සිංහල, දෙමළ සමාජයන් අතර බර්ලින් ප්‍රකාරය බිඳීම හා මොහොමඩ් රාසුක්ගේ පරිවර්තන

(2010 අගෝස්තු 23, W3Lanka) මොහොමඩ් රාසුක් බොහෝ සිංහලයන්ට වඩා හොඳින් සිංහල බස දත් මුස්ලිම් මිනිසෙකි.


කෑගලු දිස්ත්‍රික්කයේ දෙමළ බස කතා කරන මුස්ලිම් ගම්වැසියකු වූ හේ සිංහල බස ඉගෙන ගත්තේ තනිවම ය. ඔහු පරිවර්තන කලාවට එක් වූයේ මීට දශක ගණනාවකට පෙරයි. වින්සන්ට් කුරුඹාපිටිය සංස්කරණය කළ විවරණ සඟරාවේ ඔහුගේ මුල් සාහිත්‍ය පරිවර්තන පළ විය. මුල් යුගයේ ඔහු දෙමළ සාහිත්‍යය  පරිවර්තනය කළේ අබේවංශ දේවප්‍රිය සමග එක්වයි. දැන් ඔහු මේ දෙබස අතර පරිවර්තනයේ හසළයෙකි. 


මහාචාර්ය සුචරිත ගම්ලත්ට අනුව නම් ඔහු ද මෙවලම් පරිවර්තකයෙකු විය හැකි ය. මක් නිසා ද යත්, සුචරිත ගම්ලත් ශූරීන්ට අනුව ලංකාවේ සිටින්නේ පරිවර්තකයන් දෙදෙනෙකු පමණක් වන බැවිනි. ඒ දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ බැද්දේගම සිංහලට නැඟූ ඒ.පී. ගුණරත්නයි. ඔහුට අනුව, අනෙක් උතුමා නම් 'සුචරිත ගම්ලත් වන මේ මම ම ය.'


කෙසේ වෙතත්, සිංහල හා දෙමළ භාෂාන්තර පරිවර්තනය සඳහා අද වන විට මෙවලම් පරිවර්තකයින් හෝ අවශ්‍යව තිබේ. මක් නිසා ද යත්, සිංහලයාගේ ජාත්‍යන්තරවාදයේ ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ ලංකාවේ දෙමළ කතා කරන මිනිසුන්ගේ හදවත් හඳුනා ගැනීම වන හෙයිනි.  


දෙමළ කෙටි කතා රැසක් සිංහලට පරිවර්තනය කර ඇති රාසුක් 'නොපෙනෙන පැති' හා 'කැළෑව ලස්සනයි' නමින් දෙමළ කෙටිකතා එකතූන් දෙකක් ප්‍රකාශයට පත් කර ඇත. පළමු කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි විය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වීමෙහි එතරම් වැදගත්කමක් අපට නො පෙනේ. එහෙත්, අප දන්නා තරමින් රාසුක් යනු සිය කාර්යය සම්බන්ධයෙන් බැරූරුම්ව හා දේශපාලනිකව සිතන කෙනෙකි. ඔහු වැනි පරිවර්තකයින් අද සමාජයට අත්‍යවශ්‍යව තිබේ. 


ඔහු පරිවර්තනය කළ කෙටි කතා හා අහම්බෙන් හමු වන ලංකාවේ දෙමළ කෙටි කතාවක, කවියක සිංහල හෝ ඉංග්‍රීසි හෝ පරිවර්තනයක් කියවන විට සිතෙන දෙයක් වන්නේ ලාංකීය දෙමළ සාහිත්‍යය ජීවිතයේ ගැඹුර ස්පර්ශ කිරීමේ පාර්ශ්වයෙන් යම් ඉදිරි ගමනක් ගොස් ඇති බවයි. 


එසේ වීම තේරුම් ගත හැකි තත්වයකි. සියවසක පමණ කාලයක් මුළුල්ලේ ලංකාවේ දෙමළ බස කතා කරන ජනයා මුහුණ දුන් භාෂාමය, ජනවාර්ගික හා ජාතික පීඩනය, යුද්ධය, ත්‍රස්තවාදය, අවතැන් වීම, සංහාර වැනි සිදුවීම් සාහිත්‍යයෙන් ප්‍රකාශයට පත් වීම වැළැක්විය නො හැකි ය. 


කලක් තුවක්කුවෙන් ප්‍රකාශයට පත් වූ අදහස්වලට ද දැන් ප්‍රකාශයට පත් වන්නට සිදු වී තිබෙන්නේ සාහිත්‍යයෙන්, කලාවෙන් පමණක් ම ය. එහෙත්, එවැනි ප්‍රමාණාත්මක ප්‍රකාශනයක් දෙමළ සාහිත්‍යය තුළ වුව ඇතැයි නො පෙනේ. තුවක්කුව ප්‍රවර්ධනය කළ අය අතින් ම පෑන ඔසවා තැබේ යයි අපේක්ෂා කිරීම මුග්ධකමකි. 


යුද්ධය මැද ජන ජීවිතයේ ගැඹුරු ඛෙදවාචකය ස්පර්ශ කිරීම අතින් සිංහල සාහිත්‍යය ඉන්නේ බොහෝ පිටුපසිනි. නිදසුනක් ලෙස ගතහොත්, සිංහල සාහිත්‍යයට 1983 ජුලි කලබලය යනු දෙමළ මිනිසුන් කුස්සිවල, කාමරවල සඟවාගෙන සිටි සිංහල, දෙමළ සමගියේ හා මානව දයාවේ සොඳුරු සමයකි. දෙමළුන් මරා ඇත්තේ සිංහලයන් නො ව, පිටසක්වළින් පැමිණි ජීවීන් විශේෂයකැයි එම සිද්ධිය අළලා සිංහලෙන් කර තිබෙන නිර්මාන දෙස බැලූ විට සිතේ. 


වාර්ගික ගැටුම විසින් ලාංකික සමාජයේ සිදු කරන ලද ‍මිනිසුන් මිනිසුන්ගෙන් ඈත් කිරීම හඳුනා ගත හැක්කේ සාහිත්‍යයට ම පමණි. ඈත් වූ මිනිසුන් යළි ළං කිරීමට ද සාහිත්‍යයට මහඟු කාර්යයක් කළ හැකි ය. 


සිංහල දෙමළ ලේඛක එකමුතුව විසින් ලබන සැප්තැම්බර් මාසයේදී කොළඹදී සිංහල දෙමළ හා මුස්‌ලිම් ලේඛක හමුවක් සංවිධානය කර තිබේ. ඔවුන් පසුගියදා අරලියගහමන්දිරයට ගොස් ලංකාවේ අග්‍ර සාහිත්‍යකරුවා ද හමු විය. රාජ්‍ය අනුග්‍රහය අපේක්ෂාවෙන් කරන මෙවැනි කාර්යයන්වලින් එතරම් සේවයක් සිදු වේ යයි අපේක්ෂා කළ නො හැකි මුත් නරක නැත. 


එහෙත්, සැබෑ සාහිත්‍යය ඇත්තේ මේවාට අරක් ගත් සාහිත්‍යකරුවන් යයි ලේබල් ගසාගෙන, එම ලේබල ඔප දමා ගැනීම සඳහා පමණක් සාහිත්‍යකරණයේ යෙදෙන සාහිත්‍ය බාප්පලාගේ දෙපතුල් යටයි. 


ලෝකය වෙත ගෙන යාමට තරම් සුවිශේෂ සාහිත්‍යයක් පසුගිය සමයේ සිංහල බසින් නිර්මානය වී ද යන්න පැවසීම උගහට ය. ලංකාවේ ලොකු ම සාහිත්‍ය සම්මානය ලෙස සැලකිය හැකි ස්වර්ණ පුස්තක සම්මානය හිමි වී ඇති සමර විජේසිංහගේ 'ස්වයංජාත' වැනි ආධුනික නිර්මාන දෙස බලන විට ඒ බව පසක් වේ. එහෙත්, සිංහල සාහිත්‍යය දෙමළ ජනයා වෙත ගෙන යාම හා දෙමළ සාහිත්‍යය සිංහල සාහිත්‍යය වෙත ගෙන ඒම මේ සමාජයන් අතර නිර්මානය වී තිබෙන බර්ලින් ප්‍රාකාරය බිඳීම සඳහා මහෝපකාරී වේ. 


මොහොමඩ් රාසුක් විසින් පරිවර්තනය කරන ලද දෙමළ කෙටිකතාවක් වන තෙහෙට්ටුව කියවන්න. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. 'ස්වයංජාත' සමරවීර විජේසිංහ ගේ මිසක් 'සමර විජේසිංහ' ගෙ නෙවෙයි. ඔයාටත් 'මම' ලෙඛකයාගේ මිසක් අන් අයගේ නම් ගම් පවා වෙන් වෙලා පේන්නෙ නෑ වගේ නේද?

    ReplyDelete
  2. "යුද්ධය මැද ජන ජීවිතයේ ගැඹුරු ඛෙදවාචකය ස්පර්ශ කිරීම අතින් සිංහල සාහිත්‍යය ඉන්නේ බොහෝ පිටුපසිනි. නිදසුනක් ලෙස ගතහොත්, සිංහල සාහිත්‍යයට 1983 ජුලි කලබලය යනු දෙමළ මිනිසුන් කුස්සිවල, කාමරවල සඟවාගෙන සිටි සිංහල, දෙමළ සමගියේ හා මානව දයාවේ සොඳුරු සමයකි. දෙමළුන් මරා ඇත්තේ සිංහලයන් නො ව, පිටසක්වළින් පැමිණි ජීවීන් විශේෂයකැයි එම සිද්ධිය අළලා සිංහලෙන් කර තිබෙන නිර්මාන දෙස බැලූ විට සිතේ" lol
    very true

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා