ප්ලාස්ටික් බෝතලෙන් ආපසු පයිප්පෙට | Back to tap

(2010 අගෝස්තු 12, W3Lankaවැඩි වැඩියෙන් ශ්‍රී ලාංකිකයෝ දැන් ප්ලාස්ටික් බෝතල්වල පිරවූ පානීය ජලය බීමට පුරුදු වෙමින් සිටිති. ගමනේ බිමනේදී පහසුවට කරන මෙම පාවිච්චියෙහි අතුරු ඵල ලෙස දිරා නොයන ප්ලාස්ටික්වලින් භූමිය පිරෙන බව ද, ජල මාර්ග සිර වන බව ද, ඉවත දමන බෝතල් ඩෙංගු ඇතුළු රෝග පතුරුවන මදුරුවන්ගේ තිඹිරි ගෙවල් වන බව ද, බෝතල් නිෂ්පාදනයේදී වටිනා පොසිල ඉන්ධන කන්දරාවක් අපතේ යවන බව ද ඔබ දන්නවාද? එපමණකින් නොනැවතී එය විසින් ඔබේ ශරීර සෞඛයයට කරන හානිය කොපමණදැයි ඔබ සිතුවාද?


මේ එක් වතුර බෝතල් වර්ගයක වෙළඳ නාමය ඇමරිකන් ය. කොහොමටත් මෙවැනි අනතුරුදායක පරිභෝජන රටාවන් ලෝකයට දායාද කර දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය බව රහසක් නොවේ. මේ විලාසිතාවේ පාරිභෝජනවාදයන්ගේ ආදීනව අපට එක්සත් ජනපදයෙන්ම විමසා බැලිය හැකිය. පසුගිය වසරේ ඇමරිකානුවෝ ඩොලර් බිලියන් 11ක බෝතල් වතුර ගැලුන් බිලියන අටක් බී බිලියන් 22ක් හිස් ප්ලාස්ටික් බෝතල් කසල ගොඩෙහි හෙළුවෝය. වතුර පුරවන ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය සඳහා පමණක් ඇමරිකාව වසරකට වැය කරන තෙල් බැරල් ගණන මිලියන් 1.5කි.


වාසනාවකට මෙන්, අපේ රජය අඩු තරමේ මේ ප්‍රශ්නය කෙරෙහි අවධානය වත් යොමු කර ඇති බව පෙනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව පරිසර අමාත්‍යාංශය ගෙන එන බව කියන නව නීති ප්‍රකාරව මදුරුවන් බෝ කිරීමට රුකුල් දෙමින්, තැන් තැන්වල අතහැර දමනවා වෙනුවට, ඇසුරූ බීම පානය කර අහවර වූ පසු හිස් බෝතල් ආපසු ලබාගැනීමට සමාගම්වලට සිදු වනවා ඇත. එහෙත් මේ නීතියට ද ලංකාවේ අනෙකුත් මෙවැනි නීතිවලට අත් වූ ඉරණම ම අත් නොවේ යයි සහතික විය නොහැක.


බෝතල් වතුර ගෙදර පයිප්පයෙන් ගලා එන වතුරට වඩා පිරිසිදු ය යන තර්කය පිළි ගැනීමට හේතු නැත. ලංකාවේ ඇතැම් සමාගම් නිෂ්පාදනය කරන වතුර බෝතලවල ඇත්තේ ව්‍යාජ SLS සහතිකයි. සාමාන්‍ය ජලය සඳහා සහතික ලබාගෙන ඛනිජමය ජලය නමින් ඒවා විකිණීම ඉතා සුලබ ය. වතුර බෝතල් අපිරිසිදු ජලයෙන් පුරවා විකිණූ හොර වෙළෙන්දන් අතට හසු වූ වාර ගණන එකක් දෙකක් නොවේ. මූඩියේ ඇති සුරක්ෂිතභාවය හෝ ලේබල්වල සඳහන් කරුණුවලින් ඇතුළේ ඇති ජලයේ සෙෘඛ්‍යාරක්ෂිතබව තහවුරු කළ නොහැකිය. බොහෝ වතුර බෝතලවල ඇත්තේ සාමාන්‍ය පයිප්ප වතුර ය.


ජලය කෙතරම් පිරිසදු වුණත් අවසානයේදී බෝතලයේ ඇති ප්ලාස්ටික් විෂ හේතුවෙන් ඒවා පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වේ.


ප්ලාස්ටික් වතුර බෝතල් නැවත පාවිච්චි කිරීමෙන් අප පරිසරය රැක ගැනීමට උදව් කරන බව ඇතැමෙක් පවසති. ඔවුන් නොදන්නා කරුණ වන්නේ එහි ඇති සෞඛ්‍යමය අනතුරයි. ලංකාවේ වෙළඳපොලෙහි ඇති ප්ලාස්ටික් බෝතලවලින් වැඩි හරියක් සාදා තිබෙන්නේ එක් වරක් පමණක් පාවිච්චි කිරීමටයි. ඒවා නැවත පාවිච්චිය අතිශය භයානක ය.


වරක් පාවිච්චි කර ඉවත දමන බෝතල් බොහෝ විට සාදනු ලබන්නේ #1 polyethylene terephthalate (PET or PETE) නමින් හැඳිනවෙන රසායනිකයකිනි. එම බෝතල් එක් වරක් පාවිච්චි කිරීමෙන් අනතුරක් සිදු නොවනමුත් ඒවා නැවත පාවිච්චියේදී DEHA යනුවෙන් හැඳින්වෙන පිළිකාකාරක සහ benzyl butyl phthalate (BBP) නමැති ශරීර හෝමෝන විපර්යාසයට ලක් කිරීමෙහි සමත් රසායනික මුදා හරිනු ලැබේ.


වරක් පාවිච්චි කර ඉවත දැමිය යුතු බෝතල් කිසි විටෙක යළි පාවිච්චි නොකළ යුතු අතර, ඇතැම් නැවත පාවිච්චි කළ හැකි යයි කියන බෝතල්ද පළි පාවිච්චි නොකළ යුතුය. බොහෝ ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන bisphenol A (BPA) නමැති අමුද්‍රව්‍යය විසින් මුදා හරින #7 polycarbonate නම් වූ ශරීර හෝමෝනවලට බලපාන රසායනික කෙතරම් සෞඛ්‍යාරක්ෂිතද යන කරුණ සම්බන්ධයෙන් විවාදයක් තිබේ. මෑත කාලීන අධ්‍යයන විසින් පෙන්වා දී තිබෙන පරිදි මෙම රසායනිකවල අංශුමාත්‍ර ප්‍රමාණයක් වුව දැඩි ලෙස හානිකර විය හැකිය. එය තරබාරුකම, පියයුරු පිළිකා වැනි තත්වයන් පමණක් නොව වඩා භයානක පාරම්පරික රෝගාබාධයන්ටද හේතු විය හැකිය. PLoS Genetics සඟරාවේ පළ කරන ලද 2007 අධ්‍යයන වාර්තාවකට අනුව පහත් BPA මට්ටමකට නිරාවරණය කරන ලද මීයන්ගේ වර්ණදේහවල ඊළඟ පරම්පරාවලට බල පෑ හැකි වෙනස්කම් සිදු විය.


මෙම තත්වයන් සලකා බැලූ කල, ශ්‍රී ලංකාවේ තත්වය තවත් උග්‍ර වීමට පෙර බෝතල් කළ ජලය පානයෙන් මිදීම සඳහා පියවර ගැනීම යෝග්‍ය බව පෙනේ. බෝතල් වතුර මිළ අධික වීම හේතුවෙන් තවමත් එය එතරම් ප්‍රචලිත වී නැත. වතුර බෝතල ප්‍රචාරය කරන වෙළඳ දැන්වීම් ද දුලබ ය. එහෙත් බෝතල් වතුර දැනටමත් හැම බස් නැවතුම්පොළකම කඩ තට්ටු ආක්‍රමණය කර හමාර ය. කඩිනම් පියවර නොගතහොත් එය හෙට අනිද්දාම ගමේ කඩේ දක්වාම ව්‍යාප්ත විය හැකිය.


අවසාන වශයෙන් රැස්වීම්, සම්මන්ත්‍රණ ආදියේදී වේදිකා මත හිඳගෙන උජාරුවෙන් බෝතල් වතුර පානය කරන පරිසරවේදීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ නැගීගෙන එන ගෝලීය කර්මාන්තයට නොමිලේ ප්‍රචාරය දීම නවතා ආපසු ළිඳට, පයිප්පයට යොමු වන ලෙසයි.


ඔබත් ප්ලාස්ටික් බෝතලවල පිරවූ ජලය පානය කිරීම වහා අතහරින්න. වීදුරු හෝ ලෝහ භාජනවල පිරවූ ජලය ප්ලාස්ටික බෝතල් වතුරට වඩා පිරිසිදු ය. සෞඛ්‍යරක්ෂිත ය.


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. මට නම් මෙය පෙනෙන්නේ කියන්නන් වාලේ කිවූ තවත් එක මෝඩ කතාවක් ලෙස පමණි. කතාව ඇත්තය. නමුත් (සුපුරුදු පරිදි )ප්‍රයෝගික නැත. වතුර බෝතල් නවත්තන්නට පෙර පොඩි එකාගෙ සිට කන බොන හැම කෑම වර්ගයකම ඇති E211 (Sodium benzoate) නම් ආහාර කල්තබාගන්නා රසායනය ඇතුලු අනෙකුත් E අකුරින් පටන් ගෙන ඉලක්කම් 3 කින් අවසන් වන සියලුම රසායන ද්‍රව්‍ය පිලිබඳව ඔබ කියන්නේ කුමක්ද?. මේවා සියල්ල පිලිකා කාරක වන අතර වෙලඳ පොලේ අඩු මිලට මිලදී ගැනීමටද ඇත. මේවා ආහාර සඳහා දැමිය යුතු නියමිත ප්‍රමානයක් තිබෙන අතර මෙම නියමිත ප්‍රමානයන් හරියට දමනවාදැයි පරීක්ශා කරන්නේ කවුද???

    අප දවල්ට හෝටලෙන් කන බත් පතටද මේවා දමන බව ඔබ දන්නේ නැද්ද? අයිස් ක්‍රීම්, බිස්කට්, ජෑම්, කෝඩියල්, සියලුම බෝතල් කල බීම වර්ග, නූඩ්ල්ස්, ආදී මෙකී නොකී සියලුම ආහාර වල මෙම කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ඇත. මීට අවුරුදු 60 - 70 කට පෙර මේ කිසි දෙයක් තිබුනේ නැත. මෙතරම් පිලිකා තිබුනේද නැත. අප කන තරමක් කන්නේ වසය. කඩෙන් නොකා සියල්ල ගෙදර උයාගෙන කෑවත් කන්නේ වසය. හාල් ඇටේ සිට සියලුම කෑමට කෘමි නාශක ගසන බැවිනි.

    (මා අපගේ "ජාතික රස කාරකය" වන MSG හෙවත් Monosodium glutamate එනම් අප කවුරුත් දන්නා "සිංහල" නාමය වන් අජි නො මොටෝ ගැන වෙන දවසක කතා කරන්නම්)

    නමුත් ඔබට නම් විකල්පයක් තිබේ, එනම් කන බොන සියල්ල හාල් ඇටේ සිට, කිරි බොන එල දෙනගේ සිට, මසට කන කුකුලාගේ සිට, සියල්ල ගෙදර හදා ගත යුතුය කියා ඔබ කිව්වත් මම නම් පුදුම වන්නේ නැත.
    මොකද, මේ වතුර බෝතල් කතාවත් ඒ වගේ නිසාය.
    වැඩේ 100% හරියටම හරිය. නමුත් 0% ක් වත් ප්‍රායෝගික නැත.

    සමහරවිට නියම සමාජවාදියෝ එසේ විය හැක.

    ReplyDelete
  2. වැදගත් ලිපියක් ස්තතියි

    ReplyDelete
  3. කාලෙකට පස්සෙ W3 එකෙන් CSR එකක් ලිපියනන් මරු !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා