ජවිපෙ අලුත් ෆෙඩරල් අදහස | JVP's New Federal Idea

(2011 පෙබරවාරි 13, W3Lanka) ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස එක්වීම දිශාවට යොමු වූ ෆෙඩරල් ක්‍රමයක් සලකා බැලීමේ සූදානමක් ජවිපෙ තුළ ඇති බව පසුගියදා පැවති ජවිපෙ සයවන ජාතික සම්මේලනයේදී පක්ෂ නායක සෝමවංශ අමරසිංහ විසින් පවත්වන ලද කතාවෙන් ඇඟවේ.


තම අධ්‍යයන අනුව, ෆෙඩරල් අදහස එක් වීමට හා වෙන් වීමට යන දෙයාකාරයට ම යොදා ගැනෙන බව හා එක් වීම පිණිස එය යොදා ගැනීම පිළිබඳ සලකා බැලීමට තමන් සූදානම් බව ජවිපෙ නායකයා කී බවක් මෙම කතාවේ කොටසකට පෞද්ගලික මාධ්‍යයක් ඔස්සේ සවන් දුන් අප මිතුරෙක් අපට දැන්වී ය.


ජවිපෙ නායකයා විසින් පවත්වන ලද දේශනය සොයා ගැනීමට අප විසින් අන්තර්ජාලය ඔස්සේ දරන ලද ප්‍රයත්නය අසාර්ථක විය. එහෙත්, අදාළ අදහසේ කාලානුරූප වැදගත්කම මතු කර දැක්විය යුතු බව අපේ අදහසයි.


ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයන් වෙන් වීම දෙසට නැඹුරු වීමට වඩා එක් වීම දෙසට නැඹුරුවූ අවස්ථා පිළිබඳ ඉතිහාසයෙන් උදාහරණ ඕනෑ තරම් සපයා ගත හැකි ය. එක්සත් ජනපදය වෙන වෙනම ගොඩනැගෙමින් තිබූ රාජ්‍ය පද්ධතියක් සන්ධීය ක්‍රමයක් ඔස්සේ එක්සත් කර ඇමරිකා එක්සත් ජනපදයක් බිහි කිරීම පිළිබඳ කදිම උදාහරණයකි. ඒකීය ඉන්දියාව ද නිර්මානය වන්නේ සන්ධීය ක්‍රමයක් තුළ එකතු වන පූර්ව ධනේශ්වර රාජ්‍ය පද්ධතියකිනි. 


සන්ධීය රාජ්‍ය ලෙස තිබී වෙන්වී වෙනම රාජ්‍ය බවට පත්වූ රටවල් පිළිබඳ ද උදාහරණ තිබේ. මෑතදී බිහිවූ දකුණු සුඩානය හා ඊට කලින් බිහිවූ කොසොවෝ හා පෙරදිග ටිමෝරය උදාහරණ ලෙස සැලකිය හැකි ය. මෙම රටවල් හා අදාළව දැකිය හැකි ප්‍රධාන කාරණය වන්නේ එම රටවල ක්‍රියාත්මකවූ සන්ධීය ක්‍රමයන් රටේ ප්‍රශ්න විසඳීමෙහිලා අසමත් වීමයි.


මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතු කරුණ වන්නේ ලොව ක්‍රියාත්මක වන සන්ධීය ක්‍රමයන් යනු එක ම ආකාරයේ, ස්ථිතික අදහසක් මත පදනම් වූ ව්‍යූහයන් සමූහයක් නො ව, ඒ ඒ රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන අන්දමින් සකසා ගත් ඒවා බවයි. අප ලංකාවට සන්ධීය දේශපාලන ක්‍රමයක් යෝජනා කරන්නේ නම්, එය රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි තිරසාර ස්වරූපයකින් සකසා ගැනීම අපගේ වගකීමකි. එය සිදු විය යුත්තේ ප්‍රජාවන් අතර පුළුල්, නිරෝගී සාකච්ඡාවක් ඔස්සේ සම්මුතියකට එළඹීමෙනි.


කොටි සංවිධානයේ යුදමය පරාජය විසින් ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි සුසමාදර්ශීය වෙනසක් සිදු කර තිබේ. නව සංදර්භය තුළ ප්‍රශ්නය වෙත අලුත් ප්‍රවේශයන්ට අවස්ථාවක් උදා වී තිබේ. යුද්ධයෙන් පසු කාලයේදී ජවිපෙ නායකත්වය දැඩි ජීවිත අනතුරු පවා දරාගෙන උතුරු, නැගෙනහිර දෙමළ ජනයා වෙත ප්‍රවේශ වීමට බැරෑරුම් උත්සාහයක් දැරුවේ ය. ජවිපෙට සිය ගතානුගතික ස්ථාවරයන් වෙනස් කර ගැනීමට බල කරන්නේ දෙමළ ජනයා අතර වැඩ කරන්නට ගොස් ලබා ගත් අත්දැකීම් බව අපගේ විශ්වාසයයි.


ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ නායකත්ව මට්ටමේ හෝ ගැඹුරු සංවාදයක් ඇති වන්නට ඇතැයි පක්ෂ නායකයාගේ ප්‍රකාශය ඔස්සේ අපට අනුමාන කර ගත හැකි ය.


එම නායකත්වය විසින් ම පසුගිය සමයේදී ෆෙඩරල් අදහස පක්ෂ සාමාජිකත්වය අතර නයාට අඳුකොළ බවට පත් කළ සංදර්භය තුළ දැන් ඉතින් මේ සංවාදය පක්ෂ සාමාජිකත්වය අතරට ද ගෙන ඒමේ අභියෝගයට ජවිපෙ මුහුණ දිය යුතුව තිබේ.


එය සිදු වන්නේ අතිශය වැදගත් රාමුවක් තුළයි. ඒ වනාහි ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ආණ්ඩුවේ අසමත්භාවය ඔප්පු වෙමින් තිබෙන නව තත්වයකි. යම් කිසි එක තැන පල් වන තත්වයක් නිර්මානය කර සිටි සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරයක් පරාජය කිරීම වෙන ම රාජ්‍ය අරගලයන් ඉදිරියට යාමට ඉවහල් වූ අවස්ථාවක් පිළිබඳ කොසොවෝ රාජ්‍යය සර්බියාවෙන් වෙන් වීම නිදසුනක් ලෙස සැලකිය හැකි ය. මන්ද, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මැදිහත්වීම් සඳහා නව අවස්ථා සන්නද්ධ ව්‍යාපාර නොමැති අවකාශය තුළ විවර වන හෙයිනි.


දෙමළ ඩයස්පෝරාව මැඬලීම පිණිස කේ.පී. යොදා ගත හැකි යයි ආණ්ඩුව සිතා සිටියා නම්, දැන් එම උපාය මාර්ගය අසාර්ථක බව තීරණය කිරීමට කාලය හරි ය. කොටි සංවිධානයේ පශ්චාත් යුද පරාජ සමයේ දෙමළ ඊලාම් අරගලයට ශක්තිමත් නායකත්වයක් දීමට රුද්‍රකුමාරන් විශ්වනාදන් සමත් වී ඇති බව අපගේ නිරීක්ෂණයයි. එය සිදු වී තිබෙන්නේ යුදමය සංදර්භයකට වඩා ජාත්‍යන්තර දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සංදර්භයක් තුළයි. එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් හා ජනමත විචාරණයක් හරහා දකුණු සුඩානය නම් වෙන ම රාජ්‍යයක් බිහි වීම දෙමළ අරගලයට ආස්වාදයක් වී ඇති අතර නව දිශානතියක් ද සපයා තිබේ.


කොටි සංවිධානය පරාජය කිරීමෙන් අනතුරුව පවා දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දීමට අවශ්‍ය දූරදර්ශීභාවය ආණ්ඩුව සතු නො වීම බෙදුම්වාදීන්ට වාසිදායක මෙම නව තත්වය ඇති කිරීමට හේතුව බව පැහැදිලි ය.


ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා දැන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දරණ උත්සාහයන් වනාහි අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමට දරණ උත්සාහයන් හා සමාන ය. ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම පිණිස තීරණාත්මක පියවර ගැනීමේ ශක්තියක් හා ජනප්‍රියභාවයක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබුණු අවධිය දැන් නිමා වී ඇත. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමට දරන කුමන හෝ ප්‍රයත්නයක් දරා ගත නො හැකි ජීවන වියදම හමුවේ ජනප්‍රියත්වයෙන් පිරිහෙමින් තිබෙන ආණ්ඩුවේ කොන්ද බිඳ දමන පිදුරු ගස විය හැකි ය.


ජවිපෙ අලුත් ප්‍රවේශය සිදු වන්නේ මෙම සංදර්භය තුළයි. ඒ හා සම්බන්ධ සංවාදය මතු කර ගැනීම හා ජවිපෙට සමාජ සංවර්ධනයට ඉවහල් වන ධනාත්මක දිශාවකට චලනය වීම පිණිස උදව් කිරීම මේ මොහොතේ ප්‍රගතිශීලීන් සතු වගකීමක් බව අපි අවධාරණය කරමු.


සියලු අර්බුද උත්සන්න වද්දී ජාත්‍යන්තර හෝ ඉන්දීය බලපෑම මත ලංකාවට ෆෙඩරල් විසඳුමක් යෝජනා කරන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩවට සිදු වන තීරණාත්මක මොහොතකදී ජනප්‍රිය ෆෙඩරල් විරෝධය වෙනුවට දිගු කාලීන ස්ථාවරයක් වෙත එළඹීමට ජවිපෙට ශක්තිය ලබා දිය යුතු ය.


ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳා ගත හැක්කේ ජාතීන් අතර ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඔස්සේ මිස බලපෑම්වලට යට වී ගන්නා ක්‍රියාමාර්ගවලින් නො වේ.
 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න.

Comments

  1. පෙරදිග ටිමෝරය නොව නැගෙනහිර ටිමෝරය ලෙස නිවරදි විය යුතුය.

    ReplyDelete
  2. meya JVP hi aluth adahasak nove...ma danna paridi lankawe jathika prasnaya hamuwe JVP sema dama hitiye bedime disawata yana fedaral krmayata ekaga nowan bawath...ekathu weeme disawata yana federal karamayakata ekga bawath....lesaya. namuth mada neth fm radio news thulin esuwe me stawaraye wikrthu karana lada puwataki..owun keewe jvp fedaral kramayakata ekagai yanna pamani..eya derana sudu kodi prakasaya ha samana ekaki...

    ReplyDelete
  3. News Link: http://www.youtube.com/watch%3Fv%3DaPg4QHDiRp8

    ReplyDelete
  4. ඔබ හිතන ආකාරයේ වෙනසක් ජවිපය තුළ සිදු වී නෑ. බී බී සී සන්දේශයට අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක කියා හිටියේ තමන් ලංකාවේ ෆෙඩරල් විසඳුමක් ඇති කරනවාට එරෙහි බවයි. එය එදත් අදත් ජවිපේ ස්ථාවරය බවයි.

    බෙදී වෙන් වූ රාජ්‍ය එකතු කිරීම සඳහා ෆෙඩරල් ක්‍රමය භාවිතා කිරීමට තමන් එකඟ බවත් එසේ නොමැති තත්වයක දී එය භාවිතා කිරීමට තමන් එකඟ නැති බවත් ඔවුන්ගේ ස්ථාවරයයි.

    ReplyDelete
  5. East Timor, South Sudan and Kosovo independence are not outcomes of federal systems. Federal means joining together by independent entities. Sudan has a one party regime evolved through a military rule - basically it has a Presidential system. Provinces are run by ministerial councils appointed by the President. East Timor was forcible captured by Indonesia, finally won independence through a UN sponsored referendum. Kosovo was a region in Serbia which was not a federation but had a dictatorial regime emerged after the collapse of Yugoslavia. All these separations result of dictatorships or repression of minority nations or denial of self determination.

    ReplyDelete
  6. ජ.වි,පෙ ෆෙඩරල් කියලා හඳුනවලා තියෙන්නේ ෆෙඩරල් එක්ස්ප්‍රස් තැපැල් බිස්නස් එකට.වැරදිලා.

    ReplyDelete
  7. එදා සෝමවංශ අමරසිංහ කියූ කතාව මම ටී වී එකෙන් දැක්කා. එයා කිව්වේ රටවල් බෙදන ෆෙඩරල්වලට විරුද්ධයි, බෙදුණු රටවල් එකතු කරන ෆෙඩරල්වලට එකඟයි කියලා. ඒක ෆෙඩරල් ගැන සංවාදය ඇති වූ හැමදාම ජවිපෙ කියූ ස්ථාවරය. ඔය ෆෙඩරල් සංවාදය ආවේ රාජපක්ෂවාහිනිය කළ ගොං පාට් එකක් නිසා.

    ReplyDelete
  8. Earlier JVP said they were against federal. Dan rataval ekathu karana federal valata hari kemathi kiyanava nam ethana venasak thiyenava.. Namuth, lankave prashnaya genavath, Federal kramaya genavath hari vataheemak JVP kee denekta thiyenavada kiyana eka mata nam prashnayak....

    USA thamai adatath pavathina federal kramayak mulinma genave. E mokada, eyalage palaveni janapada 13 ekinekata ven venva goda naguna evva nisa... E vagema prabala thani adikaari balayakata virudda una nisa... Swiss kramaya goda naguneth e vagema ekamuthukama samagama thama thamange ananyathaavayath aaraksa karaganna oone nisa.

    Lankavata federal kramayak hari yaida kiyana eka venamama hoya baliya yuthu prashnayak. Nathuva boruvata stage vala negala kegahuvata palak na...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා