සමනලයා හා මකුළුවා: විජය කුමාරනතුංග හා ලයනල් රණසිංහ

(2011 පෙබරවාරි 16, W3Lankaවිජය කුමාරනතුංග ඝාතනයට 2011 පෙබරවාරි 16 දිනට වසර 23කි.


විජය හා අමරසිරි කලංසූරිය කලක් පරණ කෝට් විකිණුවෝ ය. දුම්රියපොළවල රාත්‍රිය ගත කරද්දී දුම්රිය සේවකයෝ ඔවුන් පළවා හැරීමට වතුර ගැසූ අමරසිරි කලංසූරිය මෑතදී පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි. .


විජයට වෙඩි තැබූ තුවක්කුකරුවා වන ලයනල් රණසිංහ  කලක් හොරණ බස් නැවතුම අසල තැබෑරුමක් ඉදිරිපිට රටකජු විකිණුවේ ය.


හන්තානෙ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟමින් ජනාදරයට පත් විජය කලක් එක දිගට ම ලංකාවේ ජනප්‍රිය ම නළුවා වූයේ ය. ඔහු සුන්දර රූ සපුවකින් යුත් නළුවකු පමණක් නො ව අදටත් ජනප්‍රිය දක්ෂ ගායකයෙකි. ලංකාවේ හිටපු රාජ්‍ය නායක දෙපළකගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක සමග විවාපත් වූ හේ දේශපාලනයට පිවිසියේ ලංකා සමසමාජ පක්ෂයෙනි.


1982 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ හෙක්ටර් කොබ්බෑකඩුවගේ ප්‍රචාරක ව්‍යාපාර‍ය කරට ගෙන වැඩ කළ විජයට එවක ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන බොරු නැක්සලයිට් චෝදනාවක් ඉදිරිපත් කළේ ය. තරුණ, ආකර්ශනීය නායකත්ව පෞරුෂයක් ලෙස ඉදිරියට එන  විජයට බිය වූ ජේ. ආර්. ඔහු මාස ගණනක් සිර කර තැබුවේ ය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ විජය ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කළේ ය. වමේ පක්ෂ සමග පෙරමුණක් ගොඩ නඟමින් වමට නව ප්‍රබෝධයක් ඇති කළේ ය. විජයව ධනේශ්වර පංතියේ දේශපාලන පක්ෂවලින් හා ධනේශ්වර සමාජ සංස්කෘතියෙන් බැහැර කරනු ලැබූ පහළ පංතික මුල් විජයගේ ධනේශ්වර විරෝධී දේශපාලනයේ පදනම විය. එහෙත්, ධනේශ්වර පංතික ගැහැනුන් පිනවූ ඔහුගේ රුව හා ආකර්ශනීය පෞරුෂය පීඩිත පංති දේශපාලන නායකයන්ගේ පවා ඊර්ෂ්‍යාවට ලක් වන්නට ඇත. 


කෙසේ වෙතත්, විජය වාම නැඹුරුවක් සහිත ලිබරල්වාදියකු ලෙස සැලකිය හැකි, මරණය තෙක් ම ප්‍රගතිශීලී දේශපාලනයක නියැලුණෙකි. 


ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාව හා බලය බෙදා ගැනීම ඔස්සේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් මෙන් ම ප්‍රායෝගික භාවිතාවෙන් ද නො බියව පෙනී සිටි විජය 1987දී ඉන්දු - ලංකා ගිවිසුම ඔස්සේ ගෙන ආ පළාත් සභා ක්‍රමයට පක්ෂව දේශපාලනය කළේ ය. ඒ වෙනුවෙන් හෝ ජවිපෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් විජයගේ නායකත්වයෙන් බිහි වූ සමාජවාදී එක්සත් සන්ධානය ද අවි අතට ගත්තේ ය. එහෙත්, ක්‍රම විරෝධයට කැප වීමේ සූදානමක් නැතිකම මධ්‍යම පංතික බොහෝ සටන්කාමීන්ගේ පොදු ලක්ෂණයකි. එහෙයින් සමාජවාදී එක්සත් සන්ධානය ද කළේ බාගෙට සන්නද්ධ අරගලයකි. බාගෙට වැඩවල අනිවාර්ය ප්‍රතිඵලය ලෙස ජවිපෙ හමුවේ සමාජවාදී එක්සත් සන්ධානය බිලි පූජාවක් බවට පත් විය. 


උතුරේ මධ්‍යම පංතික සටන්කාමී ව්‍යාපාරවලට කොටි තුවක්කුවෙන් සිදු වූයේ ද මේ දෙයමයි.


විජය කුමාරනතුංගලා හෝ ජේමිස් ඇතුගලලා මෙන් නො ව, රෝහණ විජේවීරලා ලයනල් රණසිංහලා අවි අතට ගත්තේ අවිය ම එක ම සවිය කරගෙනයි. හරි හෝ වැරදි හෝ වේවා, ඔවුහු එය 100%ක් ම කළ හ. 


ඉන්දීය මැදිහත් වීමෙන් යෝජිත විසඳුම දකුණේ සිංහල තරුණයන් පමණක් නො ව උතුරේ දෙමළ තරුණයන් විසින් ද ප්‍රතික්ෂේප කරනු ලැබීම හා උතුරේ සහ දකුණේ වාම බලවේග පසුබස්වමින් ජවිපෙ හා කොටි සංවිධානය නැඟී සිටීම හමුවේ විජයගේ ව්‍යාපාරය අර්බුදයට පත් විය.


විජය ජීවතුන් අතර සිටියා නම් ජනප්‍රිය රැල්ලක් ඔස්සේ ඔහු රාජ්‍ය නායකත්වයට පත් වන්නට බොහෝ දුරට ඉඩ තිබිණි. ජේ.ආර්. ජයවර්ධන,  ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ, සිරිමා බංඩාරනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ මෙන් ම සමාජ වෙනසක් සඳහා බලය ඉලක්ක කළ තරුණ ව්‍යාපාරයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ද ඔහු අභියෝගයක් ලෙස සැලකූ හ.


ඔහු සේ ම පීඩිත සමාජ පසුබිමකින් මතු වූවකු වූ ලයනල් රණසිංහ ඔහුට එල්ල කරන වෙඩි ප්‍රහාරය මේ සියල්ලන්ට ම අශිර්වාදයක් විය.


විජය කුමාරනතුංග මිය යාමෙන් කලකට පසුව, ඔහුගේ බිරිඳ ව සිටි චන්ද්‍රිකා බංඩාරනායක විජය ඝාතනය පිළිබඳ පරීක්ෂණ කොමිෂමක් පත් කර, දේශපාලන වාසි තකා විජය ඝාතනයේ වගකීම එක්සත් ජාතික පක්ෂය පිට පැටවූයේ ය.


ලයනල් රණසිංහ යූඇන්පියේ කුලී ඝාතකයකු ලෙස හංවඩු ගැසෙද්දී ඔහුගේ පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ නිහඬව සිටියේ ය.


ලයනල් රණසිංහ කුලී ඝාතකයකු නො ව ජනතා විමුක්ති පෙරමුණේ අවංක පීඩිත පංති ක්‍රියාධරයකු බව ජවිපෙ නායකත්වය හොඳින් දනියි. විජය ඝාතන පරීක්ෂණ කොමිෂම හමුවේ සාක්කි දෙමින් ලයනල් රණසිංහගේ අම්මා කී යකෙකු වුණත් ඒ මගේ දරුවා ය යන කියමන අනුන්ගේ දරුවන් අතට අවි දී තමන්ගේ ඉලක්ක වෙනුවෙන් යුද පෙරමුණුවලට යොමු කරන කොයි දේශපාලන නායකයාගේත් දෙසවන් තුළ රැව් පිළි රැව් දිය යුතු ය.


අතිශය අනතුරුදායක කාර්යයන්හි යෙදුණු, දේශපාලන නායකයන් නො වන, සටන්කරුවන් පමණක් වන, ජවිපෙ ලයනල් රණසිංහලා හා කොටි බාබුලා වැනි අය ඉතිහාසයේ සාධාරණ අන්දමින් සටහන් වීමට තරම් හෝ අපේක්ෂාවක් නො තිබුණු පුද්ගලයෝ විය හැකි ය.  මෙවැනි මිනිසුන් විග්‍රහ කිරීම පහසු නැත. ඔවුන්ගේ ආත්මාර්ථය අත්හැරීමේ ලක්ෂණය හා ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන ලද කෲරත්වය කෙසේ එකිනෙක පෑහේ ද යන්න ද අපැහැදිලි ය. 


ලයනල් රණසිංහ විජයට මෝටර් බයිසිකලයේ සිට වෙඩි දෙකක් තබා,  අනතුරුව එයින් බැස ඔහු ළඟට ගොස් හිස කුඩු වන්නට ම තවත් වෙඩි  කීපයක් තබා, එපමණකින් නො නැවතී විජය අත තිබූ ලිපි ගොනුවත් පෙරළා බැලූ බව ඔහු පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් වේ. විජය බොරු කොණ්ඩයක් ඇඳ සිටි බව ජවිපෙ හරහා ප්‍රචාරය කළේ ද ඔහු ය. ඔහු හා ඔහුගේ පරම්පරාව විජය සම්බන්ධයෙන් එතරම් කෲර වීම ද තේරුම් ගැනීම දුෂ්කර ය.   


ලයනල් රණසිංහ වැරදි ය. විජය කුමාරනතුංග ඝාතනය ද ඓතිහාසික වරදකි. එවැනි ඓතිහාසික වැරදි බොහොමයක් මහජන ව්‍යාපාර අතින් සිදු වී තිබේ. ඒවාට ගෙවිය හැකි වන්දිය කුමක් ද? 
ලයනල් රණසිංහ අතුරුදහන් වීමට පෙර අත්අඩංගුවේදී


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කරුණාතර ලයනල් රණසිංහගේ අවසානය පිළබධව ඔබ දන්නා දේද ලියන්න...

    ReplyDelete
  2. මගේ මතකය අනුව එම සන්ධානය් වාමාංශික එක්සත් පෙරමුණ නොව USA (United Socialist Alliance - NSSP, LSSP, CP & SLMP එකතුව ) ලෙස කෙටි නමින් හැඳින්වුනු එක්සත් සමාජවාදී පෙරමුන විය යුතුයි.

    - දිමිත්‍රි

    ReplyDelete
  3. ලයනල් රණසිංහගේ අවසානය ද සටහන් වන්නට ඇත්තේ තවත් බොහෝ අත්අඩංගුවට පත් වූවන්ට වූ අන්දමින් ම විය හැකි ය. එය එම වකවානුවේ සාමාන්‍ය තත්වයයි.

    දිමිත්‍රි ඉදිරිපත් කළ කරුණ නිවැරදි ය. ඒ අනුව, අදාළ වෙනස්කම් කරන ලදී. ස්තුතියි.

    ReplyDelete
  4. අනුන්ගේ දරුවන් අතට අවි දී තමන්ගේ ඉලක්ක වෙනුවෙන් යුද පෙරමුණුවලට යොමු කරන කොයි දේශපාලන නායකයාගේත් දෙසවන් තුළ රැව් පිළි රැව් දිය යුතු ය.

    මෙහෙම කියද්දි සමහර අයට රිදෙනවා මොකද එතකොට ප්‍රභාකරන් ඔයිට හාත්පසින්ම වෙනස් විදියක් අනුගමනය කරපු හින්දා


    ඇත්තටම ලංකා ඉතිහාසයේ වුණ ලොකුම වරද මොකක්ද ?

    ReplyDelete
  5. විජේව මෑරුවෙ අලි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා