අල්ලස් දීම පාරදෘෂ්‍ය ලෙස කළ හැකි ක්‍රමවේදයක් සකසනු! | Make bribery transparent

(2010 අගෝස්තු 20, W3Lankaජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස බොරුවට පෙනී සිටිමින් පන්නිපිටිය ධර්මපාල විදුහලේ 1 වසරට දරුවකු ඇතුල් කරදෙන බව පවසා පන්නිපිටියේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂයක්‌ ලබාගෙන වංචාවක්‌ සිදුකළ කාන්තාවක්‌ රත්නපුර මහෙස්‌ත්‍රාත්වරිය විසින් පසුගිය දිනෙක රිමාන්ඩ් කරන ලදී.


අදාළ පාසලට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙනම නාමලේඛණයක්‌ එවන බවත්, හැකි ඉක්‌මණින් නාමල් රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ අරමුදලට රුපියල් ලක්‍ෂයක්‌ ලබාදෙන ලෙසත්, එසේ  නො ලැබුණහොත් වෙනත් ළමයකුට අවස්‌ථාව ලබා දෙන බවත් මෙම කාන්තාව පවසා ඇත. 


අල්ලස දුන් පුද්ගලයා පොලිසියට පැමිණිලි කරන්නේ වැඩේ සිදු නො වූ නිසා හා අදාළ කාන්තාව සම්බන්ධ කර ගැනීමට ද බැරි වූ නිසා ය. වැඩේ වුණා නම් පැමිණිලි නැත. අල්ලස් දුන් පුද්ගලයා එකී කාන්තාව විශ්වාස කර තිබෙන්නේ ඇය හිටපු මන්ත්‍රීවරියකගේ දුවනියක ද වූ නිසා ය. 


2010 වසරේ දෙවන පාසල් වාරය ද අවසන් ය. එහෙත්, තවමත් ළමයින් පාසලට ඇතුළත් කිරීමේ ගැටලු තිබේ. එම කරුණ පැත්තකින් තබමු. 


අද වන විට සමාජයේ කණින් කොණින් කියැවෙන කතා වන්නේ රජයේ රස්සාවක් ලබා ගත හැක්කේ, බැංකු වැනි පෞද්ගලික අංශයේ සම්භාවනීය රස්සාවකට යා හැක්කේ, කොරියාව වැනි හොඳ වැටුප් ගෙවන විදේශ රටක රැකියාවකට යා හැක්කේ, දරුවකු ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගත හැක්කේ, දුෂ්කර පළාතකින් පහසු තැනකට මාරුවක් ලබා ගත හැක්කේ, රජයේ සංවර්ධන ව්‍යාපෘතියක සැපයුම් කොන්ත්‍රාත්තුවක් ලබා ගත හැක්කේ අසවලුන්ට මෙතරම් මුදලක් ගෙවුවහොත් පමණක් බවයි. 


මෙවැනි තත්වයක් ඇති වීම පිළිබඳව ඇත්තෙන් ම සමාජයේ අහිතක් නැත. අහිතක් තිබේ නම් ඔවුන් ආණ්ඩු වෙනස් කළ යුතු ය. 


කාට හරි රියදුරු බලපත්‍රයක් අවශ්‍ය නම්, පුහුණු වීම, පරීක්ෂණයට පෙනී සිටීම වැනි කල් ගත වන කරදර නොමැතිව, රු. 50,000ක් ගෙවා ගියා, ගත්තා, ආවා නම් කාර්ය බහුල කොයි කවුරුද අකැමැති? 


ප්‍රශ්නය ඇත්තේ එසේ මුදල් ලබා දීම සඳහා විශ්වසනීය ක්‍රම සැකසී නැති වීම තුළයි. 


නිදසුනක් ලෙස පෙරේරා මහත්තයාගේ උසස් පෙළ සමත් ලොකු දුව බැංකු රස්සාවකට දමා ගැනීම සඳහා සහ සාමාන්‍ය පෙළ සමත් පුතා වරායට දමා ගැනීම සඳහා ගෙවිය යුතු මුදල කුමක් ද, ගෙවිය යුත්තේ කාට ද යන්න නිශ්චිත නම්, පෙරේරා මහත්තයා ගේ දොර උගසට ගබා හෝ එම මුදල සොයාගෙන ගෙවන්නට පසුබට වන්නේ නැත. වැඩේ හරියට කෙරෙනවා නම්, පෙරේරා මහත්තයා ඔය විනිවිදභාවය ආදී ප්‍රශ්න මතු කරන්නේ නැති අතර කොල්ලටයි, කෙල්ලටයි රස්සා දුන් ආණ්ඩුවට ඊළග රැල්ල එන තෙක් ඡන්දය ද දෙනු ඇත. 


මුදල් නොමැති වුව ද කාන්තා පක්ෂයේ අයට නම්, ‍ඇහැට කණට පෙනේ නම් හා අකැමැති නැති නම් අවස්ථාවක් ලබා ගැනීමට බැරි නැත.


අප දැන් නම් ජීවත් වන්නේ තඩි ප්‍රියන්ත හීනෙන් දුටු නියම ම කොළ පාට සමාජ‍යේ ය. මේ ක්‍රමය නරක නැත. නිදසුනක් ලෙස, අද වන විට වරාය සම්බන්ධ ඕනෑම ගනුදෙනුවක් ඉතා කෙටි කලකින්, මුදල් හෙවත් ඉස්සර කී පරිදි පගා ගෙවා, ඉතා ඉක්මණින් කර ගැනීමේ හැකියාව ඇත. ලොකු, ලොකු බිස්නස්කාරයන්ට මේ පොඩි, පොඩි සම්තිං සුළු දේ ය. ඒ සියල්ල විකුණන මිළට එකතු වන බැවින් පාඩුවක් සිදු වන්නේ ද නැත. 


ළමයකු ජනප්‍රිය පාසලට දමා ගැනීම, රැකියාවක් ලබා ගැනීම වැනි දෙයකදී යම් මුදලක් ගෙවා එය කර ගන්නට මේ සමාජයේ කිසි ම අකැමැත්තක් නැත. එය හැම අතින් ම පහසු ය. 


මෙය පෞද්ගලීකරණයේ නවතම අභිමානවත් ශ්‍රී ලාංකීය මොඩලයකි. රාජ්‍ය දේපල පෞද්ගලීකරණය නො කර සමාජය පෞද්ගලීකරණය කර තිබේ. පොදු දේපල රැක ගනිමු කියා දැන් කාටවත් උද්ඝෝෂණ කරන්නට උවමනාවක් නැත. ආසියාවේ ආශ්චර්යය කියන්නේ මේවාට ය. 


ප්‍රශ්නය ඇත්තේ මෙම ගනුදෙනු විශ්වාසවන්ත ලෙස කර ගත නො හැකි වීමයි. නියම අතරමැදියා හා වංචනිකයා හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නැත. එසේ ම, අදාළ ගනුදෙනුව සඳහා ප්‍රවේශ වීමේ පැහැදිලි මාර්ගයක් නැති වීම ද ප්‍රශ්නයකි. මෙම සමාජ ගැටලුවට විසඳුමක් දීමේ වගකීමක් බලධාරීන්ට තිබේ.  



නීතිය යනු කුමක් ද? 

විරුද්ධවාදියාගේ වෘෂණ කෝෂ දෙක ලාච්චුවට දමා වැසීම යනු සමාජ ශික්ෂණයයි.



ඒ අතර, තමන්ගේ නම රැක ගැනීම පාලකයන්ගේ වගකීමකි. හැබැයි, නම රැක ගත්තා කියා මේ රටේ හම්බු වෙන බම්බුවක් නැත. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. මේ ලිපියේ අවසාන කොටස අයිඩියොලොජියක් අදහන්නට ගිය විට කෙනකු කොයිතරම් මෝඩයකු වන්නේද යන්න සඳහා හොඳම උදාහරණයකි.

    ලංකාවේ පාසල් අධ්‍යාපනය තනිකරම වාගේ රාජ්‍ය පාලනය යටතේ පවතින්නකි. එහි තරගයක් හෝ තෝරාගැනීමක් නොවේ. මේ 'තඩි ප්‍රියන්ත හීනෙන් දුටු' (හෝ නොදුටු) කොළපාට සමාජය නොවේ. එහි විෂ්කම්භීය පරස්පරයයි. මේ ක්‍රමය වඩා කිට්ටු මේ ලිපියේ ලේඛකයා අන්ධානුකාරයෙන් අදහන කොමියුනිස්ට් ක්‍රමයට විනා විවෘත කොළපාට සමාජයට නොවේ.

    අල්ලස ඕනෑම කොමියුනිස්ට් ක්‍රමයක සාමාන්‍යයයි. ඕනෑ කමින්ම අවස්ථාවන් පාලනය කිරීම එවන් ක්‍රමයන්හි බලය දිනා ගැනීමට පාලකයින් යොදා ගන්නා එක් ක්‍රමයකි.

    මේ ලේඛකයා අල්ලසට අකැමැති නම් ඔහු විසින් කළ යුත්තේ පාසල් අධ්‍යාපනයේ තරගයක් ඇතිවන පරිදි (හා දෙමාපියන්ට තම කැමැත්ත අනුව තෝරා ගැනීමට හැකිවන පරිදි ) ඕනෑම කෙනකුට, අධ්‍යාපන කාරණා සඳහා පමණක් වන අවම නියාමනයක් යටතේ, අධ්‍යාපන ආයතන ඇති කිරීමට අනුබල දීමයි. තව දුරටත් යල් පැණගිය කොමියුනිස්ට් ක්‍රමයක අධ්‍යාපනය සිර කිරීම අල්ලස වැඩි කිරීමක් මිස අඩු කිරීමක් නොවේ.

    - Taboo

    ReplyDelete
  2. ලංකාවෙ ගෙවන්න පුලුවන් අයට ගෙවල ඉගෙන ගන්න ජාත්‍යන්තර පාසල් තෝමස් ට්‍රිනිටි ලේඩිස් වගේ ඉස්කෝල තියනව.එහෙම නැති අයට රජයේ ඉස්කෝල තියනව.ලංකාවෙ මේ හින්ද තියෙන්නෙ නියම ධනවාදී ක්‍රමේ.මේක කොමියුනිස්ට් ක්‍රමයක් කියල කියන එක මඥ්ඥං කතාවක්.

    ReplyDelete
  3. ජීවිතයට අල්ලසක් දී නැති , ඉල්ලා නැති අර්ධ රජයේ ආයතනයක නිලධාරියෙක් වන මම බිරිඳ ගේ ඇවිටිල්ල නිසාම මගේ දියනිය විශාඛා එකට දාන්න රු ලක්‍ෂ දෙකක අල්ලසක් ලබාදුනෙමි . අහෝ ඇයගේ නම මුල්ලැයිස්තුවට දමා මගෙන් අල්ලස ගත්ඔහු පැනගියේය. විරෝධතාවයක් නිසා නම කැපීගිය බවත් නැවත ටික දිනකින් වැඩේ කර දෙන බව කීවත් වැඩක් වුනේ නැහැ. ඔහු පසුපස ගොස් දුන් මුදලින් 3/4ක් ලබාගන්න අවුරුදු 5ක් ගියා. අන්තිම 50,000/- වැඩෙට මහන්සිය නිසා දෙන්න බෑ කියමින් මට එපා කරපු නිසා මම ඒක හිතින් අත් හැරියා.

    ReplyDelete
  4. අජිත් අයියේ, ඇත්තද මේ ටැබුවා කියන්නේ....?

    ReplyDelete
  5. රටක මෙවැනි දේ වන්නේ කොමියුනිස්ට් ක්‍රමය/ධනවාදී ක්‍රමේ නිසා නොව රට තුල නීතිය හා පර්යාය නොමැති නිසාය(In politics, law and order refers to a political platform which supports a strict justice system) ටැබුවා කියන්න තුල යම් සත්‍යයක් ඇත්තේ ධනවාදයක් නොමැති තැනක ධනවාදයට විරුද්ධ වීම නිසා වන්නේ විරුද්ධ වන්නා බුද්ධිමතෙකු වීම හැර වෙන කිසිවක් නොවේ. නීතිඤයන් කිහිප දෙනෙකු එකතු කරගෙන පොදු අයිතීන් වෙනුවෙන් භාණ්ඩ හා සේවා සපයන්නන්ට එරෙහිව "class action lawsuits" වැනි දෙයක් කිරීම ලංකාව තුල මේ කාලයේ ධනවාදයට විරුද්ධ වීමට වඩා දේශපාලනිකය.

    ReplyDelete
  6. ලිපියෙන් කියවෙන්නේ අමිහිරි සත්‍යකි (තිත්ත ඇත්තකි) ලියුම් කරු මතු කරන්නේ සෑම දෙයකටම පිලිගත් ක්‍රම වේදයක (Predetermined method) අවශ්‍යතාවයි. එහි යුක්ත යුක්ති භාවය ඔහු මෙතනදී ප්‍රශ්ණ නොකරයි.
    ටැබුවාට:- පෞද්ගලික අංශයේ බැංකු රස්සාවක් ගම්මු, බැංකු ඕනෑ තරම් ඇතිමුත් සිදුවන්නේ කුමක්ද? (ලංකාවේ අයියලට කෙතරම් විකල්ප ඇති කලත් ශිෂ්ටත්වය ඉගැන්වීමට බැරිය)
    -අරෝෂ්-

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා