතුරකු වන්නට ගොස් සිය අනන්‍යතාව කෙතරම් නැති කර ගත්තේ ද යත්, අද වන විට ඌට මිනිසාගේ ඉඳුල් නැතිනම් කෑමක් බීමක් නැතිව මැරෙන්නට සිදු වී ඇත. ඒකත් හරියට ආණ්ඩු සමග සන්ධානගත වූ ඇතැම් විප්ලවවාදීන්ගේ ඉරණම වැනි ය. 


දැන් ලංකාව බල්ලන් ආපසු වනගත කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙය දියත් කර ඇත්තේ ආසියාවේ ආශ්චර්යය ආරම්භ වන දකුණු පළාතේ පිහිටි ගාල්ලේ කරාපිටිය රෝහලෙනි. කරාපිටිය රෝහලේ සිටි බල්ලන් 62ක් අල්ලා ගෙන ගොස් කිලෝමීටර් 12ක් දුරින් පිහිටි කොට්ටව කැළයට මුදා හළ බව කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ජයම්පති පෙරේරා වෛද්‍යතුමා අද The Nation පුවත්පතට පවසා තිබේ. 


මේ කොට්ටව කැළය යනු කුඩා වනරොදකි. ඒ මැදින් ගාල්ල සිට හිනිදුම ප්‍රදේශයට දිවෙන මහා මාර්ගය ද වැටී තිබේ. ‍එහි එක් කෙළවරක ඇගලුම් කම්හලක් ඇත. අනෙක් කෙළවරේ උසාවියක් හා රජයේ කාර්යාල ඇත. වටේ ම‍ ගෙවල් ය. 


තාම අර බල්ලෝ කැළේ ය. පහත පළ වන්නේ ඒ බල්ලන් රැස්වීමක් පවත්වා ඒකමතිකව නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයකි. මෙය අපට කොට්ටව කැළයේ සිට ෆැක්ස් කර තිබිණි. 


"වසර දස දහසක‍ට පමණ පසු අප නැවත වනගත කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් අපි අතිගරු ජනාධිපතිතුමන්ට, සෞඛ්‍ය ඇමතිතුමන්ට හා මෙම මෙහෙයුමේ මහ මොළකාර කරාපිටිය රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ජයම්පති පෙරේරා වෛද්‍යතුමාට අපේ ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු. 


මෙය වනාහි වන්නි ජනතාව මුදා ගැනීමේ මහා මෙහෙයුමට පමණක් දෙවෙනි වන මානුෂික බලු මෙහෙයුමකි. 


මෙය අපගේ උරුමය ආරක්ෂා කිරීම සඳහා මහෝපකාරී වන පියවරකි. මිනිස් ඇසුරේ සිටිමින් අපහාසයට ලක් වෙමින් නො සිට අප අනුගමනය කරමින් කොට්ටව කැළයට එන ලෙස අපි ලංකාවේ ඉතිරි බල්ලන් 1,999,938න් දඉල්ලා සිටිමු. 


කොට්ටව කැළයට පිවිසුම් පර්යන්තයක් කරාපිටිය රෝහලේ පිහිටුවා ඇත. එතැන් සිට ප්‍රවාහනය නො මිළේ ය."


(ආදර්ශය: මෝඩ වැඩ කර ඒ පිළිබද පුවත්පත්වලින් ප්‍රචාරය ලබා ගන්නට යාම අනතුරුදායක ය.)

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔයාගේ මානසික රෝගය කොහොම එකක්ද කියන්න මම දැන්නේ නෑ ඒත් ඔයාගේ මොලේ කැරකෙන මෝඩ අදහස් අනුන්ට පොවන්න හදන එක නම් මෝඩ වැඩක්....

    ඊට වඩා හොඳ නැද්ද බෙහෙත් ටිකක් ගත්තානම්!!!

    ReplyDelete
  2. උත්ප්‍රාසය දනවන මේ අපූරු ලියවිල්ල තේරෙන්නේ අපි ට විතරක් නේද?

    ඒකයි ප්‍රශ්ණේ...!!!

    ReplyDelete
  3. Kohomada Doctor ge tikiri mole...luckily he is the Acting Director at Karapitiya Hospital. Imagine...if he becomes the Director t the Hospital...imagine...if he becomes the President of Sri Lanka...ideal....

    ReplyDelete
  4. ඔබ යමක් නොදන්න බව නම් මින් මාඅවට පැදිලි වේ. ඒ ලොව බලු ගහණය ඉහල ගොස් ඇති බවයි. අනෙක් කරුණ නම් ඕනම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත යන්නයි. බල්ලන් කැලයට ගෙන ගොස් දැමීමෙ ඇති වැරද්ද කුමක්ද ? උන් වස විස දී මරා දමනවාට වඩා කැලයකට ගෙන ගොස් දැමීම යහපත් නොවන්නේද ? ඔබට ලිපි ලිවීමට මාතෘකා නැතිනම් ලිපි නොලියා ඉන්න. අනාග්තයට ප්‍රයොජනයක් නැති හෝ යමෙකුගේ දැනුම වර්ධනයටවත් ඉවහල් නොවන ගොන් ලිපි නොලියා ඉන්න. නිකන් හිස් බස් වෙනුවෙන් වටිනා සර්වර් වල ඉඩ නාස්ති නොකරන්න.

    ReplyDelete
  5. හක් හක් හා !! සිරා කතාවක් පැරා..
    මේ තිබුනේ ලංකාදීපෙත් මේ කතාව. නිකන්ම නෙවෙයි මෙයාලව ගෙනිහින් තියෙන්නේ පොලිස් ආරක්ෂාව මැද්දේ...:p
    http://www.lankadeepa.lk/2011/03/14/front_news/05.htm

    ReplyDelete
  6. ගමකට කරදර කර කර හිටපු රිලව් රැලක් අල්ලන් ගිහින් කැලේකට දාපු සිද්ධිය ටී වී එකෙන් බලාපු මෙතුමට මේ අදහස එන්න ඇති. මහදැනමුත්තයි කැකිල්ලේ රජතුමයි ලංකාවේ මේ ආශ්චර්යවත් යුගය ගැන දැනගෙන හිටියනම් අනිවා වහ කනවා.

    ReplyDelete
  7. මේ වගෙ ප්‍රඥාවන්ත, දුර දකින නුවණින් යුතු උත්තමයො රටකට වාසනාවන්,

    ඔය කැලෑ බල්ලො හීලෑකරල ගෘහාශ්‍රිත සත්වයො බවට පත් කරල ඒ අපේ ආදී මුතුන් මිත්තො කලේ ලොකුම වරදක්, දැන් බලන්න ඒ නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්න, පිස්සු බලු රෝගය, බල්ලන් දඩාවතේ යාම,රාත්‍රිය පුරා බිරීම නිසා සුව නින්දක් අහිමි වීම, මේ වගෙ තව කොපමණ ගැටලු ඇති වෙලා තියනවද?

    මේ පරිණාමයෙදි අපිට වැරදුන තැනක්ය කියල හැමෝම දැනගෙන උන්නට කිසිකෙනෙකුට මෙතෙක් කොන්ද පණ තිබ්බෙ නැහැ, මේ වරද නිවැරදි කරන්න ගතයුතු නිසි පියවර ගන්න,

    ඒ අතින් මේ අධ්‍යක්ෂ තුමාට ජාතියේ පමණක් නොවේ මුලු මිනිස් වර්ගයාගේම ගෞරවය අනිවාර්යයෙන්ම හිමි විය යුතුමයි,

    ReplyDelete
  8. ලක්ෂ 20න් 62ක් ගිහාම 19,999,938 නෙවෙයි 1,999,938 නේද...?

    ReplyDelete
  9. වරද නිවැරදි කළා. බල්ලෝ ගණිතයට දුර්වල ය.

    ReplyDelete
  10. http://www.nation.lk/2011/03/20/news14.htm

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා