බලය බෙදීම හා බාලගිරි අද නොවෙයි හෙට

(2011 ජනවාරි 18, W3Lanka) ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට අදාළව ස්ථාවර දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන බවත්; එම විසඳුම සියලු දේශපාලන පක්ෂවල එකඟතාවකින් යුතු දේශපාලන යෝජනාවලියක් ලෙස නිසියාකාරව නිර්මාණය කරගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගියදා කියා සිටී.අරලියගහ මන්දිරයේ දී පැවති විදේශීය වාර්තාකරුවන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.


දේශපාලන විසඳුම් යෝජනාවලියේ දී බලය බෙදීම පිළිබඳ සංකල්පය සාකච්ඡාවේ ප්‍රධාන තැනට එන බව ද පොලිස් බලතල ලබාදීම වැනි කරුණු සැලකිල්ලට නො ගන්නා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. (දිනමිණ, 2011 ජනවාරි 15)


2005 වසරේදී ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සඳහා වූ දකුණේ එකඟත්වය ඇති කරගැනීම සඳහා බව කියමින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවෙන් විසඳුම් යෝජනාවලියක් සැකසීමේ කාර්යය පැවරුණ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව රැස්වීම් 128කට වඩා පවත්වා යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී.


එම යෝජනාවලියේ බලය බෙදීම පිළිබඳ සඳහන් වන ආකාරය සමබිම වෙබ් අඩවියේ දක්වා ඇත්තේ මෙසේ ය:


"බලය බෙදා හැරීම පිළිබඳ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව යෝජනා කරන්නේ ආණ්ඩු බලය මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන යන ස්ථර තුනක් අතර බෙදා හැරිය යුතු බවයි. එක් එක් ස්ථරයට හිමිවන බලතල පිළිබඳ වෙනම ලැයිස්තු තුනක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ඇත.


"ජාතික වශයෙන් සිදුකෙරෙන නීති සම්පාදන ක‍්‍රියාවලියේදී පළාත්වලටද භූමිකාවක් හිමිවන අන්දමට සෙනෙට් සභාවක් හෙවත් උත්තර මන්ත‍්‍රී මණ්ඩලයක් පිහිටුවීමටද වාර්තාව මඟින් යෝජනා කර ඇත. පළාත්වලට අහිතකර විය හැකි ආකාරයේ නීති කඩිමුඩියේ සම්මත කර ගැනීම වළක්වන යාන්ත‍්‍රණයක් මෙයට ඇතුළත් කරනු ඇත.


"එක් පළාතක් නියෝජනය කිරීම සඳහා සෙනෙට් සභිකයන් හත් දෙනෙක් ඒ ඒ පළාතේ නීති සම්පාදන ආයතනයේ (පළාත් සභාවේ) නියෝජිතයන් විසින් මාරු කළහැකි තනි ඡන්ද ක‍්‍රමය යටතේ පත් කර ගනු ඇත. ඒ අනුව පළාත් 09 නියෝජනය කරමින් සෙනෙට් සභිකයන් 63 දෙනෙකු තේරී පත්වනු ඇත. ඊට අමතරව ජනප‍්‍රජා මණ්ඩල (Community Council) නියෝජනය කරමින් සෙනෙට් සභිකයන් 10 දෙනෙකුද පත්වනු ඇත. නියෝජනය නොලැබෙන ජන ප‍්‍රජාවන් නියෝජනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සෙනෙට් සභිකයන් 2 ක් පත් කරනු ලැබේ.


"ඉහත දක්වන ලද ප‍්‍රජා මණ්ඩල දෙකක් පිහිටුවීමට යෝජනා වී ඇත. ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව සඳහා 01 ක්ද, උතුරු නැගෙනහිර පළාත් වලින් බැහැරව ජීවත්වන මුස්ලිම් ජනතාව සඳහා 01 ක්ද වශයෙන් මෙම සභාවන් භූමි ප‍්‍රදේශය පිළිබඳව සැළකීමකින් තොරව උතුරු නැගෙනහිර හැර අන් ඕනෑම ප‍්‍රදේශයක ජීවත්වන එකී ප‍්‍රජාවගේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳවද අවධානය යොමු කරනු ඇත.


"මධ්‍යම ආණ්ඩුව සහ පළාත් අතර බලය බෙදා හැරීම නිශ්චිත විය යුතු අතර ද්විත්ව අරුත්වලින් තොර විය යුතුය.


"දැනට පවතින සමගාමී ලැයිස්තුව (මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් වලට විවිධ විෂයන් සම්බන්ධව සමගාමී බලයක් ලැබෙන) අහෝසි කළ යුතු අතර එහි දක්වා ඇති විෂයයන්ට අදාළ බලතල මධ්‍යම ආණ්ඩුව සහ පළාත් අතර සුදුසු පරිදි බෙදා දිය යුතුය. පළාත් පාලන ආයතනවලට පැවරෙන බලතල පැහැදිලිව ප‍්‍රකාශ කෙරෙන තුන්වන ලැයිස්තුවක් සකස් කළ යුතුය."


මෙම යෝජනාවලිය මැකසුණේ මීට පෙර සර්ව පාක්ෂික නියෝජිත කමිටුව විසින් පත් කරන ලද විද්වත් කමිටුවක් විසින් වඩා පුළුල් හා විධිමත් බලය බෙදා ගැනීමේ ව්‍යූහයක් පිළිබඳ කර ලද යෝජනාවලිය ප්‍තික්ෂේප කිරීමෙන් පසුවයි.


එහෙත්, දැන් ජනාධිපතිවරයා හැසිරෙන්නේ එහෙම කිසිවක් නො වූ අන්දමිනි. සාකච්ඡාව නැවතත් මුලට ම පැමිණ ඇත. මේ කියන 'සියලු දේශපාලන පක්ෂවල එකඟත්වයෙන්' ජාතික ප්‍රශ්නයට විසඳුම් ගෙන ඒම කිසිදා සිදු වන්නක් නො වේ. නිදසුනක් ලෙස, ජනතා විමුක්ති පෙරමුණට බලය බෙදා ගැනීම වහ කදුරු වැනි ය. 


ඒකාධිපතීහු හා ප්‍රජාතන්ත්‍ර විරෝධීහු බලය බෙදා ගැනීමේ කැමැත්තක් නො දක්වති. ඔටුන්න හිමි කුමාරයා හා යුව රාජ බාප්පා අතර ඇත්තේ ද පාලන බලය බෙදා ගැනීමේ ප්‍රශ්නයකි. 


යුද්ධය සමයේදී රජය ඉන්දීය හා ජාත්‍යන්තර පීඩනය පාලනය කිරීම සඳහා මෙම සර්ව පාක්ෂික නියෝජිත කමිටු ක්‍රියාවලිය දක්ෂ ලෙස පාවිච්චි කළේය. බාලගිරි මෙන් බලය බෙදීම ද අද නොවෙයි හෙට යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් හැමදාමත් මොකක් හෝ කියමින් කල් ගැනීම රජයේ ප්‍රතිපත්තිය විය. 


ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම කිසි දා බාගෙට අධිෂ්ඨානයෙන් කළ නො හැකි ය. ඒ සඳහා එඩිතර, දුර දක්නා දේශපාලන නායකත්ව පෞරුෂයක් අවශ්‍ය ය. එහෙම නායකත්වයක් පසුගිය සියවසේ තිබුණා නම් ලංකාව දැන් බොහෝ දුර ගමනක් ගොසිනි. 


ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ සිදු වන්නේ එකිනෙකා රවටා ගැනීමේ සෙල්ලමකි. ලංකාව ඉන්දියාව රවටයි. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තමිල්නාඩුව රවටයි. තමිල්නාඩු දේශපාලකයෝ තමිල්නාඩු ජනයා රවටති. තමිල්නාඩුව ලංකාවේ දෙමළ ජනයා රවටයි.


ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමළ ජනතාවට සමානාත්මතාවය හා සමාන අයිතිවාසිකම් ලැබිය හැකි ආකාරයේ බලය බෙදීමකට එකග වී ඇති බව ඉන්දීය අගමැති මනමෝහන් සිං තමිල්නාඩු මහ ඇමැති එම්.කරුණානිධිට 2009 මාර්තු 19 දින යවන ලද විශේෂ ලිපියක් මගින් දන්වන ලදී. මෙම බලය බෙදීම පිළිබද ඉතා ඉක්මනින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කටයුතු කරන බව දන්වා තිබෙන බැවින් එය ඉටුකරන ආකාරය පිළිබදව මදක් බලාසිටීමට සිදුවන බව එම ලිපියේ පවසන ලදී.


එකිනෙකා රැවටීමේ මේ සෙල්ලම කොතරම් කාලයක් කළ හැකි ද යන්න අපි නො දනිමු. එහෙත්, ඉන්දියාවේ නායකයන් අත ලංකාවේ දෙමළ ප්‍රශ්නය නම් කාඩ් පත හැමදාමත් තුරුම්පුවක් වී තිබේ. රාහුල් ගාන්ධි පසුගිය දිනෙක ලංකාවේ ආණ්ඩුව ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අතෘප්තිය පළ කරන දැඩි ප්‍රකාශයක් කළේ ය. රාහුල් යනු ඉන්දියාවේ අගමැතිකම ඉලක්ක කරන තරුණ දේශපාලන නායකයෙකි. ඔහු ලංකාවට ඉන්දීය සාම සාධක හමුදා එවීමට මුල් වූ හිටපු අගමැති රජීව් ගාන්ධිගේ පුතා ය.


ලංකාව රටේ ප්‍රශ්න විසඳා නො ගෙන එක තැන පල් වෙන එක ඉන්දීය ජාතිකවාදයට අනුව නම් නරක දෙයක් නො වේ. 


ලංකාවේ නායකයෝ රටේ ප්‍රශ්න රට තුළ විසඳා නො ගෙන ජාත්‍යන්තර මැදිහත්වීම් සඳහා දොරටුවක් විවෘත කර තබා පසුව මෙන්න අපිව ආක්‍රමණය කරන්න හදනෝ යි කියමින් කලබැගෑනි කරන්නට සූරයෝ ය.


මොවුන්ට අඩු තරමේ 'අපි දෙමළුන්ට බලය දෙන්නෙ නෑ යකෝ!' යි කියන්නට හෝ කොන්දක් නැත. එහෙයින් ජාත්‍යන්තරයට එකක් කියමින් මෙහේ එකක් කරති.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා