බූකර් ටේට් තිත්ත සීනි ලංකාවට නැවතත් පැණි රස වේ | Bitter story of sugar of Booker Tate to be re-written in Sri Lanka

බිමිබරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූර්යයා හිනැහුණු
ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වටකරේ
මනරම් මාලිගාවදෝ


ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලලුණු
වෘක්‍ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි
මිනී මල් පිපුනු සීතල නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව
විලාපය නගයි


කැලැ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි
වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමව්


(2011 ජනවාරි 06, W3Lankaරත්න ශ්‍රී විජේසිංහ රචනා කළ ගුණදාස කපුගේ විසින් සංගීතවත් කර ගායනා කරන ලද මෙම ගීය සංගීත ඉතිහාසයේ පමණක් නො ව ලාංකීය සමාජ දේශපාලන අරගලයෙන්හි ද වැදගත් සංස්කෘතික සංකේතයකි. 


එය ලියවුණේ 1980 දශකයේදී ලංකාවේ ඌව වෙල්ලස්සේ අක්කර හැටදහසක උක් වගා ව්‍යාපෘතියක් හා පැල්වත්ත සීනි කම්හල පවත්වාගෙන ගිය බූකර් ටේට් නම් බ්‍රිතාන්‍යය පදනම් කර ගත් බහුජාතික සීනි සමාගම විසින් ඓතිහාසික වෙල්ලස්සට කරන ලද සමාජ, සංස්කෘතික හා පාරිසරික විනාශය තේමා කරගෙනයි. 


රජයෙන් ලබා දෙන ලද සහනාධාර මත යැපෙමින් ලංකාවේ මිනිසුන්ට වැඩි මිළට සීනි විකුණමින් මහජන මුදල් කාබාසිනියා කරමින් පවත්වාගෙන යන ලද මෙම සමාගම ටික කලකට පසු විකුණා දැමූ බූකර් ටේට් රටින් පිට වුණේ ය. ආරියශීග විකුමනායකට හිමි පැල්වත්ත සීනි සමාගම අද පවා පවත්වාගෙන යන්නේ රජය මහජන මුදලින් වක්‍රව ලබා දෙන සහනාධෘරවලින් බව වාර්තා වේ. 


ලංකාව පරිභෝජනය කරන සීනිවලින් 90%ක් පමණ ආනයනය සඳහා වසරකට රු. බිලියන 35ක් පමණ වැය කරන බව කියැවේ. එම වියදම අවම කිරීම සඳහා ය කියමින් වරින් වර විවිධ සීනි ව්‍යාපෘති ආරම්භ කර ඇති මුත් පැල්වත්ත, හිඟුරාන, සෙවනගල, කන්තලේ ආදී සියලු සීනි කර්මාන්තශාලා පාඩු ලබයි. එපමණක් නොව, ඒ ආශ්‍රිත උක් වගා හේතුවෙන් ගොවීන් දුප්පතුන් වී, පරිසරයටත් මහා හානියක් වී තිබේ. 


දැන් ආණ්ඩුව නැවතත් බූකර් ටේට් සමග එක්ව සීනි නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැරසේ. සමාගම ඒ වෙනුවෙන් ගිවිසුමක් මෙම මාසය තුළ ආයෝජන මණ්ඩලය සමග අත්සන් කිරීමට නියමිත ය. ඍජු විදේශ ආයෝජනවලට කෑදර රජය 2007දී මෙම ව්‍යාපෘතිය පාරිසරික හේතු මත තමන් විසින් ම නවත්වන ලද බව අමතක කර දැන් යළි පෙරට ගෙන තිබේ. 


මෙම සීනි ව්‍යාපෘතිය දියත් කරන්නට යන්නේ ලංකාවේ අයි.එම්.එස්. හෝල්ඩිංස් නම් සමාගමක් සමග එක්ව ය. බිබිලේ සීනි ලෙස නම් කර තිබෙන මෙම සමාගමට කම්හලක් හා උක් තවානක් දැමීම සඳහා දැනටමත් හෙක්ටෙයාර 200ක් ලබා දී තිබේ. කම්හල උක් වවන්නට බලාපොරොත්තු වන්නේ බාහිර වැවුම්කරුවන් හරහා ය. 2007දී ඒ සඳහා අක්කර 23,000ක් වෙන් කර තිබිණි.


මෙසේ වෙන් කළ ප්‍රදේශ නිල්ගල වනාන්තරය ආසන්නය දක්වා විහිදීම නිසා එදා එය පරිසරවේදීන්ගේ දැඩි විරෝධයට තුඩු දුන් අතර එවකට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති උදය ගම්මන්පිල කීවේ එම ව්‍යාපෘතිය අනුමත නො කරන බවයි. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හරවත් කතාවක් කළ අන්දම හා බදුල්ල නියෝජනය කරන ඩිලාන් පෙරේරා ඇමති ද එවැනි විනාශයක් කිරීමට රජය ඉඩ නො දෙන බව කියමින් කතා කළ අන්දම අපට මතක ය. 


දැන් එක්සත් ජනපද ඩොලර් මිලියන 110ක් පෙන්වමින් 1980 දශකයේදී වෙල්ලස්ස වනසා ගිය බූකර් ටේට් යළි පැමිණ ඇත. 


ජාතික ආර්ථිකයක් හදන බවට එදා පාරම් බෑ ආණ්ඩුව දැන් බූකර් ටේට්ට රතු පලස එළමින් සිටියි. 


සවිස්තර ලිපියක් (ඉංග්‍රීසි) හා ප්‍රයෝජනවත් සබඳතා පුරුක් සඳහා Lanka Polity බලන්න. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා