මහින්දගේ පා මුල සිටින මීයෝ යුද අපරාධ චෝදනා සජීවීව තබා ගන්නා හැටි

(2010 දෙසැම්බර් 07, W3Lanka) විකිලීක්ස් වෙබ් අඩවියේ පළ වී ඇති ඇමරිකානු තානාපතිනි පැට්‍රීෂියා බියුටිනිස් ලංකාවේ දෙමළ නායකයන් කීපදෙනෙකු සමග කළ සාකච්ඡාව පිළිබඳ තොරතුරු අනුව, දෙමළ නායකයන්ටත්, ඇමරිකාවටත් ලංකාවේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය අතර ඒ සඳහා දැනට කාලය නො වන නිසා, කල එළඹෙන තෙක් ඒ පිළිබඳ උද්ඝෝෂණය ප්‍රාණවත්ව තබා ගත යුතු ය.


දෙමළ ඩයස්පෝරාවේ මේ මොහොතේ ප්‍රධාන දේශපාලන කාර්යය එය වී තිබේ. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනය නිසා එක්සත් ජාතික පක්ෂය, ජවිපෙ වැනි විපක්ෂ දේශපාලන පක්ෂ පවා එයට අනියමින් උදව් කිරීමට පෙළඹීම වළක්වා ගත නො හැකි ය.


මේ සියල්ලට වඩා රාජපක්ෂලා‍ට භයානක වන්නේ සිය දෙපා ලෙව කමින්, පා මුල ලැග සිටින සතුරන් කරන දේ ය. ඉදිරියට ඒම සඳහා රාජපක්ෂලාගේ කර ද, විනාශය ද ප්‍රාර්ථනා කරන මෙම පිරිස මේ මොහොතේ හැසිරෙන්නේ රාජපක්ෂවරුන් කෙරෙහි අන්ධ භක්තියකින් කටයුතු කරන තොත්ත බබ්බු පිරිසක් ලෙස ය.


පාර්ලිමේන්තුවේදී ජයලත් ජයවර්ධනට පහර දීම, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ගොන් පාට්, කරු ජයසූරියට එරෙහිව විශ්වාස භංග ආදී මේ හැමෙකක් ම අවසානයේදී ඉවහල් වන්නේ යුද අපරාධ චෝදනා සජීවීව තබා ගැනීමටයි.


යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට කරු ජයසූරිය ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශයක් කර ඇති බවට මොවුහු පුළුල් ප්‍රචාරයක් ලබා දෙති.


යුද අපරාධ සම්බන්ධයෙන් බටහිර බලවත්තු ආණ්ඩුවට මෙන් ම කොටින්ට ද එක ලෙස චෝදනා කරති. පරීක්ෂණයක් පැවැත්වුවහොත්, කරුණාලා, දේවානන්දාලා, සිද්ධාර්ථන්ලා පමණක් නො ව ඇතැම් සිංහල ජාතිවාදී කල්ලි නායකයන් පවා එයට පැටලෙන්නට ඉඩ ඇත.


නිර්දෝෂී බලවේග කිසි විටෙකත් පරික්ෂණවලට විරුද්ධ නො වෙති. ආණ්ඩුව මෙහිදී නිර්දෝෂී නැති බව ඕනෑ ම අත දරුවකු දනියි. මෙවැනි අවස්ථාවකදී අපායේ නො වැටෙන උපාය දන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන් කරන්නේ 'අප ඕනෑ ම පරීක්ෂණයකට බිය නැත' යි කියන ගමන් එවැනි පරීක්ෂණයක් වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකව පියවර ගැනීමයි. නො එසේ නම්, අදාළ පරීක්ෂණය සත්‍යය සෙවීමේ කොමිෂමක් වැනි සංහිඳියාවට ඉවහල් වන එකක් බවට පෙරළා ගැනීමයි.


ලොව දරුණු ම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකුණු, බටහිර බලවතුන්ට ද ප්‍රශ්නයක් වී තිබුණු කොටි සංවිධානය විනාශ කර දැමීම වෙනුවෙන් ගෝලීය ධනවාදයෙන් රාජපක්ෂවරුන්ට රැකවරණයක් ලබා ගන්නට බැරිකමක් නැත. ඒ සඳහා බටහිර බලවතුන්ගේ උවමනාවන් ඉෂ්ට කිරීම අත්‍යවශ්‍ය නැත. කළ යුතුව ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, ජාතික ප්‍රශ්නයට විසඳුම් දෙමින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට කටයුතු කිරීම, යහපාලනය හා ආර්ථිකය නැංවීමට කටයුතු කිරීමයි.


එහෙත්, රාජපක්ෂලාගේ දෙපතුල ළඟ සිටින මීයන් කරන්නේ රාජපක්ෂලා අමාරුවේ වැටෙන වැඩයි. පසුගිය දිනවල විමල් වීරවංශ වැනි අය කරු ජයසූරිය වැනි ඇතැම් පුද්ගලයන් විනාශ කළ යුතු බවට මතයක් නිර්මානය කළ හ. මෙසේ මත නිර්මානය කරන්නන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් භෞතිකව එවැනි විනාශ කිරීම් සඳහා සම්බන්ධ නො වී, ඇඟ බේරාගෙන දෑත් පිරිසිදුව තබා ගැනීමයි. අවසානයේදී අපරාධ චෝදනා එල්ල වන්නේ මත නිර්මානය කළ අයට නො වේ.


රාජපක්ෂවරුන් පා මුල ලැග හිඳිමින් බොරුවට දඟලමින් වැරදීමෙන් වනවා සේ පෙන්වමින් ඔවුන්ගේ සළු ගලවන පිරිස් දෙස විමසිල්ලෙන් බලන්න. මොවුහු සිය උන්නතිය සඳහා රාජපක්ෂලාගේ විනාශය බලා සිටින්නෝ ය. මේ පෙරමුණේ එක් කෙළවරක හිටපු ජවිපෙ කැරැලි නායක විමල් වීරවංශ ය. අනෙක් කෙළවරේ පසුගිය කාලයේ කොටි බළල් අණ්ඩක් ‍ලෙස සලකා රටින් පිටමං කෙරුණු බර්ගොෆ් පදනම ගෙදර වගේ වි සලකමින් සිටි ඩිලාන් පෙරේරා ය.


වනේ ගිජිඳාය දුටුවොත් වනසා            ය
විලේ පනිඳා ය වැටුණොත් ඌ කා       ය
අතකින් කරවැලකි අතකින් දඬු බෑ       ය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ   ය


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මගේ හැගීම නම් තමා සැබෑ ලෙස යුධ අධිකරනයකට ගෙන යාමට බටහිර රටවලට නීතිමය හෝ ලෝක දේශපාලනික බලයක් නොමැති බව මහින්ද ඉතා හොදින් දන්නා බවයි. නමුත් බඩු මිල ආදී ප්රශ්න අමතක කර දමා ජනතාව තමා වටා රොක් කර ගැනීමට මෙම චෝදනාව සජීවීව තබා ගැනීම මහින්දට ඉතා ප්රයෝජනවත් වේ. විමල්ලා, දිනේශ්ලා පන දෙන්නේ මේ භූමිකාවටයි.
    මහජන චන්දයෙන් බලයට ඒමට සුලු හෝ අදහසක් ඇත්නම් විපක්ශය මේ වන විට කල යුත්තේ යුද අපරාධ නිරීක්ශන විරෝධයේදී ආන්ඩුව සමග එකට සිට ගෙන ජීවන වියදම, දුශණය වැනි දේට එරෙහිව ජනතාව පෙලගැස්වීමයි. ජයලත් ජයවර්ධන වැනි මැට්ටන් සමග එම ගමන යාම අසීරු බව පෙනේ.

    ReplyDelete
  2. "රටේ ප්රජාතන්ත්රවාදය ඇති කිරීම, ජාතික ප්රශ්නයට විසඳුම් දෙමින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට කටයුතු කිරීම, යහපාලනය හා ආර්ථිකය නැංවීම" ආදියෙන් බටහිර රටවල් සන්තර්පණය කර ඔවුන්ගේ බලපෑම් වලින් ඉවත් විය හැක යන්න මෝඩ තර්කයකි. ලෝක දේශපාලනය ලෙස විමසිලිවත් වන කවරකු හට වුව බටහිර රටවලට (අන් රටවලට සේම ) වඩා වැදගත් වන්නේ ප්රජාත්නත්රවාදය හෝ යහ පාලනය නොව, තම රටවල ආර්ථික දේශපාලන අරමුණු ලගා කර ගැනීමේදී පවතින රෙජීමය කොතරම් ප්රයෝජනවත්ද යන්න බව මැනවින් පැහැදිලි වේ.
    ඔය කියන වට්ටෝරුවෙන් මහින්දට එන්ගලන්ත්යේදී හූ කිව් කොටි ඩයස්පෝරාව සැනසීමටද නොහැකිය. ඔවුන්ගේ විරෝධය පරාජයේ කටුකත්වය, ලැජ්ජාව, වෛරය ආදී හැගීම් වලින් මෙහෙයවන්නක් බැවිනි. මෙයට ඇති කෙටි කාලීන විසදුම් වන්නේ මහින්ද හා ගෝටා එල්ලා මැරීම (මොවුන් දැනට ෆොන්සේකාට සමාවදී ඇති බව පෙනේ) හෝ වෙනම ඊලමක් දීම පමණි.

    //මෙවැනි අවස්ථාවකදී අපායේ නො වැටෙන උපාය දන්නා රාජ්ය තාන්ත්රිකයන් කරන්නේ 'අප ඕනෑ ම පරීක්ෂණයකට බිය නැත' යි කියන ගමන් එවැනි පරීක්ෂණයක් වළක්වා ගැනීම සඳහා රාජ්ය තාන්ත්රිකව පියවර ගැනීමයි.//
    මෙය සත්ය වන්නේ සමහර අවස්ථා වලදී පමණයි. උදාහරණයක් ලෙස යුද අපරාධ චෝදනා සම්බන්ධව ඊශ්රායලය දිගින් දිගටම දක්වන ප්රතිචාරය වන්නේ "අපේ දේ සෙවීමට නුබලාට අයිතියක් නැත" යන්නයි. (ශ්රී ලන්කාව දැක්විය යුතු ප්රතිචාරයද මෙයම බව මින් අදහස් නොකරමි )

    ReplyDelete
  3. මම රාජපක්ෂ වාදියෙකු නොවෙමි. නමුත් සියල්ලන්ගෙන්ම අසන්නට එක් ප්‍රශ්නයක් ඇත. (බුදුන් කිසා ගෝතමියට කිසිවෙක් නොමරුනු ගෙයකින් අබ ගේන්න කීවා සේ, ක්‍රිස්තුස් විසින් පව් නොකල එකෙක් ඇත්නම් ගල් ගසන්නට කීවා සේ,

    ඔබලාත් යුද අපරාද නොවුනු යුද්දයක් නම් කරන්න.

    මාගේ අදහස නම්, යුද අපරාද ගනයේ ලා ගැනෙන සියලු දේ යුද්ධය යන වචනය හා බැඳී ඇත.

    -Sahan

    ReplyDelete
  4. masuran vatina kathava, Dilan gaththahama,polagek hariyata mangala vage.vansa echchara bayanaka nehe.

    ReplyDelete
  5. එතකොට මහින්ද බබා!!!!????

    Take this regime as a whole. These individuals only play their role.

    ReplyDelete
  6. නිර්දෝෂී බලවේග කිසි විටෙකත් පරික්ෂණවලට විරුද්ධ නො වෙති. ආණ්ඩුව මෙහිදී නිර්දෝෂී නැති බව ඕනෑ ම අත දරුවකු දනියි.

    ඕනෑම අතදරුවෙක් දන්නා නමුත් පැරකුම් නොදන්නා කාරණය වනුයේ ඇමෙරිකාවට අවශ්‍ය මහින්ද පළවා හැර රූකඩ ආණ්ඩුවක් පත් කර ගැනීම මිස යුධ අපරාධ විභාග කිරීම නොවන බවයි. යුධ අපරාධ විභාගයට ගෙන ශ්‍රී ලංකාවට සම්භාධක දමා එමගින් මහින්ද අප්‍රසාදයට පත් කර රූකඩ ආන්ඩුවක් ගෙනා පසු ඔය චෝදනා දශකයක් පමණ ඇදෙමින් යනු ඇත. ඒ කාලය වන විට මහින්ද ඔන්න මැරෙන්න මෙන්න ඇරෙන්න යන ජරා ජීර්ණ මහල්ලෙක් වීද සිටිනු ඇත.

    එසේම අත දරුවකු වුවද දන්නා අනෙක් කාරණය නම්, බඩුත්, නඩුත් දෙකම හාමුදුරුවන්ගේ නිසා ඔය යුධ අධිකරණයේ තීන්දුව කල්තියාම සැලසුම් කරන බවයි. නමුත් පැරකුම් බබාට ඒවා තේරෙන්නේත් නැත. රදවාන් කරඩ්සික් ට එරෙහිව යුධ අපරාධ චෝදනා ගෙන ආවත්, සර්බ්යානුවන් දස දහස් ගණනක් මැරූ නේටෝවට යුධ අප්‍රාධ චෝදනා ගෙන නො ඒම හා අඩු වශයෙන් නඩු විභාගයේදී ඒ ගැන සඳහන් කරන්නටවත් නොදීමෙන් ඔය අධිකරණයේ සමබරතාවය ගැනද පැහැදිලිය.

    ReplyDelete
  7. pissuda yako, umbala janathawa gonata andana batahira ratawala sales repla wenna epa...

    ReplyDelete
  8. This is the safe issue that enabled the regime to keep people's issues such as poverty, high cost of living, high taxes, youth unemployment, lack of proper health care facilities etc. out of the agenda, and cornered the political opposition as well as the critiques of government.

    You are correct the West is simply helping the regime to keep it alive. They just playing with their voters.

    Both the UNP and the JVP are also playing with it, thinking that they could come out from the present predicament by going with the General SF.

    The Rats are just eating the dust falling from the tables. When this is not falling they would leave the place. Funny thing is some of these Rats were produced by so called Revolutionary JVP.

    ReplyDelete
  9. යුද්ධෙ ඉවරවුනාට පස්සෙ වීරවංශ ජීවත් වෙන්නෙ යුධ අපරාද චෝදනා වලින්. ඒවා නැතුව ගියොත් මිනිහගෙ දේශපාලනේ ඉවරයි.

    ReplyDelete
  10. මේ කතාවේ එකම හරය නම් අපේ රට බටහිර විරෝධයෙන් මිදී සහයෝගී රාමුවකට ආ යුතු බවයි. අතුරු කතාව නම් මහින්දවාදයෙන් [ජාතිවාදය, ජාතිකත්වය හෝ වෙනත් වචන නාස්ති නොකරන්න] ඔද වැඩුණු වීරවංස වැනි මුග්ධයින් මෙය තේරුම් ගෙන ඒ මග ඇහිරීමෙන් වැළකිය යුතු බවයි.

    ඔය ඇමරිකාවට ඕනෑ ඇති දේශ්පාලන විසඳුමක් හෝ ප්‍රජාතන්තරයක් නැත. උන්ට ඕනෑ ලංකාවේ රජය තම අධිපතිවාදී මතයට ගරු කරන තත්වයට ගැනීමයි. ඒ සඳහා යුධ අපරාධ වැනි දේ යොදා ගැනේ. තව කල් ඉවසන ලෙස බුටේනිස් කියා ඇත්තේ මහ රජා යන දිශාව ගැන ඇයට නිච්චියක් නැති බැවිනි.

    එතනින් එහාට ඇත්තේ පැරකුම්ගේ සිත් වේදනාවන්, වෛරය හා අතාර්කික ගොන් කතා පෙළකි.

    - යුද්ධය සන්දියේ කොටියා හමුදාවන්ට දුවන්න ගහන තුරු බලා සිටි එකෙකි පැරකුම්. බලාපොරොත්තු සුන් වූ බවක් පේන්නේ ඒකයි.

    - පැරකුම් ලා කොටින්ට බනින්නේ categorically පමණි. අද වන තුරුත් කොටින් විසින් මායිම් ගම්මාන වල කපා කොටා දැමූ මිනිසුන් ගැන හිතා මතා මහජනයාට බෝම්බ ගසා මරා දැමූවන් ගැන එක පෝස්ටයක් ලියවී නැත. හැම මිනිසාගේම අයිතීන් වෙනුවෙන් කතා කළ යුතුය. පැරකුම් කියන යුධ අපරාධ collateral damages හා crossfire වුවත්, කොටින් කළ දේ deliberate targetting හා masterminded criminal acts වේ

    - සම්මත නීති රැකි කිසිම යුද්ධයක් නැත. කරන්නේ නීති නොරැකි බවට ඇති සාධක නැති කිරීමත්, ප්‍රත්වාදියා පිට සියළු චෝදනා ගොනු කිරීමත් ය.

    - ශ්‍රී ලංකාවේ වූ යුද්ධය ඇෆ්ගනිස්තානය, ඉරාකය, වියට්නාමය, සර්බියාව, ඉරාන ඉරාක යුද්ධය, ඉන්දියාවේ මාවෝ මර්දනය, චෙච්නියානු සිවිල් යුද්ධය, වැනි අප දන්නා සියළු යුද්ධ වලට වඩා සිවිල් වැසියන් ඉලක්ක කිරීම් අඩු වූ යුද්ධයකි.

    - ලක්ෂ ගණනක ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නා විට දහස් ගණනක් මියයාම පුදුමයට කරුනක් ද? රුසියාවේ පාසලක සිර්වී සිටි 800ක් මුදා ගන්න විට 300ක් පමණ මිය ගියහ.

    මේ සියළු කරුණු දැන දැන බබා ටෝක් දෙන මොට්ට වාදයන් ගෙන් ඇස් පොට්ට වූ පිරිසක් සිටිති. මුන් හා විකාරබාහුවා අතර ඇති එකම වෙනස නම් විකාරබාහුවා කෙළින් ම ඊළාම්වාදියෙකු වීමත් මුන් වටින් ගොඩින් ඊට සහය දෙන මතවාද බිහිකිරීමත් පමණි.

    ReplyDelete
  11. කව්ද අප්පේ මේ අදහස් ලියන මහින්දගේ දුරස්ථ උපදේශකයා. මෙයා මරු බඩුවක්නේ. මාර ට්‍රයි එකක් දෙන්නේ මහින්දව ගොඩ දාන්න. ඒයකා ඉන්න තැනයි මේක ලියපු එකා ඉන්න තැනයි ගත්තම මහින්දට ඔය ඉන්න ඈඩ්වයිසර්ලා සෙට් එක නියමයි. මොකද මිනිහා අද රටේ නායකයා. ඒත් මේ ලියන 'පරා' තවම හරියට ​දෙයක් කරගන්න බැරිව බ්ලොග් කරකර ඉන්න එකෙක්. අනික මේකාගේ දේශපාලනයේ දිග පළල පේනවා විමල් වීරවංශ කියන්නේ ජවිපෙ 88-89 කාලේ පොරක් කියලා ලියලා තියෙන එකෙන්ම. ඔළුව පොඩ්ඩක් බලව ගන්න.

    ReplyDelete
  12. මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ නන්දිකඩල් සහ කිලිනොච්ය ඇල්ලුවා සේ බටහිර බලවතුන්වත් කාලතුවක්කු,මල්ටි බැරල් ගසා යටත් කරගත හැකි වනු ඇතැයි කියාය.

    ඔවුන් හමුවේ ශ්‍රි ලංකාව ලිලිපුට්ටෙකි. අකැමැත්තෙන් හෝ බටහිර රාජ්‍යයන් සතුටු කිරීමට සිදුව ඇත.

    නැත්නම් ලෝකයෙන් කොන්වුනු, ආර්ථික සම්බාධක වලින් මිරිකුණු දේශයක් බවට ශ්‍රී ලංකාව පත්වීම වැලැක්වීම ලොව දිනූ නායකයාටවත් නොහැකි වනු ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා