බැක්ටීරියාව, එන්න! අප මේ මාරක මදුරුවාගෙන් හා ඌට සහාය දෙන ආණ්ඩුවෙන් ගලවා ගන්න!

(2010 ජුලි 13, W3Lankaරජයේ ඩෙංගු මර්දන වැඩසටහන යටතේ පවුල් සෞඛ්‍ය සේවිකාවක් හා නිල ඇඳුම් නො ඇඳි තවත් නාඳුනන පුද්ගලයෙක් අපගේ නිවසට පැමිණ ගේ වටේ ඇවිද ගියේ කුස්සියෙන් ඉවත දැමූ පොල්කටුවක් අනෙක් පැත්ත හරවන්න යයි උපදෙස් දීලා ය.


ගම්බද ප්‍රදේශයක ජීවත් වන අපට ඇති ගැටලුව වන්නේ බිම වැටුණ වියළි කෙසෙල් කොළයේ, හබරල පිත්ත හා අන්නාසි කොළය පැළයට සවි වන තැන වැනි තැන්වල ජලය රැඳීම හා එහි මදුරුවන් බෝ වීමයි.


මදුරුවන් මරන්නට කියා මේ ගස් කපා දමන්නට බැරි ය.  අප ජීවත් වන ප්‍රදේශයෙන් තවමත් ඩෙංගු රෝගියකු හමු වූයේ නැත. බොහෝ ඩෙංගු රෝගීන් හමු වන්නේ හා මරණ සිදු වන්නේ රෝහල් ආසන්න පරිසරයේ ය. ඩෙංගු රෝග වාහක මදුරුවන් වැඩිපුර ජීවත් වන්නේ එම ප්‍රදේශවල ය. අනෙක් ප්‍රදේශවල එම මදුරුවන් ජීවත් වුව ද ඔවුන්ට රෝග වාහකයන් වන්නට රෝගියකු එම ප්‍රදේශයේ සිටිය යුතු ය.


මේ අද දිවයින පුවත්පතෙන් උපුටා ගත් වාර්තාවකි. "ඉකුත් ජූලි 2 වැනිදා සිට 9 වැනිදා දක්‌වා ගත වූ සතියක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 1073 දෙනකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 4 ක්‌ සිදුව තිබේ. මෙම සංඛ්‍යා සමගම මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්‌වා වූ කාලයේදී දිවයිනෙන් වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 19,838 ක්‌ (දහ නවදහස්‌ අටසිය තිස්‌ අටක්‌) දක්‌වා ඉහළ ගොස්‌ ඇති අතර සිදු වූ මරණ සංඛ්‍යාව 140 කි."


රජය ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීමේ ලා මුළුමනින් ම අසාර්ථක වී ඇති බව අපට පෙනේ. නිවස අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව ජනතාවට උපදෙස් දීම හා නො සැලකිලිමත් පුද්ගලයන්ට දඬුවම් කිරීම රජයේ ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රධාන කොටස් ය. ඒ හැර වෙනත් කිසිදු ප්‍රායෝගික වැඩසටහනක් සෞඛ්‍ය බලධාරීන්ට නැත.


මෙහි ඇති මූලික ගැටලුව වන්නේ පොදු දේපල හා රජයේ දේපලවල‍ට ද, පළාත් පාලන ආයතන ආශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානවලට ද අදාළව මෙකී අපදෙස් හෝ දඪුවම් ලබන්නට වගකිවයුතු යහපාලනයක් රටේ නැති වීමයි. මහජනතාව ගෙවන බදුවලට සාධාරණ අන්දමේ සේවයක් කරන්නට සමස්තයක් ම ලෙස රජය අසමත් වී තිබියදී සෞඛ්‍ය අංශය ගැන විශේෂයෙන් කතා කිරීම තේරුමක් නැත.


රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, රජය විසින් 2010 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවට අනුව සෞඛ්‍ය සේවාව සදහා වෙන් කළ මුදල රුපියල් බිලියන 53කි. එනම් රුපියල් කෝටි 5300කි. නමුත් 2009 වර්ෂයේ අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 58.6කි. එනම් රුපියල් කෝටි 5860කි.


මෙම තත්ත්වය අනුව 2009 වර්ෂයට සාපේක්ෂව 2010 වර්ෂය සදහා සෞඛ්‍ය සේවාවට රුපියල් කෝටි 560ක මුදලක් අහිමි කර ඇත. රෝගීන් ප‍්‍රමාණය වැඩි වීම, කාර්යමණ්ඩල වැඩිවීම, නඩත්තු සදහා ඉහල වියදමක් දැරීමට සිදුවීම, ඖෂධ හා වෙනත් වෛද්‍ය උපකරණ හා සේවාවන් සදහා ගෙවිය යුතු ප‍්‍රතිපාදන වැනි සියලූ තත්ත්වයන් වල වටිනාකම සෞඛ්‍ය සේවාව තුළ දිනෙන් දින වර්ධනය වන තත්ත්වයක් තුළ 2010 වර්ෂය සදහා 2009 වර්ෂයේ වෙන්කළ මුදලට වඩා වැඩි ප‍්‍රතිපාදන ප‍්‍රමාණයක් වෙන් කළ යුතු වුවද එසේ නොවීම බලවත් ගැටලූවකි.


මෙම අහිමිවීම නිසා මෙම වසරේ ඔක්තෝබර් මාසය පමණ වන විට සෞඛ්‍ය ක්ෂත‍්‍රය තුළ මුල්‍ය අර්බූධයක් හට ගනු ඇතැයිරජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සැක පහළ කරයි.


දැන් ඩෙංගු මර්දනයේ මුළු බලාපොරොත්තුව ම ඇත්තේ ශ්‍රී‍්‍ර ලංකා කාර්මික තාක්ෂණික ආයතනයේ බලපත්‍රය යටතේ බයෝ පවර් ලංකා නම් සමාගමක් විසින් මෙම මස තුළ වෙළඳපොලට නිකුත් කරන බව කියන බැක්ටීරියාව තුළ ය. මහජනතාව බැක්ටීරියාව වෙළඳපොලෙන් මිළ දී ගෙන තම පරිසරයේ මදුරු මර්දනය කර ගත යුතු ය. ආණ්ඩුව නිදහස් ය. බදු මුදල් ඉතිරි ය. එයින් දේශපාලකයන්ට සැප විඳීමට පුළුවන.



Bacillus thuringiensis variety israelensis නම් වන මෙම බැක්ටීරියාව මදුරු පිළවුන්ට ඇතුළු වී ඔවුන් ආසාදනය කර මරා දමයි. එය වෙනත් ජීවීන්ට අහිතකර නැති බව කියවේ. 


බැක්ටීරියාව, එන්න! අප මේ මාරක මදුරුවාගෙන් හා ඌට සහාය දෙන ආණ්ඩුවෙන් ගලවා ගන්න! හරි නම් මේ රටේ සෞඛ්‍ය ඇමති විය යුත්තේ ඔබයි.


අපි බැක්ටීරියාවට! බැක්ටීරියාව අපට!
Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා