යුද අපරාධ චෝදනාවෙන් රාජපක්ෂවරුන් ගලවා ගත හැක්කේ කෙසේ ද?

(2010 දෙසැම්බර් 05, W3Lankaයුද අපරාධ චෝදනා රාජපක්ෂවරුන් පසුපස හඹා ඒම අවසන් නො වන බව ලන්ඩන් ගමන හා ආශ්‍රිත සිදුවීම්වලින් ද විකිලීක්ස් වෙබ් අඩවිය විසින් හෙළිදරව් කරන ලද රහසිගත තොරතුරුවලින් ද පෙනේ. 


කොටි සංවිධානය විනාශ කර දැමීම පිළිබඳව බටහිර බලවතුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කෘතවේදී වන මුත්, බටහිර විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ එය සිදු නො වීම නිසා එයට වගකීමට රාජපක්ෂවරුන්ට සිදු වී තිබේ. මේ රාමුව බටහිර බලවතුන් විසින් ම ඕනෑ තරම් කඩා බිඳ දමා ඇති මුත් දේවාලයේ මළ පහ කරන්නට පුළුවන් කපුවන්ට පමණක් වීම නිසා ඒ අවස්ථාව ඉල්ලා ලංකාව උද්ඝෝෂණ කරන්නට යාම තේරුමක් නැත. 


රාජපක්ෂවරුන් රටේ කලින් සිටි පාලකයන්ගෙන් වෙනස් වන්නේ ඔවුන් ජාත්‍යන්තර දේශපාලනයේ දෙන ලද රාමුව බිඳ ගෙන කොටි සංවිධානය හඹා‍ ගොස් යුද්ධය ජය ගැනීමට සමත් වූ නිසා ය. එය පොතේ නිතිවලින් කළ යුද්ධයක් නො වේ. පොතේ නීති නො තැකූ කොටි සංවිධානයට අවසානයේදී පොතේ නීති නො තකන තමන් වැනි ම වූ සතුරකු මුණ ගැස්වූයේ රාජපක්ෂවරු ය. 


රාජපක්ෂවරුන් ද ප්‍රභාකරන් මෙන් ම ඉතිහාසයේ නිර්මානයක් බව අප මීට පෙර ද ලියුවෙමු. ඔවුන් නියෝජනය කළේ ඉතිහාසයේ ඔවුන්ට පැවරුණ කාර්යයයි. යුද අපරාධ චෝදනා එහි ප්‍රතිඵලයයි. 


මෙම තත්වය බටහිර පවා තේරුම් ගන්නා එකකි. බටහිර බලවතුන් රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ තීරණාත්මක වැඩපිළිවෙලක් වෙත නම්මා ගැනීමට රනිල් වික්‍රමසිංහට පවා බැරි වි තිබෙන්නේ මෙම සංදර්භය තුළයි.


එහෙත් රාජපක්ෂවරුන් පටලවා ගන්නා කාරණයක් වන්නේ නො වැදගත් අනුගාමිකයන් පිරිසකගේ බටහිර විරෝධය තමන්ගේ කර පිටට ගැනීමයි. 


රාජපක්ෂවරුන්ට යුද අපරාධ චෝදනාවෙන් ගැලවීම පිණිස මාර්ග පාදා ගැනීමට බැරි නැත. එය කළ යුත්තේ බොරු කොමිෂන් පත් කිරීමෙන් නො ව, ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දීම සඳහා කටයුතු කිරීමෙනි. යුද අපරාධ චෝදනාව සජීවී කර තබා ගන්නා දෙමළ ඩයස්පෝරාවේ බල බිඳ දැමිය හැකි එක ම මාර්ගය එයයි. දෙමළ ඩයස්පෝරාව යනු ඒ ඒ රටවල දේශපාලකයන්ගේ ඡන්ද පදනම් බව දේශපාලනයේ හසල රාජපක්ෂවරුන් වටහා ගත යුතු ය. ඒ රටවල දේශපාලකයන් කරන්නේ තම ඡන්ද දායකයන් සතුටු කිරීමයි. එ‍හි ඡන්ද අයිතිය නැති මෙහි මිනිසුන් ඔවුන්ට ජාතික දේශපාලනයේදී වැදගත් නැත. 


ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහි ලා ද හේතු වන ක්‍රියාමාර්ගයකි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම ද බටහිර සමග ඇති අරෝව සමථ කර ගැනීම සඳහා තවත් මාර්ගයකි. 


එසේ නො කර රාජපක්ෂවරුන් කර පිටින් ගොඩ යාමට සිතා සිටින කුජීත ජාතිවාදී සිඟාලයන් සනසමින් දිගින් දිගට ම සිටින්නේ නම්, අවසානයේදී සිදු වනු ඇත්තේ රාජපක්ෂවරුන්ට සියලු පව්වලට කර ගැසීමට සිදු වීමයි. 


ජනප්‍රියත්වයේ උච්ච ම තලය පසු කර ඇති බව රාජපක්ෂවරුන් තේරුම් ගත යුතු ය. පවතින ආර්ථික අභියෝග ජය ගැනීම පහසු නැත. ඒ සඳහා ලංකාව ජාත්‍යන්තරව ගොඩ නඟා ගන්නා සාමය අතිශය වැදගත් ය. කුමන තත්වයක් තුළ වුව ආර්ථික යුද්ධය තුළ ජනප්‍රිය වීමේ හැකියාවක් රාජපක්ෂවරුන්ට ඉදිරි වසර කීපය තුළ අපේක්ෂා කළ නො හැකි ය. 


ඊනියා බටහිර විරෝධය වනාහි ජාතිවාදය හැර ගොඩ යාමට අන් මගක් නැති සිඟාලයන්ගේ පිළුණු ආහාරයකි. රාජපක්ෂවරුන් බටහිර විරෝධීන් වූවා නම් ඔවුන් ඇමරිකානු පුරවැසියන් වන්නේ නැත. එහෙත්, මෙම ජාතිවාදී සිඟාලයන් සිය පිළුණු බත රාජපක්ෂවරුන් සමග බෙදාගෙන කන්නට දරණ තැත පරාජය කිරීමට රාජපක්ෂවරු තවමත් සමත් වී නැත. 


මේ පිරිස කුමන හෝ තීරණාත්මක මොහොතක රාජපක්ෂවරුන් පාවා දෙති. මන්ද, ජාතිවාදය පිහිට කොටගෙන පෞද්ගලික උන්නතිය සාදා ගැනීමේ යෙදි සිටින ඔවුන්ට සිය අරමුණු සපුරා ගත හැක්කේ එවැනි පියවරක් ඔස්සේ පමණක් වන හෙයිනි. පිටින් සිටින සතුරන්ට වඩා ඔවුන් භයානක වන්නේ ඒ නිසා ය. 


අප යෝජනා කරන්නේ මෙයයි. රාජපක්ෂවරු දැන්වත් යථාර්ථය අභිමුඛ විය යුතු ය. ජාතිවාදීන්ගේ උගුල්වලට අසු වනවා වෙනුවට අඩු තරමේ සිය පවුල් පාලනයේ උන්නතිය පිළිබඳ සිතා හෝ බටහිර සමග ඇති අරෝව සමථ කර ගත යුතු ය.  යුද අපරාධ චෝදනාවල ජීවය මකා දැමීමට නම් ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් ලබා දිය යුතු ය. දෙමල ඩයස්පෝරාවෙන් කොටසක් හෝ ඒ විසඳුම වෙත දිනා ගැනීමට උත්සාහ කළ යුතු ය. කේ.පී. වැනි කුමන්ත්‍රණකාරයන් හරහා කළ හැකි දෙයක් නැති බව වටහා ගත යුතු ය. 


දෙමළ ඩයස්පෝරාව ලංකාවේ ආයෝජනය කරන්නට පොළඹවා ගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී වටපිටාවක් නිර්මානය කර ගත හැකි නම් ලංකාවේ බරපතල ආර්ථික ගැටලුවක් වන ඍජු විදේශ ආයෝජන ප්‍රශ්නය පවා විසඳා ගත හැකි වනු ඇත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. @W3
    //කේ.පී. වැනි කුමන්ත්‍රණකාරයන් හරහා කළ හැකි දෙයක් නැති බව වටහා ගත යුතු ය//
    කේ.පී. කුමන්ත්‍රණකාරයෙක් ලෙස W3ටත්, කොටි ඩයස්පෝරාවටත් පෙනෙන්නේ ඔහු රාජපක්ශලා සමග එක්ව වැඩ කරන සම්මුතියක සිටින නිසාය. කේ. පී. තවමත් බටහිර රටකට වී මළ කොටින් වෙනුවෙන් කඩේ ගියේ නම් ඔබලා ඔහු ජේශ්ඨ දෙමළ ජනතා නියෝජිතයකු ලෙස දකිනු නොඅනුමානය.

    ReplyDelete
  2. දෙමල ඩයස්පෝරාව ලංකාව හදන්න , ආයෝජනයට පොළබවා ගන්නවා කියන එක ප්‍රයෝගික නැහැ. පිටරටවල ඉන්න බහුතරයක් ද්‍රවිඩයන් Asylum ලෙස රට ආ අය. ආපු උගතුන්ටත් (ඕනෙම ජාතියක ) ජීවත් වෙනා වෙලා තියෙන්නේ අමාරුවෙන්. දෙමල මිනිස්සු ප්‍රභාකරන්ගේ වශියට හම්බ කරන එකෙන් කීයක් හරි උණ්ඩි කරලා දුන්නට ඩයස්පෝරාව කියන්නේ සල්ලි කාරයෝ නෙමෙයි. කෙනෙක් කියන්න පුළුවන් එතකොට කොහෙන්ද කොටින්ට නැව් ගන්න තරම් සල්ලි හම්බවුනේ කියලා. නමුත් ඒකට හේතුව සල්ලි තිබීම නෙමෙයි. මම හිතන්නේ නැහැ ඉන්න කෝටිපති දමිල මිනිසුන්ගෙන් පමණක් කොටි රැකුණා කියලා. කැනඩාවේ ජීවත්වන කෙනෙක් හැටියට මම දන්නවා , වෙනමම රජයක් වැඩියෙන් ඕනේ උනේ පොඩි මිනිසුන්ටයි. ඔවුනුයි ලොකු වුන් නිසා දුක් වින්දේ.

    ReplyDelete
  3. "දෙමළ ඩයස්පෝරාව ලංකාවේ ආයෝජනය කරන්නට පොළඹවා ගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී වටපිටාවක් නිර්මානය කර ගත හැකි නම් ලංකාවේ බරපතල ආර්ථික ගැටලුවක් වන ඍජු විදේශ ආයෝජන ප්‍රශ්නය පවා විසඳා ගත හැකි වනු ඇත."

    This is a day dream. Tamil Diaspora want the destruction of Sri Lanka. They will only invest for destructive activities such as another insurgency......

    ReplyDelete
  4. කොහොම උනත් අපේ රටේ තිබුන යුද්ධය ඉවර කරපු එක දැන් ඉන්න ඔක්කෝටම ප්‍රශ්නය ක්

    ReplyDelete
  5. මේ ලිපිය කියවන විට හැගෙන කරුණක් වන්නේ බටහිර ධනවාදී රටවලුත් ලන්කාව වැනි "වෙන්ට" ධනවාදී රටවලුත් සැබෑ ලෙස ප්‍රජාත්න්ත්‍රවාදී නොවන බවයි. W3ගෙ නිර්නායකයන්ට අනුව සැබෑ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෝකය තුල පවතීද? එසේ නම් ඒ මොනවාද?
    එමෙන්ම සැබෑ ලෙස ප්‍රජාත්න්ත්‍රවාදී සමාජවාදී රාජ්‍යක් මේ මිහි පිට කිසි දිනක පැවතියේද? එසේ නම් ඒ කුමක්ද?

    ReplyDelete
  6. "රාජපක්ශ නොවෙයි එයාගෙ වටේ ඉන්න අය තමයි එයාව නරක් කරන්නෙ" වර්ගයේ අවබෝධයකට W3 ද පැමින ඇතිබව පෙනේ.

    "...මේ පිරිස කුමන හෝ තීරණාත්මක මොහොතක රාජපක්ෂවරුන් පාවා දෙති..."
    අගනා සොයාගැනීමක්! මාරක අනතුරු ඇඟවීමක්!

    රාජපක්ශවරුන්ට ඇඩ්වයිස් කිරීම ඔබේ කාර්යභාරයද? එය වික්ටර් අයිවන් වැන්නන්ට ඉතිරි කරන්න. ඔබ ඔබේ පාඨකයාට ලියන්න. රාජපක්ශවරුන් තේරුම්ගත යුතු දේ නොව ඔබේ සහෘදයා තේරුම්ගත යුතුයැයි ඔබට හැඟෙන දේ ලියන්න. ඔබේ ඓතිහාසික කාර්යභාරය එයයි මිත්‍රයා!

    - Dimithry

    ReplyDelete
  7. "... කොටි සංවිධානය විනාශ කර දැමීම පිළිබඳව බටහිර බලවතුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කෘතවේදී වන මුත්, බටහිර විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදි රාමුව තුළ එය සිදු නො වීම නිසා එයට වගකීමට රාජපක්ෂවරුන්ට සිදු වී තිබේ..."'බටහිර' යන්න නිශ්චිත භූගෝලීය කලාපයක් හැදින්විම ට වඩා ජාත්‍යන්තර ප්‍රාග්ධන හිමි බලවේග හැදින්විම ට යොදා ඇත්නම් කිව යුතු වන්නේ මේ කොටස ලොකු ම ලොකු පටලවා ගැනිල්ලක් බව ය. එසේ නැතිව මේ කතා කරන්නේ භූගෝලිය කලාපයක් ගැනනම් ඒ ගැන කතා කරන්න ට තරම්් වැදගත් කමක් නැත. රාජපක්ෂලා මේ කරන්නේ 'දේශප්‍රේමයේ' නාමයෙන් ඔය කියන 'මහා විජයග්‍රහනයේ' ප්‍රතිඵලය ලෙස හැම අතින් ම බංකොලොත් වි ඇති මේ රට කෑලි-කෑලිවලට විකුණමින් බලය පවත්වා ගෙන යාමේ ලාබ සෙල්ලමකි. අපි මේ ඇත්තට පිටු පෑවොත් යථාර්ථය තව-තවත් අවාසනාවන්ත වනු නොවැළැක්විය හැක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා