අධ්‍යාපන දෙපාර්තමේන්තුව නො දන්නා ඉංග්‍රීසි මාධ්‍යයට ගොස් වරිගෙ නහ ගන්න හැටි | The counter productivity of the English medium education of government schools of Sri Lanka

(2010 දෙසැම්බර් 23, W3Lankaරජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් කීපයක් උගැන්වීම වසර කීපයකට පෙර ඇරඹිණි. සිසුවෝ පන්තියෙන් පන්තියට උසස්ව ගොස් සාමාන්‍ය පෙළ සමත් වූ හ. උසස් පෙළට ගිය විට බොහෝ පාසල්වල විශේෂයෙන් ම උසස් පෙළ විද්‍යා විෂයයන් ඉංග්‍රීසි බසින් උගැන්වීමට ගුරුවරු නොමැති වූ හ. 


මෙම ගුරු හිඟයට පිළියම් ලෙස ගුරුවරුන් බඳවා ගැනීමට උපාධිධාරීන් සඳහා තරග විභාගයක් පවත්වන ලදී. එයට 8000ක් පෙනී සිටි අතර, 4000ක් සමත් වූ අතර 554ක් සම්මුඛ පරීක්ෂණයෙන් පසු බඳවා ගන්නා ලදී. 


මෙම ගුරුවරුන්ගෙන් බොහෝ දෙනකුට ඉංගී‍්‍රසි භාෂාවෙන් ඉගැන්විය නොහැකි බවට සිසුන් හා විදුහල්පතින්ගෙන් ලද පැමිණිලි හා මැසිවිලි නිසා ගුරු සේවයට මින් ඉදිරියට බඳවා ගන්නා සියලු දෙනාම වසරක ඉගැන්වීම් පුහුණුවකින් තොරව පාසලේ සේවයට නොයොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන පවසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉගැන්විය නොහැකි බව පවසා පත්වීම් ලිපි ආපසු බාර දුන් බවත් හේ සඳහන් කළේ ය.


සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම පිරිස තෝරා ගත්තේ ද අධ්‍යාපන අමාත්‍යංශයේ ම නිලධාරීන් විසිනි. 


විද්‍යා උපාධි හිමි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට සැබැවින් ම හැකියාව ඇති අය රු. 12,000ක පමණ ආරම්භක මූලික වැටුපකට ගුරු වෘත්තියට ආකර්ශනය නො වීම ගැන පුදුම විය යුතු නැත.  


දැන් ඇතැම් පාසල්වල පළමු ශ්‍රේණියේ සිට ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කර තිබේ. එහෙත්, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු හිඟයට විසඳුමක් නම් නැත.රජයේ විෂයමාලාවන්හි ඉංග්‍රීසි ඉගැන්වීම සාර්ථක මට්ටමක නැත. විශේෂයෙන් ම, සාමාන්‍ය පෙළ විභාගයේදී මෙය ප්‍රදර්ශනය වේ. සාමාන්‍යයෙන් සිසුන්ගෙන් 50%ක් හෝ ඊට වඩා සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය අසමත් වීම බැරෑරුම් ම ප්‍රශ්නයයි. 


ගුරු හිඟය, සැබැවින් ම නම්, ඵලදායී ගුරුවරුන්ගේ හිඟය මෙයට එක් ප්‍රධාන හේතුවකි. ලංකාවේ ගුරු වෘත්තියට ඇදී එන්නේ විභාගවලදී දක්ෂ ම මට්ටමේ සිටි සිසුන් නො වේ. ඉංග්‍රීසි ගුරුවරුන් නිපදවන ප්‍රධාන ම ක්‍රමවේදය වන පස්දුන්රට විද්‍යා පීඨයට සිසුන් බඳවා ගැනීමේ තරග විභාගය සමත් කරවන ලකුණු මට්ටම ලජ්ජා සහගත තරම් පහත් ය. ඇතැම් අවස්ථාවලදී මෙය 13% පමණ වන බව Daily News පුවත්පතේ ලිපියක කියවා ඇත්තෙමි. ගුරු අධ්‍යාපනයේ පවතින දිළිඳු මට්ටම හේතුවෙන් මෙසේ බඳවා ගනු ලබන සිසුන් දක්ෂ ගුරුවරුන් බවට පත් වන්නේ ද නැත. 


වරක් එක් ගුරු උපදේශකවරයකු ගුරුවරයකුගෙන් ඔබ රෝමියෝ සහ ජුලියට් කියවා තිබේදැයි ඇසූ කල තමා රොමියෝ කියවා ඇති බව ද ජුලියට් තව ම කියවා නැති බව ද කී බවට විහිළු කතාවක් ඉහත කී පුවත්පත් ලිපියෙහි ම ඇත. . 
  
ලංකාවේ ගුරුවරුන් බහුතරයක් දැනුම් වෘත්තිකයන් හෙවත් knowledge workers මට්ටමෙහි නොමැති ඉහළින් කියන දේ පමණක් කරන්නට උත්සාහ කරන අදක්ෂයෝ ය. නැතිනම් එලකියුෂන් වැනි බාල වෙළඳ භාණ්ඩ මැජික් ලෙස පෙන්වන වෙළෙන්දෝ ය. අතළොස්සක් වන දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන්ට මෙයින් අපහාසයක් ‍නො වේ යයි බලාපොරාත්තු වෙමු. 


ඉංග්‍රීසි අධ්‍යාපනයේ මට්ටම මෙසේ වෙද්දී තෝරා ගත් සුපිරි ය, ජාතික ය කියා ගන්නා පාසල් අතළොස්සක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කිරීම මව් බස හරි හැටි නො දත්, ඉංග්‍රීසිය ද නො දත් මුල් ඉදිරුණු, සෝබනකාර පරපුරක්, මධ්‍යම පංතියෙන් බිහි කරන්නට පමණක් හේතු වන පියවරකි. මෙම ඊනියා ඉංග්‍රීසි අධ්‍යාපනයේ හිස්කම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළට උගන්වන්නට බඳවා ගත් ගුරුවරුන් පිළිබඳ ඉහත නිදසුනින් හොඳින් පැහැදිලි වේ. 


රටේ සියලු පාසල් දරුවන්ට සිංහල, දෙමළ මව්බසත්, ඉංග්‍රීසි දෙවන බසත්, තුන්වන බසක් ලෙස දෙමළ හෝ සිංහල හෝ ද හරියට උගන්වනවා වෙනුවට නිදහස් අධ්‍යාපනය සපයන නාගරික පාසල් අතළොස්සක, ඒ පාසල්වලට යන්නට ශක්තිය ඇති මව්පියන්ගේ දරුවන් කොටසකට පමණක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම නිදහස් අධ්‍යාපනයේ විෂමතා වර්ධනය කරන ප්‍රතිගාමී පියවරකි. 


අධ්‍යාපන බලධාරීන්ට අඩු තරමේ එම කාර්යය හෝ හරි හැටි කරන්නට බැරි වී තිබීම කණගාටුදායක ය. ඉංග්‍රීසිය වන්දනා කරන්නට ගිය දෙමාපියන්ගේ දක්ෂ දරුවන් පිරිසක් මෙයින් අසරණ වී තිබේ. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඉංග්‍රීසි ගුරුවරු නිපදවන්නේ පස්දුන්‍ රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පමණක් නොවේ. පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සහ යාපනය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු පුහුණු කරන අනෙකුත් ප්‍රධාන ආයතන දෙකයි. Z-score අගය හා දිස්ත්‍රික්කය විශ්ව විද්‍යාල ප්‍රවේශයට බලපාන ආකාරයටම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සදහා ඇතුලත් වීමට මා දන්නා ආකාරයට දිස්ත්‍රික් පදනම භාවිතා වේ. 13% ක අවම ප්‍රවේශ මට්ටම කුමන දිස්ත්‍රික්කයට අදාල ද යන්න පුවත්පත් ලිපියෙහි දක්වා නැත. කොළඹ මාතර හා නුවරදී A සාමාර්ථ 3ක් ගෙන තමන් අපේක්ශා කරන විශ්ව විද්‍යාල පාඨමාලාවට ඇතුලත් වීමට නොහැකිව වෙනත් මග ගිය අයද.. සමහර දිස්ත්‍රික්ක වලින් C සාමාර්ථ 3ක් ගෙන විශ්ව විද්‍යාල වල සුපිරි යැයි කියන පාඨමාලා වලට ඇතුල්වන සිසුන්ද සිටියි. එසේ නම් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වලට සිසුන් ඇතුලත් කර ගැනීමේ ක්‍රමවේදය නිවැරදි යැයි මට සිතේ. නමුත් ප්‍රශ්නය වන්නේ ගුණාත්මක භාවයයි.

    ශ්‍රී ලංකාවේ ගුරුවරුන් ට උසස් අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා ඉතා සීමිතය. ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ගුරුවරයෙකුට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනවේදී උපාධිය ට ලියාපදිංචි වීම සදහා 3 වසරක හෝ 5 වසරක සේවා කාලයක් සම්පූර්ණ කල යුතුය. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධියන් සදහා එක්කෝ එහි පදනම් පාඨමාලා හෝ ඩිප්ලෝමා හදාරා තිබීම අත්‍යාවශ්‍ය වේ. මේ හැර ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ ද අධ්‍යාපනවේදී උපාධියක් ඇත. සමහර පාඨමාලා ඇත්තේ ද කොළඹ පමණි. ඉංග්‍රීසි භාශාව ඉගැන්වීම පිලිබද අධ්‍යාපනවේදී උපාධිය හා සම්බන්ධ සියලුම අධ්‍යයන කටයුතු සිදු වන්නේ නාවල සහ මහරගම පිහිටි ප්‍රධාන ආයතන දෙක හරහා පමණි. (පෞද්ගලික උවමනාවක් මත සොයා බැලූ කල මට සොයා ගැනීමට හැකි වූ විස්තරයි මේ. වරදක් වේ නම් කරුණාකර නිවැරදි කළ මැනවි.)

    ඉංග්‍රීසි භාශාවට එසේ නම් ඉංග්‍රීසි මාධ්‍ය ගැන කවර කතා ද?

    ReplyDelete
  2. කොච්චර හොඳට බඳවගෙනද කියනවනම් අපේ ඉස්කෝලෙ EM කෙමිස්ට්‍රි වලට ආව මැඩම් ඇවිත් මාසෙන් ගියා.

    ReplyDelete
  3. අවශ්‍ය ඉංගිරිසි හොඳින් ඉගැන්වීම මිස ඉංගිරිසියෙන් ඉගැන්වීම නොවේ. මේ සේරටම මුල ගොබ්බ දේශපාලකයින් සහ උන්ගේ එහෙයියන්වන නිලධාරීන්ය.

    ReplyDelete
  4. @KK

    This is about teaching other subjects in English medium.

    ReplyDelete
  5. I am science graduate and master, now working in out of country. when i was sri lanka, i am trying to be a teacher, but unable to do that, since without political support. Many people like to be a teacher and have a ability to teach in English, but not enough for salary. when gov give 16,000, privet international school give more than 40,000 for a/l English medium teacher.

    ReplyDelete
  6. ඉංගිරිසි ඉගැන්වීම හරියට කිරීමෙන් විනා ඉංගිරිසියෙන් ඉගැන්වීමෙන් එතරම් ප්‍රතිඵලයක් අත්කර ගත නොහේ. මේ වන විට වයස 50 පැන ඇති ඉංගිරිසියෙන් ඉගෙනගෙන සංස්කෘතික මුල් සිඳගත් ලාංකීය මධ්‍යම පාන්තික නාකි ප්‍රජාව හොඳම උදාහරණයයි.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා