මිය ගොස් දස වසරකට පසුවත් උඩු රැවුල්කාර පාලක පිරිමින් බිය වද්දන සිරිමාවෝ

(2010 ජුලි 27, W3Lankaඝාතනයට ලක් වූ හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බංඩාරනායකගේ වැන්දඹූ බිරිය වූ සිරිමා රත්වත්තේ ඩයස් බංඩාරනායක අගමැති පදවියට පත් වූයේ මීට පනස් වසරකට පෙර 1960 ජුලි 21දා ය.


ඇය නූතන ලෝකයේ පළමු රාජ්‍ය නායිකාවයි. සර්ව ජන ඡන්ද බලය ලංකාවට හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයන් එරට ප්‍රථම අගමැතිනිය හා මේ දක්වා සිටි එක ම රාජ්‍ය නායිකාව වූ මාග්‍රට් තැචර් අගමැතිනි ධුරයට පත් කළේ ද මීට බොහෝ කලකට පසුව ය.


අගමැති පදවියට පත් වීමෙන් පසු එවකට 44 වියේ සිටි ප්‍රභූ ගෘහනියක නියක වූ සිරිමාගේ නමේ වෙනසක් සිදු විය. ගෞරවාර්ථයෙන් යුත් වෝ අක්ෂරයක් මුල් නම අගට එක් වී ඕ සිරිමාවෝ නම් වූවා ය. සත්තකින් ම ඇය එකී ගෞරවාන්විත යෙදුමට අරුතක් දුන් දක්ෂ ධනේශ්වර පාලිකාවක වූවා ය.


ඇය 1960 සිට 65 දක්වා සහ 1970 සිට 77 දක්වා විධායක අගමැති ධුරය හෙබවූ අතර විධායක ජනාධිපති ධුරයට පත්ව සිටි සිය දියණිය වූ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග යටතේ 1994 සිට සිය මරණයට මාස දෙකකට පෙර 2010 අගෝස්තු 10දා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ලබන තෙක් නාමික අගමැති ධුරය ද හෙබවූවා ය. 1965-70 සමයේ සහ 1989-94 සමයේ ඇය විපක්ෂ නායක ධුරය දැරුවා ය.


සිය දෙවන ධුර ආරම්භයේදී ඇති වූ 1971 කැරැල්ල මර්දනය කිරීමේදී ඇය ධනේශ්වර රාජ්‍යයට දුන් කෲර නායකත්වය 1959, 60 වකවානුවේදී විරුද්ධවාදීන් විසින් ඇය හැඳින්වීම සඳහා යොදන ලද වැළපෙන වැන්දඹුව නම් වූ අන්වර්ථ නාමයට ගැලපෙන පෞරුෂයක සිට දශකයකට මඳක් වැඩි කාලයක් තුළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ආදිය හරහා ඇය කෙතරම් දිගු ගමනක් පැමිණ සිටියේ ද යන්න පෙන්නුම් කරයි.


බටහිර ගැති වෙළඳපොල ධනවාදී ක්‍රමයක සිට සෝවියට් කඳවුරේ ආභාසය ලද රාජ්‍ය ඒකාධිකාරී සුබසාධනවාදී රාජ්‍යයක් දක්වා රාජ්‍යය තුළ කරන ලද පරිවර්තනයට ඇය විසින් දෙන ලද නායකත්වය දෙවෙනි වන යම් පෞරුෂයක් ඇත්නම් ඒ වනාහි 1977න් පසු ආර්ථිකය පූර්ණ ලෙස විවෘත කිරීම සඳහා පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන දුන් නායකත්වය පමණි.


ඇගේ ගමන් මගේ දිගුවක් ලෙස 1994දී ඇගේ දියණිය වූ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග රටේ පළමු විධායක ජනාධිපතිනිය වූවා ය. ඇය ජවිපෙ විසින් මරා දමන ලද වාම ලිබරල් දේශපාලනඥයකු වූ විජය කුමාරතුංගගේ වැන්දඹු බිරිය වීම ද ඇගේ දේශපාලන උන්නතියට ඉවහල් විය. 1994දී ඇගේ ප්‍රධාන තරගකාරිය වූයේ ද කොටි සංවිධානයේ ප්‍රහාරයක‍ට ගොදුරුව මිය ගිය ගාමිනී දිසානායකගේ වැන්දඹු බිරිය වන ශ්‍රීමා දිසානායකයි.


සිරිමා බංඩාරනායකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා අගමැතිකම හිමි වූයේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හා ගොවිගම අධිපතිවාදී කුලවාදය නිසා ය.ශ්‍රීලනිපයේ එවකට සිටි ජ්‍යේෂ්ඨතම නායකයා වූ සී.පී. ද සිල්වාට පක්ෂ නායකත්වය හා අගමැතිකම නො ලැබී යන්නේ ඔහු සලාගම කුලයේ කෙනෙකු නිසා ය.


කෙසේ වෙතත්, සිරිමා බංඩාරනායකගේ දේශපාලන පෞරුෂය අති දැවැන්ත එකකි. එහි දැවැන්තභාවය විෂධ කරන එක් කාරණයක් වන්නේ වත්මන් පාලක රාජපක්ෂ පවුලට ඇගේ නාමය යටපත් කිරීමට ඇති වුවමනාවයි. ඇය කාන්තාවක ලෙස ලොව ප්‍රථම වරට විධායක අග්‍රාමාත්‍ය ධුරයට පත් ව පනස් වසරක් සපිරුණු ජුලි 21 දින රජය හෝ ශ්‍රීලනිපය සමරුවක්වත් පැවැත්වූයේ නැත.


එහෙත්, මේ නීච ක්‍රියාව හෙළිදරව් විමත් සමග පාලක පවුල ඇගේ පෞරුෂය හමුවේ කෙතරම් සැලුණේ ද යත්, ලහිලහියේ පමා වූ සමරුවක් සුදානම් කෙරිණි. රජයේ දිනමිණ පුවත්පත මෙම සමරුව පිළිබඳ ජුලි 27දා වාර්තා කළේ මෙසේ ය.


මැතිනිය අගමැතිනි වී වසර 50යි
උපහාර උළෙල හෙට ජනපති ප්‍රධානත්වයෙන්
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය වී වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (28) පස්වරුවේ උපහාර උත්සවයක් පැවැත්වේ.


සිරිමාවන්ගේ මේ දේශපාලන පෞරුෂයෙන් අංශු මාත්‍රයක්වත් පසුව බලවත් විධායක ජනාධිපති ධුරයට පත් ඇගේ දියණිය වන වික්ටර් අයිවන් විසින් චෞර රැජිනක ලෙස හඳුන්වන ලද චන්ද්‍රිකා බංඩාරනායකට තිබුණු බවක් ඇගේ ධුර කාලයන් දෙක තුළදී නිරීක්ෂණය වූයේ නැත. ඇය විසින් දශකයකට අධික වූ සිය පාලන කාලය තුළ සිදු කරන ලද සාධනීය කාර්යයක් සොයා ගැනීම ද උගහට ය. 


වැන්දඹු දේශපාලනයෙන් කරළියට පැමිණි ආධුනික කාන්තාවක වූ සිරිමා බංඩාරනායක තමන් මතට කඩා වැටුණු නායකත්වයට කළ සාධාරණය හේතුවෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දක්වා බොහෝ වැන්දඹුවන්ට දේශපාලන නායකත්වයට අවස්ථාව ලැබිණි. එහෙත්, ඇගේ දියණිය වන චන්ද්‍රිකා බංඩාරනායකගේ අසාර්ථක නායකත්වයෙන් පසු තවත් වැන්දඹුවකට රාජ්‍ය නායකත්වයට පත්වන්නට ලැබේ ද යන්න නම් සැක සහිත ය. 


සිරිමා බංඩාරනායක කෙතරම් දක්ෂ දේශපාලනඥයකු වුවත් ඇය දක්ෂ ස්ත්‍රී නායිකාවක නොවේ. එසේ වූවා නම්, නොබැඳි රාජ්‍යයන්ගේ සමුළුවේ කීර්තිමත් සභාපතිනිය පවා වී සිටි ඇයට ලංකාවේ ස්ත්‍රිය මීට වඩා දේශපාලනිකව බලසතු කිරීමේ අවස්ථාව තිබිණි. එ‍සේ වී නම්, ලංකාවේ ස්ත්‍රී දේශපාලනය වැළපෙන වැන්දඹුවන්ගෙන් ම අවසන් වන්නේ නැත. 


සිරිමා බංඩාරනායක ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වී වසර පනහක් ගත වෙද්දී කාන්තාව රාජ්‍ය දේශපාලනය තුළ මුළුමනින් ම පරාජය වී ඇත. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායක ශ්‍රීලනිපයේ නායකත්වයෙන් කුණපයක් සේ බැහැර කළ ආකාරය විසින් ලංකාවේ දේශපාලනයේ ස්ත්‍රියගේ තත්වය සංකේතවත් කෙරිණි. 


උඩු රැවුල්කාර මහින්ද රාජපක්ෂගේ මතු වීම හා රජයේ හමුදාව පරාජය කර කිලිනොච්චිය අල්ලා ගන්නට සමත් වූ කාන්තා යුද හමුදාවක් තිබුණු කොටි සංවිධානය පරාජය කරමින් ඔහු බලයේ තහවුරු වීම විසින් ද, පිරිමි සහෝදරයන් හා පුතුන් විසින් පිරිවරන ලද ඔහුගේ ලිබරල් විරෝධී ගැමි ගොවි පවුල් දේශපාලනය විසින් ද ලංකාවේ ස්ත්‍රී ‍දේශපාලනය තීරණාත්මක අන්තයකට ගෙනැවිත් තිබේ. 


පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජනය 4%කට සීමා වන්නට ද, වත්මන් කැබිනට් මණ්ඩලයේ වනිතා කටයුතු ඇමතිකම පවා පිරිමියකුට සින්න වන්නට ද පසුබිම් වූ තත්වය පිළිබඳ වත්මන් පාලනය තහවුරු කිරීමට දායක වූ, නොවූ කාන්තාවන් විසින් බැරෑරුම්ව සිතිය යුතුව තිබේ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. /සත්තකින් ම ඇය එකී ගෞරවාන්විත යෙදුමට අරුතක් දුන් දක්ෂ ධනේශ්වර පාලිකාවක වූවා ය./

    මේ වැකිය ලියූ පුද්ගලයා එක්කෝ 'ධනේශ්වර' කියන වචනයේ තේරුම නොදනියි. නැතිනම් 'දක්ෂ' යන වචනයේ තේරුම නොදනියි. නැතිනම් මේ දෙකම නොදනියි.

    - Taboo

    ReplyDelete
  2. චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් කිසියම්ම හෝ සාධනීය කාර්යයක් කළ බවට සොයා ගැනීම උගහටය, බව ලියුම්කරු පැවසීම පිළිගත නොහැක්කකි.

    සිය මව මෙන්ම ඈ ද දක්ෂ ධනපති නායිකාවකි. චන්ද්‍රිකා අසාර්ථක වූ බව ඇත්තකි. එහෙත් ඒ මේ දේශපාලන සංස්කෘතිය තුළය. නමුත් වාර්ගික සිංහල බෞද්ධ මතවාදයට අභියෝග කිරීමේ දී ඈ එක්තරා දුරකට දක්ෂ වූ ධනපති නායිකාවකි.

    සිංහල බෞද්ධ ඒකීය ස්වෝත්තමවාදී මතවාදයට එරෙහි වෙමින් බලය බෙදූ එක්සත් රාජ්‍ය සංකල්පය මතවාදයක් ලෙස ලාංකීය පොළොව තුළ තහවුරු
    කළේ ඇයයි. ඒ අර්ථයෙන් ඈට අභියෝගයක් වූ ධනපති නායකයෙක් හෝ නායිකාවක් නොමැත.

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  3. 1994 සිට සිය මරණයට මාස දෙකකට පෙර 2010 අගෝස්තු 10දා ?????????????

    ReplyDelete
  4. "උඩු රැවුල්කාර මහින්ද රාජපක්ෂගේ මතු වීම හා රජයේ හමුදාව පරාජය කර කිලිනොච්චිය අල්ලා ගන්නට සමත් වූ කාන්තා යුද හමුදාවක් තිබුණු කොටි සංවිධානය පරාජය කරමින් ඔහු බලයේ තහවුරු වීම විසින් ද, පිරිමි සහෝදරයන් හා පුතුන් විසින් පිරිවරන ලද ඔහුගේ ලිබරල් විරෝධී ගැමි ගොවි පවුල් දේශපාලනය විසින් ද ලංකාවේ ස්ත්‍රී ‍දේශපාලනය තීරණාත්මක අන්තයකට ගෙනැවිත් තිබේ."

    Motta buru kathavak meka.

    So for you mustash is anti-feminish, and LTTE is a symbol of feminism. That part is shit.

    LTTE is a movement that used female insecurity of northern tamil society [dowry, cast, social injustice, lack of edu]. They exploited it and used it like dead meat.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා