හාන්සි පුටු විප්ලවවාදියෝ හා කොළඹ උද්ඝෝෂකයෝ

ලේඛකයා සිය නිවසේදී පවුලේ අය සමග ගත් ඡායාරූපයක් (නො වේ)
(2011 මාර්තු 02, W3Lanka"අද ජවිපෙ පෙලපාලිය නැරඹූයෙමි.අරක්කු බෝතලයට බත් පැකට් එකට මොනවා හරි කියමින් කෑ ගහන්න එන උදවිය වෙනුවට ඉතාම සංවිධානාත්මක ඉතාම විනයානුකූල ආකාරයක පෙලපාලියක් පැවැත්වූ අතර රජයේ අන්තෝමතිකත්වයට එරෙහිව භූමියේ සටනේ සිටින එකම පක්ෂය ජවිපෙ බව එය දකින විට මට සිතුණි.හාන්සි පුටුවලට වෙලා බ්ලොග් ලියන පැරකුම්ලාට මේවා නිකම් නිකම් සංදර්ශනය. අඩුම තරමින් මහා විප්ලවවාදී/පෙරලිකාරී/රැඩිකල් පැරකුම්ලා එවැනි සංදර්ශනයක්වත් මහ පොලොවේ කරමින් තිබේද යන්න අපට මතුවෙන ප්‍රශ්නයයි.පෑන අතට ගැනීමේදී කුහකකම පැත්තකින් තබා ලියනු මැනවි."


ඉහත පළ වන්නේ අපගේ පාඨකයකු විසින් දක්වන ලද අදහසකි. අප ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වන්නට අදහස් කළේ එම අදහස විශ්ලේෂණය කිරීම ඔස්සේ ලංකාවේ වාමාංශික දේශපාලනයේ මූලික ගැටලු කීපයක් කෙරෙහි අවධානය යොමු කළ හැකි බැවිනි. 


පළමු ගැටලුව සාධනීය හා නිෂේධනීය විවේචන අතර වෙනස අවබෝධ කර ගන්නට ආගමික ස්වරූපයෙන් පක්ෂ සමග සම්බන්ධ වී සිටින පිරිස්වල‍ට බැරි වීමයි. ජවිපෙ මෙවැනි උදඝෝෂණ රාශියක් පවත්වා තිබේ. එහෙත්, ඒවායේ බලපෑම පක්ෂ අභ්‍යන්තරයට තරම් පිටතට නොමැති බව පැහැදිලි ය. ජවිපෙ පවත්වන මෙවැනි උද්ඝෝෂණවල අරමුණ ද ප්‍රශ්න සම්බන්ධයෙන් සමාජයේ පොදු විරෝධය සලකුණු කිරීමට වඩා පක්ෂ අභ්‍යන්තර ජීව ගුණය හෙවත් මොරාල් එක නඩත්තු කිරීමයි. 


මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් අපගේ පාඨකයා කුමක් කීවත්, ඇත්තෙන් ම මේවායේ ඇත්තේ ද ප්‍රමාණාත්මක මිස ගුණාත්මක වෙනසක් නො වේ. රට පුරා සිටින පක්ෂ ක්‍රියාකාරිකයන් කොළඹට කැඳවා කරන මෙම උද්ඝෝෂණ හා රජය තමන්ට අවශ්‍ය විට රාජ්‍ය සහනාධාර අපේක්ෂා කරන්නන් කැඳවා පවත්වන උද්ඝෝෂණ අතර වෙනස ඇත්තේ විනය පිළිබඳ කාරණා තුළ පමණි. 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් ජවිපෙ දැවැන්ත උද්ඝෝෂණයක් කොළඹ පැවැත්වූ අතර, ඊට වඩා විශාල උද්ඝෝෂණයක් 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඊට පසුදා ආණ්ඩුව විසින් කොළඹදී පවත්වන ලදී.


රජය කැඳවන උද්ඝෝෂණවල සහභාගිකයෝ අරක්කු බොති. බත් පැකට් කති. ජවිපෙ උද්ඝෝෂණවල සහභාගිකයෝ හම්බ කළ තුට්ටු දෙක වියදම් කර කොළඹ පැමිණ, බඩගින්නේ පෙළපාලි යති. පළමු ආකාරයේ පෙළපාලි රජය ආරක්ෂා කරන්නට ය. ඒවාට සහභාගි වන්නන් සිතන්නේ රජය ආරක්ෂා කර ගැනීම මේ මොහොතේ තමන්ගේ වගකීම ය කියා ය. ‍දෙවැනි ආකාරයේ උද්ඝෝෂණවලට සහභාගි වන අය සිතන්නේ පක්ෂය ආරක්ෂා කර ගැනීම තමන්ගේ වගකීම ය කියා ය. තමන්ගේ අරමුණ වඩා උත්කෘෂ්ට එකකැයි ජවිපෙ සාමාජිකයෝ සිතති. මන්ද, තමන්  අනාගතය නිර්මානය කරන මාක්ස්-ලෙනින්වාදී විප්ලවීය සංවිධානයේ සාමාජිකයන් යයි විශ්වාසයක් ඔවුන් තුළ ඇති කර තිබෙන නිසා ය. එසේ සිතන්නට ඔවුන් පොළඹවන ඓතිහාසික බලයක් ජවිපෙට තිබේ. 


පක්ෂය යනු පක්ෂ ආධිපත්‍යය පිළි ගන්නා තෙක් පක්ෂ සාමාජිකයන්ට සුන්දර අත්දැකීමකි. ලේඛකයා පෞද්ගලිකව ගත් කල අරාජිකවාදියෙකි. ඔහුට පක්ෂය පිළිබඳ රොමැන්තික ප්‍රේමයක් හෝ වෛරයක් නැත. ඔහුගේ විවේචනය සිදු වන්නේ නිදහස් සංදර්භයක් තුළයි. එවැනි විවේචන සාධනීය අරුතින් නො ගන්නා වාම සංවිධානවලට අනාගතයක් ඇතැයි සිතීම මුළාවකි. හේතුව, නැවත සෝවියට් දේශයක් හෝ නැගෙනහිර යුරෝපයක් නිර්මානය නො වන බැවිනි. 


අප කියන්නේ සරළ දෙයකි. ජවිපෙට හෝ පොදුවේ වමට ඉදිරියට යන්නට අවශ්‍ය නම්, පක්ෂය නම් බිත්තර කටුවෙන් පිටතට පැමිණ පුළුල් ලෝකය සමග සම්බන්ධ වීමට ජවිපෙට හැකි විය යුතු ය.  


ජවිපෙට ප්‍රශස්ති නො ලියන වාමාංශිකයන් සියලු දෙනා හාන්සි පුටුකාරයන් යයි ජවිපෙ හිතවත්තු කියති. ‍ජවිපෙ උද්ඝෝෂණවලට, රැස්වීම්වලට නො එන අය නියම මිනිසුන් නො වන බව ද, එසේ එන අය හා එම අවස්ථාවලදී කියැවෙන, කෙරෙන දේ විවේචනයකින් තොරව භාර ගන්නා අය උතුම් මිනිසුන් බව ද මෙහි ඇති තර්කයයි. 


කොළඹ වාම කල්ලි ද ලේඛකයා සම්බන්ධයෙන් පවසන්නේ මෙවැනි ම කතාවකි. කොළඹ වාම කණ්ඩායම් නිතර සවස්වල සාකච්ඡා පවත්වයි. හිසේ කෙස් යන තෙක් මෙවැනි සාකච්ඡා සංවිධානය කිරීමේ යෙදුණු සංවිධායකයෝ මේ සාකච්ඡාවලදී කෙස් පැලෙන තර්ක කරමින් හිසේ කෙස් ගස් ගණනට වඩා වැඩි වැඩ සැලසුම් කර තිබේ. ඔවුන් සිය ජීවන තෘප්තිය රැක ගැනීම සඳහා කරන ප්‍රධාන ම ප්‍රයෝගය වන්නේ ආපසු හැරී නො බැලීමයි. 


කොළඹ සිට සාමාන්‍යයෙන් පැය තුනක පමණ  බස් දෙක තුනක ගමනක් දුරින් පිටිසර ගමක ජීවත් වන, ජීවනෝපාය ලෙස ළමයින්ට ඉගැන්වීම සතුටින් කරන ලේඛකයා දිගු කලක් මේ කොළඹ සාකච්ඡාවල සවන් දෙන්නෙකුව සිට, අන්තිම බස් එකේ රෑ දෙගොඩහරියේ ගෙදර ගියේ ය. මේවා සම්බන්ධයෙන් 'ඇබා' ගයන I have a dream ගීතයේ සඳහන් වන අන්දමට something good in everything I see කියා කියන්නට ලේඛකයා කැමති ය. කොළඹ කවවලට එන්නට වෙලාවක් නැති නිසා දැන් ඒවායේ සිටි පැරණි මිතුරෝ ද ලේඛකයාට කියන්නේ ඔහු ඉන්නේ සයිබර් අවකාශයේ කියා ය. මෙම කොළඹ කවවලදී ලේඛකයාට බොහෝ සහෝදරයින් හමු වී තිබේ. එහෙත්, ආදරණීය මිතුරකු හමු වුණේ කලාතුරකිනි. 


තම තමන් විසින් නිර්මානය  කරගෙන ‍තිබෙන උප සංස්කෘති තුළ සිට ජීවිතය දකින වාමාංශිකයන් මුහුණ දෙන ලොකු ම අභියෝගය වන්නේ තම තමන්ගේ ලොකු, කුඩා බිත්තර කටුවලින් පිටත ඇති ජීවිතය තේරුම් ගැනීමයි.


"එවැනි සංදර්ශනයක්වත් මහ පොලොවේ කරමින් තිබේද" යි අපෙන් අසන අපේ පාඨක‍, ජවිපෙ හිතවාදී සහෝදරයාට අපට කීමට තිබෙන්නේ එක දෙයකි. පොළව ඔබ සිතනවාට වඩා බොහෝ විශාල ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. @ලේඛකයා

    [ලේඛකයා පෞද්ගලිකව ගත් කල අරාජිකවාදියෙකි.]
    ඵක පිලිගත්ත ඵ්ක හොදයි.

    ReplyDelete
  2. jvp eka maha lokuvata sithuvata heena manayakin yuthu pakshayaki ,anek paksha samaga ekathuvee vedak karannata, ovunta bari e nisaya .hemadama sari potakata ,satakayakata muvavee,nethinam viplavayakata muvavee balayata ennata heduvata hemadama paradaya,thamange durvalatha hadunagana evata piliyam soya idiriyata yanavata vada anek ayamatha veradi pataveemata ithihasaya pura uthsaha dara eth, thamanata pavathi rajayan dekama yatathe labu avasthavan janathavage yahapathata yoda nogena pakshaye yahapathata yoda ganeeme adinava vidinneda janathavaya, parlimenthuve labu avasthavan ethulathadee ke gesuvata pulul jana mathayak dakva genayamata uthsaha dara netha,denvath thamunta ekagaviya heki ramuvak sadagana ay eramuva thula sthavara vee, mahajanayata eya idiripath kara siyalu paksha samaga ekarashi vee,podu jana sathura peradaveemata dyirya shakthiya prarthana karamu.

    ReplyDelete
  3. අජීත් පැරකුම්, පට්ට කතාවක් ලොක්ක මේක. මේ ටික මෙහෙම කියා ගත්ත ඒකත් ලොකු දෙයක්.

    මගේ මතයත් මේක ම තමයි.

    ReplyDelete
  4. රත්නසිරිMarch 2, 2011 at 10:50 PM

    වැඩේ හොඳයි.මොකුත්ම වෙන්නේ නැති තැනක මෙහෙම හරි වෙන එක.සංවිධිනාත්මක විරෝධතා,කතාව හරි.ඔක්කෝම එකම සටන් පාඨ,ඝොෂණයේදි එකම රිද්මය,පෙළපාලි හරි කෙලින්,බීලත් නෑ,උද්වේගකර කතා අහලා ආව බස් වලම නැගලා ගෙදර ඇවිත් ඊට පසුවදා ඉඳලාම බෝක්කු උඩ,කඩපිලේ,මහපාරේ උද්ගෝෂණේ ගැන පුරාජේරුව.ඉතහාසය පුරාවටම ජ.වි.පෙ උද්ගොෂණ වල සංශිප්ත වාර්ථාව ඕකනේ.මොකක්ද වෙලා තියෙන්නේ.කොහේට හරි ගිහිං සක්කේ ගහලා පච කියව කියව ඉන්නවා.මහින්දව බලයට ගෙනාවේත් ඔය විදියටම වැඩ කරලා තමයි.විමල් විරවංශයාත් ඕය කෝච්චියේම තමයි ගියේ.

    ReplyDelete
  5. The criticism is true not only for the JVP but for all other leftists parties and groups. However, the criticism is constructive one, it is better, if these leftists or revolutionaries read the message in the article...give priority to the people's issues...

    ReplyDelete
  6. මගෝඩිස්March 2, 2011 at 11:44 PM

    පැරකුම්, ඔබ මෙහෙම අරාජිකවාදියෙක්ද?
    Anarchism is a political philosophy which considers the state undesirable, unnecessary, and harmful, and instead promotes a stateless society, or anarchy.

    එහෙම නැත්තං අපත අරාජිකවාදියෙක්ද? (නරුමවාදියෙක්ද?) ඔය හැමදේම වැඩක් නෑ කියලා කියන

    ReplyDelete
  7. සුජීව කිව්ව වගේ පට්ට කතාව පැරකුම්, ජ.වි.පෙ කරන මනෝරාජික විකාර ගැන මීට වඩා සුදුසු අර්ථ කථනයක් නම් ඇත්තටම නැහැ,

    ජ.වි.පෙ. ත් මම හිතන්නෙ හෙමීට එහෙත් ස්ථිරසාරව අපේ පරණ වම ගිය පාරටම අවතීර්ණ වෙන හැඩක් තමයි පෙනෙන්නෙ, ලෝකයේ දේශපාලනික, සමාජ, ආර්ථික ස්වභාවය කියන එක එක තැන පල්වෙන එකක් නෙවෙයි, ඒ යථාර්ථය තේරුම් නොගෙන ඒ අනුව වෙනස් නොවී මහ පොළවෙ කරන්ඩ පුලුවන් දේශපාලනයක් නැතිබව තේරුම් ගන්නකල් මේ වැඩේ හරි යන්නෙ නැහැ,

    සිහින වල ජීවත් වීම හරිම ආතල්ය. එහෙත් ඒ අවදි නොවන තෙක් පමණි.

    ReplyDelete
  8. @ravi
    [ලෝකයේ දේශපාලනික, සමාජ, ආර්ථික ස්වභාවය කියන එක එක තැන පල්වෙන එකක් නෙවෙයි, ඒ යථාර්ථය තේරුම් නොගෙන ඒ අනුව වෙනස් නොවී මහ පොළවෙ කරන්ඩ පුලුවන් දේශපාලනයක් නැතිබව තේරුම් ගන්නකල් මේ වැඩේ හරි යන්නෙ නැහැ]
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
    රවී ඔයා මහපොලවෙ නෙවෙයිද ඉන්නෙ???
    අද ලොකයම උනුසුම් වෙලා තියෙන්නෙ විවිද් රටවල් වල කර්න අසාදාරනයට විරුද්ද වීදි සටන් වලින්.
    ඵ්ක තමයි දෑන් ලොකෙ තත්වෙ.
    මුලු ලොකෙම ඵ්හෙම වෙනකොට ඔයා කියනව අයගෙ විරෝඅදතා අද කාලෙට ගෑලපෙන්නෑතිලු...
    බීල නෙවෙයි නේද කිව්වෙ ඔක!!!
    ඔව නම් මහ කුහක විවේචන

    ReplyDelete
  9. //පළමු ගැටලුව සාධනීය හා නිෂේධනීය විවේචන අතර වෙනස අවබෝධ කර ගන්නට ආගමික ස්වරූපයෙන් පක්ෂ සමග සම්බන්ධ වී සිටින පිරිස්වල‍ට බැරි වීමයි//

    ඔයා කරන සාධනීය විවේචන ගැන ප්‍රශ්නයක් නැහැ.ඒව හොදයි.හැබැයි සමුලුවක් පැවැත්වුවත් ඒක විවේචනය කරන එක පෙලපාලියක් ගියත් ඒක විවේචනය කරන එක අපට පේන්නෙ සාධනීය විවේචනයකට වඩා විවේචනය කරන්න ඕනෙ හින්ද කරන විවේචන හැටියට.පැරකුම් සමාජ වෙනසක් ගැන කතාකරන බව පේන නිසා සහෝදරාත්මකව මේ අහන්නෙ.පෙලපාලියක් යන එකත් කචල් නං ඒවගේ දේකවත් වැදගම්මක් පැරකුම් දකින්නෙ නැත්තං වම කොයි වගේ දේශපාලනයක් කරන්න ඕනෙ කියලද ඔබතුමා යෝජනා කරන්නෙ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා