2011-01-27

හාමුදුරුවන්ට බයට හෝ වැඩ බැරි දාසලා, වතීලා ගැන අනුකම්පාවට හෝ ගුරු පත්වීම් දීම හෙවත් අනාගත පරම්පරාවලට කෙළවීම

(2011 ජනවාරි 27, W3Lankaසම්බුද්ධ ජයන්තියට හෙවත් බුද්ධත්වයෙන් වසර 2600ක් සපිරෙන්න කලින් දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත් අයට රජයේ ගුරු පත්වීම් ලබා දීමට රජය කටයුතු කරන්නේ නැතිනම් සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සියලුම හිමිවරුන් තනතුරුවලින් ඉල්ලා අස්‌ වන බව සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමි දෙසැම්බර් 27 දා ත්‍රිකුණාමලය විද්‍යාලෝක ජාතික පාසලේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම බුද්ධරක්‌ඛිත මහනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති දහම් පාසල් සිසු ඇගයීම් උත්සවයකදී අනතුරු ඇඟවූ බව ඒ දිනවල පුවත්පත්වල වාර්තා වුණා.


මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අගමැති හා බුද්ධශාසන ඇමැති දී. මූ. ජයරත්න මහතා සහභාගි වීමට නියමිතව තිබුණත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඔහු නොපැමිණි බව වාර්තා වේ. ආවා නම් මේ තර්ජනය අසාගෙන ගොස් ජනාධිපතිතුමන්ගේ කණේ තබන්නට අවස්ථාව තිබිණි. 


කොහොම ද බුදුන් බුද්ධත්වය ලබා වසර 2600ක් පිරීම නිමිත්තෙන් අපේ සංඝයා වහන්සේ ඉදිරිපත් කරන ඉල්ලීම්!


තැනින් තැන සැරිසරමින් බහුජනයාගේ හිත සුව පිණිස කටයුතු කරන්නැයි සංඝයාට උපදෙස් දුන් බුදුන් දෙසූ ධර්මය ඉගැන්වීම වුණත් මෙම පාරිභෝගික සමාජයේ පිං පිණිස හෝ සේවාවක් ලෙස හෝ කරනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. කිසිවෙක් අත ලෙව කන්න බලාගෙන මී කඩන්නේ නැත. 


අනෙක මුළු ලංකාවේ ම සිටින සියලු වැඩ බැරි දාසලා බලාපොරොත්තු වන්නේ ගුරු වෘත්තියයි. ඉගෙන ගන්නට නො දන්නවා වුණාට අපේ අය උගන්නන්න දනිති. සියයට පනහකට වඩා ළමයි සාමාන්‍ය පෙළ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වැනි විෂයන් අසමත් වුණා ම මොක ද? අකුරු ලියන්න, කියවන්න බැරි ළමයි පාසල්වලින් පිට වුණා ම මොක ද? පාසල් ළමා අයිතිවාසිකම් උල්ලංඝනයේ තෝතැනි වුණා ම මොක ද?


අද කාලේ ඇතැම් හෝ බොහෝ හෝ තරුණ තරුණියන් දහම් පාසල්වල උගන්වන්නේ අහම්බෙන් හෝ දහම් පාසල් ගුරුවරුන්ට ගුරු පත්වීම් දුන්නොත් ඒකත් ගන්න පුළුවන් නිසායි.  ධර්මාචාර්ය, බෞද්ධාචාර්ය වැනි විභාග පවත්වාගෙන යාම ම ප්‍රශ්නයක් වෙලා. ඒවා ලියන්න මහන්සි වුණාට එයින් රැකියා නො ලැබෙන නිසා. 


ලංකාවේ අධ්‍යාපනයට උපරිමයෙන් ම කෙළෙව්වේ ආර්. ප්‍රේමදාසයි. ඒ 1989දී අභ්‍යාසලාභී ගුරු පත්වීම් දීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදයෙනි. රෙස්ට් හවුස් පත්වීම් හා කැකිරි පිපිඤ්ඤා පත්වීම් වැනි ඒවා කලිනුත් තිබුණත්, ප්‍රේමදාස‍ ඒ සියල්ල අභිභවන්නට සමත් වුණේ රු. 999 ගණනේ (පඩිය ගන්න අලවපු මුද්දරයට රුපියලක් කැපුණා) වැටුප් ගෙවන පත්වීම් අති විශාල සංඛ්‍යාවක් දීමෙනුයි.


ඇතැමුන්ට ගුරු පත්වීම් දුන්නේ එමගින් ජනසවිය කපා දැමිය හැකි නිසා ය. ස්වේච්ඡාවෙන් වැඩ කළා ය කියලා බොරු කී විශාල පිරිසකටත් එය සුදුසුකම ලෙස සලකා ගුරු පත්වීම් දුන්නා. එදා සිට පාසල්වල 'ස්වේච්ඡා කරන්න' කට්ටිය පොර කනවා. මොකද ටික කලකින් ස්වේච්ඡා අය ස්ථිර කරන නිසා. මාර 'ස්වේච්ඡා!' ප්‍රේමදාස නිසා මේ වචනවල අර්ථය පවා වෙනස් වෙලා. 


ඒ කාලයේ සංගීත, නැටුම් ආදී පත්වීම් ලැබුණු අය උපක් තෙකට සිංදුවක් නො කියපු, නටපු නැති අය. කොහොම හරි බඳවා ගත්ත මේ ගුරුවරුන් පුහුණු කරන්න හෝ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. මේ 25,000ක් අභ්‍යාසලාභී ගුරුවරු බඳවා ගන්න ගුරු විද්‍යාල තිබුණෙත් නැහැ. ඒ වගේ ම මේ අතරින් විශාල පිරිසකට සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වීම වැනි හේතු නිසා ගුරු විද්‍යාලවලට යන්න සුදුසුකම් තිබුණෙත් නැහැ. අන්තිමට ඔවුන්ව පුහුණු කළේ දුරස්ථ ක්‍රමයකට. ඒ ඒ ප්‍රදේශවල සිටි ටිකක් පරණ ගුරුවරු තමයි මේ අයට ඉගැන්වූයේ. 


වසර විස්සක් විතර යනකොට පිළි ගන්නවාද, දැන් මේ අභ්‍යාසලාභී ගුරුවරු තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කෙළිකාරයෝ. අර පරණ ක්‍රමවේදය ම පාවිච්චි කරලා මේ අයගෙන් ඇතැමෙක් ස්වේච්ඡාවන් වැඩ බැලූ පදනමින් විදුහල්පති වෙලා. සමහරු අධ්‍යාපන අධ්‍යක්ෂවරු.


මේ අභ්‍යාසලාභී ගුරු පරපුර විසින් ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් කරන ලද අනර්ථය සුළු පටු එකක් නො වේ ය කියා අප කියන්නේ ඒ අතරත් හොඳ ගුරුවරු සිටියා ය කියන එකත් සඳහන් කරමින්. 


තර්ජනවලට බියේ හෝ ගෙවල්වලට වෙලා නිකම් ඉන්න වැඩ බැරි දාසලාට, වතීලාට මොකක් හෝ කර ගන්නට ගුරු පත්වීම් දීම රජය වහා ම නතර කළ යුතුයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com