ලංකාවේ මිනිසුන් බදු නො ගෙවන බව පුන පුනා කීමේ ගොබෙල්ස් න්‍යාය

(2010 ඔක්තෝබර් 03, W3Lankaලංකාවේ කෝටි දෙකක් ජනතාව සිටියත් බදු ගෙවන්නේ ලක්ෂ තුනක් පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පොළොන්නරුවේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමින් පැවසූ බව රේඩියෝවක කියනු ඇසිණි. 


මෙහි ඇති සත්‍ය කරුණ නම් මෙරට ආදායම් බදු ගෙවන්නන් සිටින්නේ ලක්ෂ තුනක් පමණක් බවයි. එක්කෝ ජනමාධ්‍යවලට වැරදී ඇත. නැතිනම් ජනාධිතිට වැරදී ඇත. 


වැරදීම මිනිස් ගතියකි. ජනාධිපති සමාව තමන් කැමති අයට පමණක් දීම රාජ ගතියකි. එහෙත් මේ වැරදීම නිතර සිදු වන එකක් නිසා එය පසුබිමේ ඇති කරුණු ටිකක් ලිවිය යුතුව තිබේ. 


මේ රටේ මහජනතාවගෙන් බොහෝ දෙනෙකු සිතාගෙන ඉන්නේ තමන් බදු ගෙවන්නන් නො වන බවයි. තමන් බදු ගෙවන්නන් නො වන නිසා ආණ්ඩුව දෙන දෙයක් භාර ගෙන, ඔවුන් කරන දේ ප්‍රශ්න නො කර දීන ව සිටිය යුතු ය යන මානසිකත්වය ඔවුන් තුළ ඇති කර තිබේ.  


ලක්ෂ දෙසීය ඉක්මවා තිබෙන ලංකාවේ ජනගහණයෙන් ආදායම් බදු ගෙවන මට්ටමේ ඉන්නේ ලක්ෂ තුනක් පමණක් නම් හෙවත් සියයට 1.5ක් පමණක් නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ රටේ ආදායම් විෂමතාවේ මට්ටමයි. එනම් රටේ ජනගහණයෙන් 98.5%ක් සාමාන්‍ය හෝ පහළ ආදායම් ඇති අය වෙද්දී 1.5%ක් වැනි සුළු පිරිසක් රටේ ආදායමෙන් සුවිසල් පංගුවක් ඩැහැ ගන්නා බවයි. 


ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව මේ මට්ටමේ ඇත්තේ බදු වංචාකරුවන් නිසා නම්, එතැන ඇත්තේ රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂමතාව, දූසණය හා නීතියේ පාලනයක් නැතිකම වැනි ප්‍රශ්න සමුදායකි. විශාල වශයෙන් දේශීයව හා විදේශයන්ගෙන් ණය ලබා ගන්නා ආණ්ඩුව රට තුළින් තමන්ට ලැබිය යුතු ආදායම ලබා ගැනීමට කටයුතු නො කරන්නේ නම් ඒක ආණ්ඩුවක් නො ව පාණ්ඩුවකි. 


සාමාන්‍යයෙන් මේ ආදායම් බදු ගෙවන්නෝ ව්‍යාපාරිකයෝ සහ ඉහළ නිලධාරීහු වෙති. බදු ඉහළ නැංවූ හැම විටක ම ඔවුහු තමන් අලෙවි කරන භාණ්ඩවල හා සේවාවන්ගේ මිළ ඉහළ නංවති. එහෙයින් ඇත්ත වශයෙන් ම ඔවුන් ගෙවන බද්දක්, රෙද්දක් ‍නැත. එය අවසානයේදී පැටවෙන්නේ බදු නො ගෙවන බව කියන සාමාන්‍ය පාරිභෝගික ජනයා පිට ය. 


2009 වසරේ බදු ආදායම රු. කෝටි 61,893ක් වූ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. මේ අනුව, ලංකාවේ ලොකු කුඩා සෑම වැසියකු ම 2009දී රජයට රු. 30,000කට වඩා බදු ගෙවා තිබේ. රත්තරං පුංචි පවුලක් රජයට ගෙවන බද්ද වසරකට රු. 120,000කි. නො දන්නවා වුණාට මාසයකට ගෙවන බද්ද රු. 10,000කි. ඒ මේ රටේ ඉන්න නිසා ය. 


ඒ වුණාට ළමයකු හොඳ පාසලකට ඇතුළත් කර ගන්නට නම් විදුහල්පතිට කප්පම් ගෙවිය යුතු ය. ‍ලෙඩකට ප්‍රතිකාර ගැනීමට දොස්තර චැනල් කර කප්පම් ගෙවිය යුතු ය. පාරේ වලවල් පුරවා ගැනීමට නම් ගම් පිටින් පාරට බැස උද්ඝෝෂණ කළ යුතු ය. පාරේ ලයිට් කණුවක විදුලි බුබුළක් දැවී ගොස් නම් එය දමා ගැනීමට පෙත්සම් අත්සන් කළ යුතු ය. රජයෙන් ජනතාවට ලැබෙන සේවය එබඳු ය. 


රජය 2010 වසරේ ආදායම් ලබා ගැනීමට ඉලක්ක කර තිබෙන්නේ මෙසේ ය. '2010 වසරේදී ආදායම් බදු ආදායම රුපියල් කෝටි 16034 දක්‌වා සියයට 14.8 කින්ද භාණ්‌ඩ හා සේවා මත බදු ආදායම රුපියල් කෝටි 42344 දක්‌වා සියයට 20.29 කින් සහ විදේශ වෙළෙඳාම මත බදු ආදායම රුපියල් කෝටි 14523 දක්‌වා සියයට 14 කින්ද ඉහළ නංවා ගැනීමට රජය ඉලක්‌ක කර ඇත.'


මේ සියලු බදු අවසානයේදී මෙරට පීඩිත ජනයා මත පැටවෙයි. නිදසුනක් ලෙස අපනයනය කරන තේවලින් රජය අය කරන සෙස් බද්ද නො තිබුණා නම් ගොවියාට තේ දළු කිලෝවකට ලැබෙන ආදායම වැඩි වනු ඇත. 


මේ රටේ ජනතාව බදු ගෙවන්නේ නැති බවට දේශපාලකයන්ගේ මුවින් නිතර වචන ලිස්සා යාම අප නම් දකින්නේ සැලසුම් සහගතව කරන දෙයක් ලෙසයි. මන්ද, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යවල සිටින තොත්ත බබාලා මේවා අවිචාරයෙන් පුනරුච්චාරණය කළ විට මේ අදහස ජන මනස් තුළ ලෙහෙසියෙන් පැලපදියම් වෙයි. එයින් ඔවුන්ගේ දීනකම නඩත්තු කළ හැකි ය. 


තමන් බදු ගෙවන්නන් වන නිසා රජය වියදම් කරන්නේ තමන්ගේ මුදල් ය යන පදනමෙන් ඒවා ප්‍රශ්න කරන පුරවැසි සමාජයකට වඩා බදු ගෙවන්නේ තමන් බව නො දන්නා දීනයන් පිරිසක් පාලනය කිරීම පහසු ය. 


මහජන මුදලින් නඩත්තු කරන සුඛෝපභෝගී රියවල නැඟී, යුද්දෙට යන්නා සේ මහජන මුදලින් නඩත්තු වන ආරක්ෂකයන් පිරිවරාගෙන, පාරේ යන සාමාන්‍ය ජනයාට 'ඕයි අයින් වෙනවා,' යි කියන පොලිස් මෝටර් සයිකල් ඉදිරියෙන් දමාගෙන හිරිකිතයක් නැතිව මහජනයා අතරට ම එන්නට දේශපාලකයන් ලැජ්ජා නැති වී ඇත්තේ තමන්ට කිසිදු සේවයක් සැලසීමේ හැකියාවක් නැති මේ පෙන්දන් පඩයකට ගණන් නො ගෙන තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන හෝ නො ඉඳ උන් පසුපස යන නිවට බදුගෙවන්නන් පිරිසක් මේ රටේ සිටින බැවිනි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ලක්ෂ තුනක් නෙවෙයි හැම මනුස්සයම තමන්ගේ ආදායමෙන් කොටසක් ආණ්ඩුවට බදු ගෙවනවා ගන්න සබන් කෑල්ලෙන්, පිටි වලින්, පාං රාත්තලෙන්, තන පටෙන් පවා. අපි ගන්න කෝල් එකකින් පවා බදු ගෙවනවා. බස් එකට දෙන රුපියල් 10න් කොටසක් ඩීසල් බද්ද විදිහට අපි ගෙවනවා

    ReplyDelete
  2. ටෙලිකොම් බිල් පතෙහි වූ අසාමාන්‍යතාවක් විමසීමට එහි නියෝජිතයකු විමසූ විට ඔහු පැවසුවේ බිලපතට පහත සදහන් පරිදි රජයේ බදු අදාළ වන බවයි.

    1. වැට් 12%
    2. ජාතික ගොඩනැගීමේ බද්ද 3%
    3. විදුලි සන්දේශ නියාමන කොමිසමට ගෙවන බදු 10% -11%

    මේ අනුව සෑම බිල්පතකටම සාමාන්‍යයෙන් 25% ක බද්දක් රජයට ගෙවිය යුතුය.

    විවෘත වෙළද පළ ක්‍රමයක් යටතේ මිල දී ගන්නා වූ භාණ්ඩ හා සේවාවකට මෙතරම් ඉහළ බද්දක් ගෙවීමට සිදුවීම එක් අතකින් විකෘතියකි. අනිත් අතින් මේ ගෙවන බදු මුදල්හි යෙදවීම විනිවිද පෙනෙන සුළු නොවීම හා ඒවා නාස්ති කිරීම රටේ ජනතාවගේ කාලකන්නි කමට හොද නිදසුනකි.

    බදු අය කළ යුත්තේ මලින් පැණි බොන්නා පරිදි පරිස්සමින් විය යුත්තේ බමරුන්ටම පමණි. මොහුන් බමරුන් නොවේ. දෙබරුන් ය. නො එසේනම් ලේ උරා බොන මාපිලුන්ය.

    මධ්‍යම පාන්තික අපෙන් ද විදේශ සේවයේ, ඇගලුම් කම්හල් සේවයේ හා වතු සේවයේ නියුතු කම්කරුවන්ගෙන් ද උරා බොන්නා ලේ වලින් පාලකයෝ යෙහෙන් වැජබෙති. බහුතරය පබා ගැන කියවමින් ද දකිමින් ද අහමින් ද සිටිති.

    ReplyDelete
  3. payee tax kiyaa deyakuth thibe. 300000ta vadaa vadi gananak eya gevathi.

    ReplyDelete
  4. හොඳම විහිලුව එක නෙවෙයි,බදු නොගෙවනවායි කියන ගමන්ම අපි හොරකම් කරන්නේ නැයි රාජපක්ෂලා විසින්ම කිමයි.එකනේ අයවැයේන් 75%ක් ම රාජපක්ෂලා තියා ගන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා