වළංකාරයාගේ කොළඹ නගර සභාව හා පොලුකාරයාගේ අධිකාරිය | The death toll of Colombo Municipal Council and the Authority of the authoritarians

කණ්ණාඩි ඉමිටියාස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් මොහොත
(2010 සැප්තැම්බර් 21, W3Lankaඑක්සත් ජාතික පක්ෂ ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මාර ඇත්තක් කියා තිබේ.


එනම්, ආණ්ඩුව ළඟදී ම පාර්ලිමේන්තුව වෙනුවට ද අධිකාරියක් ඇති කරන්නට ඉඩ තිබෙන බවයි.


මෙසේ කියන්නට හේතු වී තිබෙන්නේ කොළඹ නගර සභාව විසුරුවා හැර අධිකාරියක් පිහිටුවීමට යන බව ආණ්ඩුව නිවේදනය කිරීම නිසා ය.


මේ අධිකාරිය ජනාධිපති සහෝදර ආරක්ෂක ලේකම්තුමාගේ අධිකාරයට යටත් ය.


කොළඹ නගර සභාව පිහිටුවනු ලැබුවේ 1865දී ය. එනම් අවුරුදු 145කට පෙරදී ය. සුද්දා එය පිහිටවූයේ ස්වයං පාලනය ගැන ලාංකිකයන්ට පුහුණුවක් දෙන්නට බව කොළඹ නගර සභාවේ වෙබ් අඩවියේ ම සඳහන් වේ.


ඒ.ඊ. ගුණසිංහ, ඇන්.ඇම්. පෙරේරා වැනි කීර්තිමත්, ඉතිහාසගත පුද්ගලයෝ කොළඹ නගරාධිපති පදවිය දැරූ හ.


පනස් වසරක් කොළඹ නගර සභාවේ බලය ඉසිලූ එක්සත් ජාතික පක්ෂයට 2006දී එම නගර සභාව වෙනුවෙන් පිළිගත හැකි නාම යෝජනා පත්‍රයක් සකසා ගත නො හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස එය ප්‍රතික්ෂේප විය. අනතුරුව, එජාපය කණ්ණාඩිය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමකට උදව් කළ අතර, ආණ්ඩුව පසුගියදා සිය විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි 32 වසරක සටන පාවා දී 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දීමෙන් කුප්‍රකට වූ වාසුදේව නානායක්කාර නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කර තිබියදීත් කොළඹ ජනතාව ඔවුන් දිනවීමට තරම් අන්ධ ලෙස එජාපයට ආදරය කළ හ. එහෙත්, රාජපක්ෂ පවුල මේ කණ්ණාඩිකාරයන් ටික අල්ලාගෙන අදක්ෂ දේශපාලකයකු වූ උවයිස් මොහොමඩ් ඉමිටියාස් නගරාධිපති තනතුරට පත් කර කොළඹ කිච කර දැමුවේ ය.


කොළඹට වූ දේ කියන්නේ අන්තිමට කොළඹ නගර සභාවේ වෙබ් අඩවියේ අතීත නගරාධිපතිවරුන්ගේ ලැයිස්තුවේ උවයිස් මොහොමඩ් ඉමිටියාස්ගේ නමවත් නැත.


කොළඹ වැසියන් සිය පක්ෂය ලෙස සලකන්නේ එජාපයයි. ඒ නිසා ළඟදී පැවැත්වෙන බව කියන පළාත් පාලන ඡන්දයේදී පවා මොන ප්‍රයෝගය යෙදුවත් ආණ්ඩුවට කොළඹ දිනා ගැනීම අසීරු ය. එබැවින්, කොළඹට පහර දී එය සමතලා කළ දැමිය යුතු යයි වත්මන් පාලක පිරිස සිතන්නේ ඔවුන් සාමාන්‍යයෙන් අන් ඕනෑම දෙයක් ගැන සිතන අන්දමිනි. 


කොළඹ යනු ගමෙන් නගරයට සංක්‍රමණය වූ ධනවතුන්ගේ හීනමානය අවුළුවන තැනකි. එයට ප්‍රධාන හේතුව, කොළඹ පැරණි, ප්‍රභූ, ධනවත් සමාජයේ බටහිර ගැති සංස්කෘතිය සමග පෑහෙන්නට මේ ගැමියන්ට බැරි වීමයි. හැන්දෙන්, ගෑරුප්පුවෙන් කන්නට ඉගෙන ගත් පළියට එම සංස්කෘතියට අඩංගු වන්නට බැරි ය. ඉංග්‍රීසි බස උච්චාරණය කරන හැටි, නෑදෑකම්, තරාතිරම, ඉතිහාසය වැනි මාර්ග බාධක රැසක් විසින් මෙම සමාජ ස්ථරය වෙත ඇතුළු වීම වළක්වනු ලැබේ.


එහෙත් ගමෙන් එන අයගේ සිහිනය ද ඔවුන් ‍ගමේ අයට දෙසා බාන දේශප්‍රේමය නො ව, මෙම පංතියේ බටහිර ගැති සංස්කෘතිය ම ය. එහෙයින් ඔවුහු ඒ දෙස බලාගෙන හූල්ල, හූල්ලා තමන්ට අහිමි ලොව පුතුන් හෝ රජ කරවීමට සිහින දකිමින් එයට පහර ගසති.


දේශප්‍රේමය, ගැමිකම ගැන වැඩියෙන් ම කතා කරන වැඩි දෙනෙකු මුලින් ම කරන්නේ කොළඹ පදිංචිය තහවුරු කර ගැනීමයි. එහෙත්, කොළඹ ඉහළ පැළැන්තියට ඇතුළත් වීමට හෝ අඩු තරමේ කොළඹ පීඩිත ජනයා අතර ජනප්‍රිය වීමට හෝ බැරි වීමෙන් පසු එතැන් සිට උන් කරන්නේ කොළඹ සිට ගමේ රුව ගුණ වර්ණනා කරමින්, කොළඹ කකා, කොළඹට බැන-වැන, කොළඹ ම ජීවත් වී, බොරැල්ල කනත්තට පස් වීමයි. 


කොළඹ නගර සභාව අධිකාරියක් කිරීම තවත් එක් පරිපාලනමය කාරණයක් නො වන, සමාජ-සංස්කෘතික කාරණයක් වන්නේ අවසානයේදී මේ ගැමි හීනමානකාරයන්, කොළඹ ප්‍රභූන්ට හා තමන් ගණන් නො ගත් ලුම්පන් පීඩිතයන්ට අවසන් ප්‍රහාරය එල්ල කිරීමට මෙය යොදා ගන්නා බැවිනි. 


කොළඹ අධිකාරියක් බවට පත් කිරීමේ අදහස විමල් වීරවංශගේ ශ්‍රී මුඛයෙන් පළමු වරට පිට වීම අහම්බයක් නො වේ.


ලංකාවේ සැබෑ පාලකයන්ට හා ඔවුන්ගේ අත පල්ලෙන් තමන් ළගට වැටෙන ඉඳුල්වලට ඔවුන්ට ආවඩන අන්තේවාසිකයන්ට ලංකාවේ සකල දෝසවලට විසඳුම විධායක ජනාධිපතිගේ දෑත්, දෙපා සහ මොළය හැර වෙනත් අවයව ශක්තිමත් කිරීමයි.


අධිකාරිය! හා, ඔබ කෙතරම් සුන්දර වචනයක්ද! එය අධිකාරිවාදය සමග ඉතා සමීප ය. 


වළංකාරයාගේ අවුරුදු 145ක වැඩ අවසන් කිරීමට පොලුකාරයාට අවශ්‍ය කොපමණ කාලයක් ද?


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. කොළඹ සිට ගමේ රුව ගුණ වර්ණනා කරමින්, කොළඹ කකා, කොළඹට බැන-වැන, කොළඹ ම ජීවත් වී, බොරැල්ල කනත්තට පස් වීමයි.

    නියම කියමන.....!

    ReplyDelete
  2. කිසිදා තමන් ට බලය ගත නොහැකි බව දන්නා නිසා ම බංකොලොත් අන්ත පසුගාමි බලවේග විසින් කොළඹ නගර සභාව මත්තේ අධිකාරියක් පිහිටුවන්නට යන බව සමාජ-සංස්කාතික කෝණයෙන් කරන ලද විග්‍රහයක් ලෙස නිවැරදි වෙයි. එහෙත් දේශපාලන-ආර්ථික කෝණයෙන් බැලූ කල මෙහි ඇති තවත් දේ විසින් මේ විග්‍රහය පෝෂණය කර ගත යුුත යැයි සිතේ. මෙහි ජනතාව විසින් 'තෝරා ගත්' බවක් පෙන්නුම් කරන සියළු ආණ්ඩු, ලංකාව සම්බන්ධ ගෝලීය ධනවාදි සැලැස්මේ උප ඒජන්සියක් ලෙස වැඩ කරමින් සිටි. වත්මන් ආණ්ඩුව, කළින් ආණ්ඩුවෙන් වෙනස් වන්නේ අන්ත පසුගාමී සමාජ බලවේග මත පදනම් ව ඒ ගමන නිරුවත් ආඥාදායකත්වයක් හරහා යන ගමනක් එහි උරුමය බව ට පත් කර ගෙන ඇති බැවිනි. ඉතින් කොළඹ වාණිජ අගනගරය ලෙස 'නගා සිටු වීමේ' සැලැස්ම ඔවුන් විසින් තම බලයේ ප්‍රධානතම උල්පත වූ සිංහල-බෞද්ධ වර්ගවාදය පදනම් කොට ගෙන, ඒ විසින් සුජාත කරන ලද ඒකාධිපතිත්වය තව දුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යනු ඇත. එහෙත් ඒ විසින් තීව්‍ර කරන ලද අර්බුදයන් ට විසදුම් නොමැති තැන විසින් මේ ගමන් ද ව්‍යවසනයකින් ම කෙළවර වීම නොවැළැක්විය හැක්කක් වනු ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා