ලංකාවේ ජනයා සූරා කන ප්‍රධාන ම ධනේශ්වර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි

(2010 නොවැම්බර් 25, W3Lankaඅයවැය යෝජනාවලට අනුව නව විශ්‍රාම වැටුප් අරමුදල් දෙකක්‌ අලුතින් පිහිටුවීමට නියමිත බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසූ බව අද "දිවයින" වාර්තා කරයි.


මේ අනුව ඉදිරියේදී දැනට සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් සඳහා එක්‌ විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සහ සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් නැති විදේශ ශ්‍රමිකයන් වැනි අවිධිමත් අංශයේ සේවකයන් සඳහා තවත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ද ආරම්භ වන බව වාර්තා වේ. දෙවනුව කියන ලද අරමුදලට විදේශ ශ්‍රමිකයන්ගෙන් අවම වශයෙන් මසකට රු. දහස බැගින් අය කර ගැනීමට නියමිත ය.


2011 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්‌ෂා කරන  මේ අරමුදල් දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් කළමනාකරණය කරන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.


දැනට ඊ.පී.එෆ්. ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම අනිවාර්ය වනු ඇතැයි අපේක්‌ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කියයි. අයවැය යෝජනාවේ සඳහන් පරිදි සේවකයන්ගෙන් සියයට දෙකකුත් සේවා යෝජකයාගෙන් සියයට දෙකකුත් දායක මුදල් වශයෙන් මෙම අරමුදලට ලබාගැනේ. එසේම මේ අරමුදල සඳහා සේවා නියුක්‌තිකයාගේ සම්පූර්ණ විශ්‍රාම පාරිතෝෂිකය (ග්‍රැටිවිටි) මෙම අරමුදලට බැර කළ යුතු අතර එම සේවා නියුක්‌තිකයින් විශ්‍රාම යැමේදී ලබාගන්නා අර්ථසාධක අරමුදල් ශේෂයෙන් සියයට දෙකක්‌ ද ඔවුන්ගේ අනාගත විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ වෙනුවෙන් මෙම අරමුදලට දායක කළ යුතු වෙයි.


විශ්‍රාම වැටුපක් ලබා දීම බැලූ බැල්මට හොඳ දෙයක් ලෙස පෙනේ. ලංකාවේ වයස්ගත ජනගහණය වැඩි වෙමින් පවතින නිසා එය කිසියම් ආකාරයක සමාජ ආරක්ෂණයක් ලෙස ද පෙනේ. එහෙත්, සත්තකින් ම එය එසේ ද?


දැනට රජයේ සේවකයන්ට විශ්‍රාම යන වියේ ලැබූ මූලික වැටුපෙන් 85%ක් විශ්‍රාම වැටුප ලෙස ගෙවනු ලැබේ. විශ්‍රාමිකයන් ද බඩු මිළ දී ගන්නේ සෙසු අය මිළ දී ගන්නා තැන්වලින් ඒ මිළටම ය. එහෙත්, රජයේ සේවකයන්ගේ පඩි වැඩි වන අකාරයටවත් විශ්‍රාමිකය න්ගේ වැටුප වැඩි වන්නේ නැත. මෙවර අයවැය යෝජනාවලින් පවා මෙම කරුණ ඔප්පු වේ. විශ්‍රාමිකයකු අඩු වයසින් මිය ගියහොත් රජයට ලාභයකි. වයස්ගත වන කල් ජීවත් වන විශ්‍රාමිකයන්ගේ ජීවිතයේ අවසාන වසරවලදී ඔවුන් දිළින්දන් මට්ටමට වැටෙන තෙක් විශ්‍රාම වැටුපේ මූර්ත වටිනාකම අඩු වේ. 


රජය පසුගිය කාලයේ ආරම්භ කළ ගොවි විශ්‍රාම වැටුප් ආදියෙහි බොහෝ විශ්‍රාම වැටුප් මසකට රුපියල් දාහට අඩු ය. මෙවැනි පිං පඩිවලට විශ්‍රාම වැටුප් කියා නම තැබීම විහිළුවකි. 


දෙවසරක සේවා ගිවිසුමක් අනුව විදේශගත වන ගෘහ සේවිකාවක් වසර දෙකකදී රු. 24,000ක් පමණ ‍විශ්‍රාම වැටුපකට ගෙවනු ඇත. ඇය මහළු වියට එළඹෙන විට ඇය අතට ලැබෙන විශ්‍රාම වැටුප ඇයට ජීවත් වීමට ප්‍රමාණවත් එකක් බවට රජයට වග කිව හැකි ද? 


ලංකාවේ ආණ්ඩුව තව දුරටත් සුබසාධනවාදී රාජ්‍යයක් මෙහෙයවන ආයතනයක් නො වේ. එය කරන්නේ පවත්නා සමාජ අනාරකිෂිතභාවය තුළ භීතිය විකුණමින් ලාභ ගරා ගැනීමයි. භිතිය විකිණීම හා ඩැනියෙල් කැහ්නමන්ගේ ආර්ථික විද්‍යා න්‍යාය පිළිබඳ අප විසින් ලියන ලද ලිපියක් වෙත මෙතැනින් පිවිසිය හැකි ය. 


මෙහිදී ආණ්ඩුව රක්ෂණ සමාගම්වලටත් වඩා සටකපට හා කෲර අන්දමින් ක්‍රියා කරයි. විශ්‍රාම යන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මතය කිසිදු ආකාරයකින් විමසන්නේ නැතිව, කිසිදු මැතිවරණ හෝ වෙනත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක කියන්නේ ද නැතිව, පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන්ගේ ග්‍රැටිවිටි එකට කෙළින්නට යන ආකාරය මෙම කෲරත්වයට නිදසුනකි. 


රැකියා කරන්නන්ගෙන් මාසිකව විශාල මුදලක් බැර වන දැවැන්ත අරමුදල් ගණනාවක් ම දැන් රජය සතු ය. සේවක අර්ථසාධක අරමුදල, සේවානියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, විශ්‍රාම වැටුප් භාරය, වැන්දඹු හා අනත් දරු අරමුදල, රජයේ සේවකයන්ගේ අග්‍රහාර රක්ෂණ අරමුදල ආදී අරමුදල්වලට දැන් මෙම නව අරමුදල් ද එකතු වේ.  මෙවැනි අරමුදල් භාර රජය කරන්නේ ඒවා ආණ්ඩුවට ඕනෑ පරිදි ආයෝජනය හෝ වියදම් කිරීමයි.


මේ අරමුදල් උපයන ලාභයෙන් සාධාරණ කොටසක් සඳහා හිමිකම් කීමට ඒවායේ සාමාජිකයන්ට අයිතියක් ඇත. සාධාරණත්වය ඉටු කිරීමට මඟක් ඇත. එනම් ජීවන වියදම හමුවේ විශ්‍රාමිකයන්ගේ මූර්ත විශ්‍රාම වැටුප අඩු වී නො යන ක්‍රමවේදයක් සැකසීමයි. 


රජය එසේ නො කරන්නේ නම්, එය අතිශය කෲර සූරාකෑමකි. 


ආණ්ඩුවට හා ආණ්ඩුවේ අතවැස්සන්ට අමතරව, මිහින් ලංකා හා ඇතැම් සංවර්ධන ව්‍යාපෘති වැනි සුදු අලින් ද නඩත්තු වන්නේ ඍජුව හෝ වක්‍රව මේ අරමුදල්වල පිහිටෙනි. සුදු අලි ලැයිස්තුවක් මෙතැන ඇත. 


ලංකාවේ රජය දැන් ක්‍රියාත්මක වන්නේ බහු ජාතික සමාගමකට නො දෙවෙනි කොල්ලකාරී කොම්පැනියක ස්වරූපයෙනි. නිර්දය අන්දමින් මහජනයා සූරා කන මේ කොම්පැනිය ආණ්ඩුවේ ඉහළ ස්ථරයට හා දේශපාලකයන් සමග සමීප ව්‍යාපාරික පැළැන්තියකට සැප සම්පත් සාදා දෙයි. 


ලංකාවේ ජනයා සූරා කන ප්‍රධාන ම ධනේශ්වර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි. 


ලංකාවේ පීඩිතයන්ගේ අරගලය මෙම නව සංදර්භය තුළ ප්‍රතිව්‍යූහගත විය යුතු ය. 




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. I'll tell you one thing. If there's such a plan, I will never allow my grativity to be taken away from me, for an arbitrary funds created for their temptations. This is a gross violation of our rights. If the government is genuinely thinking of easing our lives, they can start with reducing cost of living and improving public transportation system !

    ReplyDelete
  2. ඒ බූවල්ලාට ශක්තිය සපයන්නේ වරප්‍රසාද වලට ගිජුවූ වනචාරීන් කොටසක් වන ර‍ජයේ උසස් නිලධාරීන්, ඉහළම උගතුන්, මාධ්‍යවේදීන් සහ කලාකරුවන් ලෙස පෙනී සිටින්නන්ය. ඔවුන් මැතිවරණයක් එනවිට කලඑළි බැස හෙඵවෙන්ම කඩේ යති. සාමාන්‍ය ජනයා මුළා කරති. බිය වද්දති. ඒ වෙනුවෙන් තමන්ට කුට්ටිය ලැබෙන බව හොඳාකාරවම ඔවුන්ගේ ආත්මයන් දනිති. ප්‍රභූ කොටසට අයත් ලෙස සිටින මෙම පාර්ශ්වයන් අතර මිනිසුන්ද කලාතුරකින් ඇත. ඒත් බහුතරය වනචාරීන්ය. අධ්‍යාපනය විසින් ඔවුන් මිනිසාට සේවය කරන්නන් බවට පත් කර නැත. ඒ වෙනුවට මිනිසාව සූරාකන මස් වැද්දන් බවට පත් කර ඇත.
    මාධ්‍යකාරයා, කලාකාරයා මිනිසාට සේවය කරන්නන් වෙනුවට මනුෂ්‍යත්වයේ පරම හතුරන් ලෙස හැසිරේ.
    ඇත්තෙන්ම මේ රටේ අධ්‍යාපන ආයතන, කලා ආයතන, ආගමික ආයතන විසින් නිමවන්නේ සැබෑ මිනිසුන්ද, මිනිසාට සේවය කරන්නන්ද? නැතිනම් මනුෂ්‍යත්වය විනාශ කරන්නන්, වනචාරීන්ද?
    කවදත් සිදුවී ඇති අයුරුනම් දෙවන ‍වර්ගයේ නිර්මාණයි.
    ඔවුන් මේ දිනවලද ඔවුන්ට වැඩියෙන් ලැබුණු කුට්ටියෙන් උදම් වී හෙඵවෙන් කඩේ යති රජයේ මාධ්‍ය තුළින්.
    ඒත් ඔවුන් ඒ තත්වෙට යවන්න බදු ගෙවපු, සූරාකෑමට ලක්වුණු ජනතා‍වගේ එක බදු බරක් වත් අඩු වී නැති බවවත්, තව දුරටත් වැඩි වී ඇති බවවත් ඔවුන්ට නොපෙනෙන්නේ ජනවාරී මාසයේ සිට ලැබෙන් 5% හෝ 25% දීමනාවේ මූල්‍ය අගය සිතමින්ය.
    ඔවුන්ගේ පුහු තර්ක අපට නොතේරේ. අපට දැනෙන්නේ දිනෙන් දින ඉහළ යන බඩු මිළයි. වැඩි නොවන ආදායමයි. ඒත් එසේ නොවන බවට උදේ රෑ කි‍යවෙන බොරුවයි.
    ඒ කොටසට විතරක් සංවර්ධනය අරමුණු කරගත් ජනතාවාදී පරිපාලනයක් උදාවී ඇත.
    ඇත්තෙන්ම මොවුන උගතුන්වත්, කලාකරුවන්වත්,මාධ්‍යවේදීන්වත් නොවේ. අමුම අමු වනචාරීන්ය.

    ReplyDelete
  3. බෑන් කී මූන්November 26, 2010 at 9:24 PM

    Thumbs up !!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා