දෙමළ ද? දමිළ ද? දෙමළ ජනයා ද? තමිල් ද?

(2010 නොවැම්බර් 18, W3Lanka) පසුගියදා අප විසින් ලියන ලද යාපනයේ මෝඩ දෙමළු මුස්ලිමුන් පන්නා වසර විස්සයි ලිපියට අදාළව මතු වූ සංවාදයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කළ යුතුව ඇතැයි සිතේ.


මෙම ලිපියෙහි මාතෘකාව පිළිබඳ  දිමිත්‍රි සාධනීය විවේචනයක් ගෙන ආවේ ය. යාපන තමිලුන් ගැන විවේචනයක් අපට ඇත. අපට පමණක් නො ව ‍යාපනයේ නො වන සෙසු බොහෝ තමිලුන්ට ද එම විවේචනය ඇත. එය ඔවුන්ගේ දේශපාලන හා සංස්කෘතික ආධිපත්‍යවාදය සම්බන්ධයෙනි. එහෙත්, ඒ වෙන ම කාරණයකි. 


මෙතැන සංවාදය මතු වුණේ දෙමළු යන යෙදුම සම්බන්ධයෙනි. 


'W3Lankaත් දැන් දැන් අනගාරික ධර්මපාල වර්ගයේ භෂාවෙන් වගේ වැඩ!' යි දිමිත්‍රි පළ කළ අදහසට අපි මෙසේ ප්‍රතිචාර දැක්වූවෙමු.


'දෙමළා යන පද‍යෙන් වාර්ගික පහත් කොට තැකීමක් හැඟවේ නම් සිංහලයා හා මුසල්මානයා යන පද ද එවැනි ම වේ.


දෙමළෙන් තමිලාර් යන්නට දෙමළු යන බහුවචන නාමපදය හැර වෙනත් පරිවර්තනයක් නැත. දෙමළ ජනයා යනු දෙමළෙන් තමිල් මක්කල් ය. දමිළ යනු 1994න් පසු චන්ද්‍රිකා ආණ්ඩුවේ ඊනියා සුදු නෙළුම් සාම කුරුල්ලන් විසින් හදා ගන්නා ලද ව්‍යාජ පදයකි.


දෙමළා, දෙමළු යන පදවලට යම් අපහාසාත්මක අරුතක් එක් කරන ලද්දේ භාෂාත්මක විකාශනයකින් නො ව දේශපාලනය තුළිනි. එයට භාෂාව පළි නැත.


අප භාවිතා කරන වදන් වැරැදි නම් නිවැරදි වදන් හඳුන්වා දෙන්න.'


දිමිත්‍රිගේ ප්‍රතිචාරය මෙසේ විය.


'මා W3Lanka කියවීම පටන්ගත් දා සිට මා කියවූ ඔබේ ලිපිවල අන්තර්ගතය අනුව ඔබ දෙමලා, දෙමලු යන වදන් අපහාසාත්මකව නොයොදනු ඇති බවට මට සැකයක් නැත. මා තැත් කලේ ඔබ විසින් සචේතනිකව සිදුනොකලත් එම වචන වලින් අපහාසයක් ගම්‍ය වන බවට පෙන්වාදීමයි.


ජනවර්ගයක අගට "යා" හෝ "ආ" ලෙස යෙදීම මගින් එම ජාතිකයා හැඳින්වීම බොහෝ තැන්වලදී තාක්ෂනිකව නිවැරදිය. නමුත් දෙමලා යන පදය දෙමල ජාතිකයා අපහාසාත්මකව හැඳින්වීමට දශක ගනනාවක් පුරා යොදාගැනුනු බව මගේ හැඟීමයි. එම පදය යෙදෙන්නේ ම සිංහලයා හෝ මුසල්මානයා ලෙස නොව හම්බයා, කාපිරියා, ලංසියා හෝ පරංගියා ලෙස අපහාසාත්මක අරුතකිනි. උදාහරනයක් ලෙස දශක කීපයකට පෙර සිට ජනප්‍රිය වූ සමහර ගීත (/ බයිලා) වල දෙමලා යන පදය යෙදෙන අයුරු බලන්න. සාමාන්‍ය ව්‍යවහාරයේදී වුව දෙමලා යන පදය යෙදෙන්නේ සහෝදරාත්මකව නොවන බවට උදාහරණ අවශ්‍ය යැයි නොසිතමි. මේ අප දශක කීපයක සිට අත්දැකි දේශපාලනය තුල සිදුවූ භාෂාත්මක විකාශනය නොවේද?


දෙමල ජනතාව, දෙමල මිනිසුන් හා දෙමල කාන්තාවන් ලෙස යෙදීම වඩා සුදුසු යැයි සිතමි. ඔබ වුව Tamil ලෙස මිස දෙමලෙකු ලෙස ඔබේ දෙමල මිතුරකු හඳුන්වනු නැති බව මට විශ්වාසය.'


අපි මෙසේ පැවසුවෙමු. 'ඔබ නිවැරදි ය. එහෙත්, මා නම් සිතන්නේ දෙමළා, දෙමළු යන වදන් අපහාසාත්මක නො වන අරුතින් යෙදීම බහුල වන්නේ නම් මෙම භාෂාත්මක ගැටලුවට විසඳුම් සොයාගැනීම පහසු වන බවයි. තමිල් යන දෙමළ පදයට සුදුසු වෙනත් සිංහල පදයක් නිර්මානය කිරීම ඉතිහාසය නිවැරැදි කිරීමටත් වඩා අසීරු යයි මට සිතේ.


විකල්පයක් ලෙස තමිල් යන පදය ඒ අන්දමින් ම තමිල්හු, තමිලුන්, තමිලයන් ලෙස යොදන්නට පුළුවන.'


මෙම ලිපියේ අප දෙමළ ජනයා හැඳින්වීම සඳහා තමිල්හු යන උක්ත රූපය ද තමිලුන් නම් අනුක්ත රූපය ද භාවිතා කරන්නේ මේ පදනමේ සිටයි.


එහෙත්, මෙහි ද ගැටලු ඇත. ඒකවචන රූපය වන තමිලෙක්, තමිලෙකු යන යෙදුම් එතරම් ප්‍රියමනාප නැත.


එසේ ම සිංහල 'ත'යන්නේ ශබ්දය එවැනි දෙමළ අකුරේ ශබ්දයට සර්වසම වන්නේ නැත. එසේ ම තමිල් යනුවෙන් අප ලියන වදනේ අගට ඇති ශබ්දය සිංහලේ ඇති 'ල' යන ව්‍යංජනාක්ෂරයේ ශබ්දයට වඩා හාත්පසින් ම වෙනස් ය. 


මෙම ගැටලුව පිළිබඳ ඔබ සිතන්නේ කුමක් ද? 


මෙයත් හරියට සිංහ‍ල භාෂාවේ ගෞරවාර්ථයෙන් යොදන 'යන්', 'යෝ' වැනි උපසර්ග මාටින් වික්‍රමසිංහයන්ට යොදන අන්දමින් නලින් ද සිල්වාට යෙදීමට ඔහුගේ අනුගාමිකයන්ට බැරි වීම වැනි ගැටලුවකි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඔබ ඔවුන්ට දෙමළා කියූ විට ඉන් ඔවුන් ගේ සිත් නොරිදේ නම් මා එහි වරදක් නො දකිමි. එහෙත් එය ජාතිවාදී හා පහත් කොට සැළකීමේ අරමුණින් අන් අය භාවිතා කරන නිසා, මා යොදන්නේ එතරම් නිවැරදි නො වන ද්‍රවිඩයින් යන වදනයි. කතා බහේදී නම් දෙමළ කට්ටිය කියා යොදමි.

    ReplyDelete
  2. තමිලයා, තමිලයන් වගේ එකක් හොඳ නැද්ද... අර කිව්ව වගේ දෙමළා කියන එක අවුල් වචනයක් නොවුණත් ඒක භාවිතා වෙන්නෙ අවුල් සිතිවිල්ලකින්නේ...

    ReplyDelete
  3. Ajiya,
    Demala hari Sinhala hari Manussaya kiyapan

    ReplyDelete
  4. සාධනීය විවේචනයක් ගැන සාධනීය ප්‍රතිචාරයක්!

    මේ සඳහා විකල්ප යෙදුම් නැති බව මගේ හැඟීමයි. යම් කිසි ජනවර්ගයක් තම භාශාව තුල තමන් හඳුන්වා ගන්නා යෙදුම අන් භාශාවන් තුල ද ඒ ලෙසම වීම අත්‍යවශ්‍ය නොවේ.

    මගේ යෝජනාව නම් දෙමල ජාතිකයා, දෙමල ජාතිකයන් ලෙස යෙදීම උචිත බවයි. අයිරිශ් ජාතිකයා, ඉංග්‍රීසි ජාතිකයා, යුදෙව් ජාතිකයා, ජපන් ජාතිකයා, කැනඩා ජාතිකයා මෙනි. මේ යෙදුම් සඳහා ද විකල්ප නැත.

    - Dimithry

    ReplyDelete
  5. I know that most Tamils don't like to call them "Damila".

    Linguistically "Demala" is correct. But its usage is derogatory in Sinhalese society.

    Language is a living thing and evolving. So better find a new word. Abandon words "Damila" and "Demala".

    Yes, we can add another word in the end like "Demala "Janya" or "Jathikaya" or use "Dravidaya" or "Dravidayan" though Dravida refers to a language group.

    In the Sinhala language "Thamil" also problematic as it cannot easily pronounce with our language.

    ReplyDelete
  6. "සිංහලයාට සිංහලයා කියනවා මෙන්ම දෙමළාට දෙමළා කී විට හිත රිදෙන්නේ නැත" කියා ඔය "දමිළ" කුණුහරුපය චන්ද්‍රිකා කාලේ ගෙන ආ විට එක් දෙමළ ලේඛකයකු ලියා තිබුණා මට මතකයි.....ලේඛකයා කව්දැයි කියා නම් මතකයට ගනු නොහේ....ඔය " තමිල" කතාව "දමිළ" කතාවටත් වඩා විකාරයකි....එය හරියට " tiger" වචනය වරද්දාගෙන "ලංකාවේ කොටියා කියා සතෙක් නැත, ඉන්නේ ව්‍යාඝ්‍රයා ය" කියන හරකුන්ගේ වැනි කතාවකි.....ඕනෑ රෙද්දකට ඉන්ග්‍රීසියෙන් උත්තර හොයන්නට ගියාම ඔහොම වෙයි......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා