සරත් ෆොන්සේකාට දුන් දඬුවම අප අනුමත නො කරනමුත් අති උත්තම මහ නායක හිමිවරුන්ට දැක්වූ ප්‍රතිචාරය නම් පංකාදු ය: මල් හත ය.
ලංකාවේ බොහෝ පාලකයන් විසින් සිහින මවන ලද, ජනතාව විසින් ද තිබුණා නම් මරේ මරු යයි සිතනු ලබන නියම ඒකාධිපතිත්වයක් සඳහා පළමු කොන්දේසිය වන්නේ ලංකාවේ ඊනියා භික්ෂු බලය නො තකා හැරීමයි. මීට පෙර සිටි නායකයන්ට මේ ටික විධිමත් ලෙස කරන්නට බැරි විය.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිති වරක් මහ නායක හිමිවරුන්ට කීවේ දේශපාලනයට ඇඟිලි නො ගසා පන්සල්වලට වී පඩික්කම් පුරවමින් පාඩුවේ ඉන්නා ලෙසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන් පණිවුඩයේ එවැනි කැත වචන නැත. එහෙත් නියම නිලයට ම වදියි.
ඇත්තම කීවොත්, ලංකාවේ භික්ෂු බලවේගයක් නැත. බලවේගයක් හදන්නට තරම් ප්රමාණාත්මකකමක් හෝ ගුණාත්මකකමක් වත්මන් භික්ෂු සංඝයේ නැත. අද වන විට පන්සල ආගමික ව්‍යාපාර මධ්‍යස්ථානයක තත්වයට පල්ලම් බසිමින් සිටියි. පන්සල්වල බුදුන්ගේ දහම හැර දේවාල, ජ්‍යෝතිෂ කාර්යාල, ටියුෂන් පංති, කාර් පාක් ආදී හැමෙකක් ම තිබේ. භික්ෂූන් හා දායකයන් අතර සම්බන්ධය ද ගනුදෙනු ස්වරූපී තත්වයකට පත් වෙමින් තිබේ. ජනප්‍රිය ධර්ම කථිකයන් බණට වඩින්නේ ගායකයන් සංගීත සංදර්ශනවල සිංදු කියන්නට එන ආකාරයටයි. එහෙව් එකේ භික්ෂූන්ට මේ රටේ ජනතාවට නායකත්වය දීමේ හැකියාවක් දැන් නැත.
භික්ෂු සංඝයට තිබුණු යම් කිසි වටිනාකමක් වී නම් හෙළ උරුමය එය විකුණා පාර්ලිමේන්තු මන්ත්රීකම් කීපයක් මිළ දී ගෙන තිබේ. ඒ අතින් ඒ ඇත්තන් ද කර තිබෙන්නේ මාර ම ප්රගතිශීලී කාර්යයකි.
භික්ෂු සංඝය මෑත ඉතිහාසය පුරා ම කළේ එක, එක දේශපාලන ව්‍යාපෘතිවලට කඩේ යාමයි. ජවිපෙ හා හෙළ උරුමය වෙනුවෙන් හාමුදුරුවන් කඩේ යැවූ අය දැන් ඉන්නේ ආණ්ඩුවේ බැවින් දැන් කඩේ යන්න පාර පෙන්නන්න කවුරුවත් නැති බැවින් දැන් ඉතින් හත්වළාමෙ වෙච්ච දේට මක් කොරන්නදැයි කියා අසන්නට අපට සිදු වී තිබේ.
ලංකාවේ පසුගාමී භික්ෂු සංඝය වැනි වැඩවසම් පෙට්ටගම් කර ගසාගෙන ආඥාදායකත්වය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ මොකක් හෝ අනාගතවාදී දිසාවකට නම් යන්නට බැරි ය. යන්න පුළුවන් අතීතයට පමණි.
එහෙයින් මේ දෙන එඩිතර ගේමට නම් කමෝන් ජනාධිපතිතුමනි කියා නො කියා නො හැකි ය.
සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟ ගණ සොබනා සිටිත් නම්
මුදුනත් දී බැති පෙමිනා නමදිමින් අපි මෙසේ කියමු.
පළමුව මේ භික්ෂු සංඝය බුද්ධිමත්, සිල්වත්, ප්රගතිශීලී සංස්ථාවක් බවට පත් කරගැනීම සඳහා කටයුතු කර වදාරන්න. ඔබට යළි බලවේගයක් විය හැක්කේ චම්පික රණවකලාගේ පාර පස්සේ ගොස් නො ව බුදුන්ගේ මග යළි සොයාගෙන, සුපටිපන්න, උජුපටිපන්න ආදී ගුණයන් වඩවාගෙන, ඒ අනුව ගියොත් පමණි.

Bookmark, remember easily and come again www.w3lanka.com