ජී.එස්.පී විවාදය: බටහිර රටවලට විදේශිකයන් මරන්නට ඇති අයිතිය අපට අපේ මිනිසුන් මරන්නට ද තිබිය යුතු ය | GSP debate: Sri Lanka government too must have the right to kill her people in the same way the West killed Arabs

(2010 ජුලි 02, W3Lankaකුමන්ත්‍රණ ගැන සිතන්නට ලංකාවේ අපි ස්වභාවයෙන් ම ප්‍රිය කරන්නෙමු. අප සිතා ඉන්නේ ලෝකයේ හරි මැද අප ය කියා ය. ඒක හෝ වෙනත් මොකක් හෝ හේතුවක් ද අහේතුවක් ද මොකක්ද මරගාතයක් නිසා මුළු ලෝකය ම අපට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් සිටින බව සිතන්නට අපි කැමැත්තෙමු.


මෙම තත්වය කිසියම් පුද්ගලයකුට තිබේ නම්, ඔහු හෝ ඇය වහා මානසික සායනයකට යොමු කරනු ලැබේ. එහෙත්, ජාතියකට මෙම රෝගය වැළඳී ඇති කල කළ යුතු දේ කුමක්ද යන්න තව ම සොයාගෙන නැත.


මේ අපේ අනාගත රාජ්‍ය නායකයකු වන්නට සිහින මවන ඇමති මෛත්‍රීපාල සිරිසේන අද දිනමිණට කරන ප්‍රකාශයකි. (අපට සිටි රාජ්‍ය නායකයන් මීට වඩා 'හොඳ' ප්‍රකාශ කර ඇති බැවින් මෙය මොහුට නුසුදුසුකමක් වන්නේ නැත.)


"ජී. එස්. පී. ප්ලස් සහනය ඉවත් කිරීමේ ප්‍රයත්නය පිටුපස විශාල කුමන්ත්‍රණයක් තිබෙනවා. එයත් සිදු කරන්නේ මා මීට පෙර සඳහන් කළ බටහිර ඇතැම් රටවල් පමණයි."


"අපේ මානව අයිතින් ගැන කතා කරන මේ මහත්වරු ඉරාකයේ , ආෆ්ගනිස්තානයේදී සිදුවන යුද අපරාධ ගැන කතා කරන්නේ නැහැ," යි ද ඔහු කියයි. 


මේ නම් අපූරු තර්කයකි. බටහිර රටවලට විදේශිකයන් මරන්නට ඇති අයිතිය අපට අපේ මිනිසුන් මරන්නට ද තිබිය යුතු ය යන්න මෙහි තිබෙන තර්කයයි. 


මානව හිමිකම්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද නූතන සංකල්ප බටහිර නිර්මිතයන් බව සැබෑ ය. එහෙත් ඒවායෙහි අයිතිකරුවන් වන්නේ බටහිර රටවල ආණ්ඩු නොව ජනතාවයි. බටහිර ආණ්ඩුවලට හිස නමන්නට සිදු වී තිබෙන්නේ මේ පුරවැසියන්ටයි. 


ලංකාවේ පුරවැසියන් නො සිටීම වෙන ම ප්‍රශ්නයකි. ලංකාවේ සිටින්නේ පාලකයන්ට ම ගැලපෙන දූෂිත ගැහැනු හා මිනිසුන්ගෙන් පිරි ජනගහණයකි. සත්තකින් ම මෙම පාලකයන් පත් කරන්නේ ඔවුහු ය. 


බටහිර දියුණු රටවල ජනයා ලංකාවේ තරම් දූෂිත නැත. එහෙයින් ආණ්ඩු ද මෙතරම් දූෂිත නැත. අඩු තරමේ ඔවුහු තමන්ගේ පුරවැසියන්ට එරෙහිව ම්ලේච්ඡත්වය මුදා හරින්නේ නැත. අපේ තත්වය ඔවුන්ගේ තත්වයෙන් වෙනස් වන්නේ එතැනිනි. 


අපේ පාලකයන්ට වෙනත් රටක මිනිසුන්ට එරෙහිව ම්ලේච්ඡත්වය පහ කර ගන්නට තරම් හයියක් නැත. ඒ වෙනුව‍ට තමන්ගේ ජනතාවට එරෙහිව ම්ලේච්ඡ වීම සඳහා තමන්ට අයිතියක් ඇතැයි ඔවුහු තර්ක කරති. 


එසේ කරන ගමන් අපට සිඟමන් දෙන්නැයි ද ‍බටහිර රටවලින් ඉල්ලති. සිඟමන් දෙන්නැයි තර්ජන ද කරති. 


ජී.එස්.පී. ප්ලස් බදු සහන මෙසේ තේරුම් ගත හැකි ය. ඔබට තේ කඩයක් ඇතැයි සිතන්න. ඔබ එම කඩයේ විකිණීම සදහා හැලප සැපයීමට බේබි නෝනාට භාර දී තිබේ. බේබි නෝනා සැමියා ගහෙන් වැටුණු, ළමයින් බුරුත්තක් පාසල් යැවීමට වෙහෙසෙන දිරිමත් කාන්තාවක් නම් ඇයට අනුග්‍රහයක් ලෙස ඔබ ඇයගෙන් හැලප මිළ දී ගන්නා මිළ මඳක් වැඩි කරයි. ලාභය අඩුවෙන් කඩයේ විකුණයි. 


ඔබ මෙය කරන්නේ බේබි නෝනා ගැන ඔබේ තිබෙන හොඳ හිත නිසා මිස බේබි නෝනාගේ ලොකු කොලුවා මුදලාලිව කඩේ හිර කර තබනවා ය කියා කරන තර්ජනවලට බයේ නොවේ. බේබි නෝනා ළමයින් ඉස්කෝලේ යවන්නේ නැතිනම්, උන්ට සලකන්නේ නැතිනම්, ලෙඩ සැමියාට තඩි බානවා නම්, කසිප්පු බොනවා නම් ඔබ බේබි නෝනාට බම්බු ගසා ගන්න කියා වෙන කාගෙන් හෝ හැලප ගන්නවා ඇත. 


මෙය වෙනස් වන්නට පුළුවන් වෙනත් සාධක ඇත. බේබි නෝනා අඟර දඟරකාරියක නම් ඔන්න වෙනසක් විය හැකි ය. ඒත් ඉතින් මුලලාලි හාමිනේ දැන ගත්තොත් අහන්නේ මොකද ඒකිගේ හැලප වැඩි ගානට ගන්නේ, බැරිද වෙන කාගෙන් හරි ගන්න කියා ය. 


බටහිර රටවල පුරවැසියෝ තමන් අඳින ඇඳුම එන රටේ මානව හිමිකම් ගැන සංවේදී වෙති. තමන් අඳින ඇඳුම මහන සේවකයන්ට කම්හල් හිමියන් හා රජය හොඳින් සලකනවාදැයි බලති. එය ඔවුන්ගේ උසස් ගුණාංගයකි. මේ පසුපස දේශපාලනය වැඩ කරන බව ඇත්තකි. එහෙත්, මෙකී කාරණා හරියට තිබේ නම්, අපට ප්‍රශ්නයක් නැත. 


පසුගිය දිනවල ලංකාව පොර ටෝක් දැම්මේ අපට යුරෝපා සංගමයේ බදු සහන එපා කියමිනි. අපි කොන්දේසිවලට යටත් වන්නේ නැති බව අපේ වීරෝදාර පාලකයෝ වදාළ හ. කොන්දේසි මොනවා ද? රටේ මිනිසුන්ට වධ නො දීම, හිතුමතේ සිරගත නො කිරීම, සාධාරණ අධිකරණ ක්‍රියාමාර්ග ආදියයි. 


දැන් එක්සත් ජනපදය ද ලංකාවේ නිෂ්පාදනවලට දෙන තීරුබදු සහන ඉවත් කිරීමට ඉඩ ඇති තත්වයක් මතු වී තිබේ. ලංකාවේ ඇඟලුම් සේවකයන්ගේ වෘත්තීය තත්වය පිළිබඳ American Federation of Labour and Congress of Industrial Organisations (AFL-CIO)  නම් සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් මෙයට හේතු වී ඇත. එම පෙත්සම විභාග කිරීමට එක්සත් ජනපද රජය තීරණය කර තිබේ. 


මෙවැනි පැමිණිල්ලක් හේතුවෙන් දස වසකට පමණ පෙර මාලදිවයිනට තීරු බදු සහන වරප්‍රසාදය අහිමි විය. 


සුපුරුදු ලෙස ම ලංකාවේ පාලකයන් දැන් කියනු ඇත්තේ මේ පැමිණිල්ල කළේ කොටින් හෝ කොටි හිතවාදීන් විසින් බව සහ එය විභාග කරන්නට තීරණය කිරීම ලංකාවට එරෙහිව ඇමරිකන් කුමන්ත්‍රණයක් බවයි. 


කෙසේ වෙතත්, ලංකාවේ වෘත්තීය සමිති මහා සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම තත්වය ඇති වීමට හේතුව ඇඟලුම් කර්මාන්තයේ දුර්වල ශ්‍රම තත්වයන් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රම ප්‍රමිතීන්ට පටහැණිව කටයුතු කිරීම බවයි. (සම්පූර්ණ නිවේදනය මෙතැනින් කියවන්න.) 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා