විමල් වීරවංශ, රෝහිත භාෂණ: සිංහල, දෙමළ ජාතිවාදයන්ට වමෙන් දන් දුන් පුද්ගල සම්පත් දෙකක්

(2010 ජුනි 08, W3Lankaපසුගිය දිනෙක රාමචන්ද්‍ර සහෝදරයා විසින් පළ කර තිබුණු අදහසක් මෙසේයි: 


දැන් රාජපක්ෂ රෙජිමය නව ලිබරල් මාදිලිය දෙස හැරිල ඉන්න බව පැහැදිලියි.මේ සංවර්ධන මාදිලිය දකුණු අමෙරිකානු රටවල පට්ට ගහපු එකක් බවත් ඒවා ඇතුලෙ ඒ රටවල සිදුවුන ආශ්චර්ය කොයිවගේ එකක්ද කියලත් අපි දන්නව.මෙය දිලින්දන් හා පීඩිතයන් තවදුරටත් සමාජ කවයේ මුල්ලකට තල්ලු කරල දාන සුළුතරයකගේ මනදොල පිනවන මාදිලියක්ය යන්න ගැන ( කවර නිකායකට අයත් වුවත්) වාමාංශිකයන් අතර පොදු එකගතාවක් තියනව කියල මම හිතනව.


මගේ ප්‍රශ්නය - රාජපක්ෂගේ මේ දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියේ වාමාංශික කොටස් ( මෙතන මම වම කියන වචනය ඉතාම ලිහිල් තේරුමකින් යොදාගන්නෙ) ගන්න ඕ‍නෙ කියල ඔබ කල්පනා කරන ප්‍රායෝගික ආස්ථානය මොකක්ද?


උදා-ජලය බහුජාතික සමාගම් වලට විකුණන්න යනවා නම් සමහරු කියන විදිහට ඒක ධනවාදී "ප්‍රගතිශීලි" පියවරක්ය කියල පිලිගැනීමද?නැත්නම් ඒකට එරෙහිව ඉන් පීඩාවට පත්වන කොටස් වෙනුවෙන් පෙනී සිටීමද?


මේවා ධනවාදී ප්‍රගතිශීලි පියවර නම් "ප්‍රගතිශීලි" වැඩවලට වාමාංශිකයන් විරුද්ධ විය යුත්තේ ඇයි? මේකෙ තර්කානුකූල අන්තය වෙන්නෙ ධනේශ්වර ප්‍රතිසංස්කරණ කරමින් "ප්‍රගතිශීලි" වැඩ කරන රාජපක්ෂ ආණ්ඩුවට වම සහය දිය යුතුයි කියන එක නේද?


මේ අවුල එන්නෙ මෙතන වැඩවසම්වාදයට එරෙහිව ධනවාදය පන්නයේ ගැටුමක් තියනව කියල හිතාගෙන ඉන්න හින්ද.මෙතන ඇත්තටම තියෙන්නෙ ධනවාදයේ ආකෘතින් අතර ගැටුමක් මිස වැඩවසම්වාදය-ධනවාදය පන්නයේ අවුලක් නෙමෙයි.නව ලිබරල් ආකෘතියට ගියත් රාජපක්ෂ රෙජිමයේ වැඩවසම් සංස්කෘතික ලක්ෂණ ඒ විදිහටම තියෙයි.ලංකාවේ මහා ලිබරල්වාදියා විදිහට ඉන්න රනිල් වික්‍රමසිංහ පවා ඔහුගේ පක්ෂය ඇතුලෙ අරගෙන යන වැඩවසම් ඒකාධිපති පන්නයේ පාලනය සලකල බලන්න.


සුබසාධන ලක්ෂණ ශේෂ වුන ධනවාදයක ඉඳල ඒ ලක්ෂණ නැති උග්‍ර ධනවාදයකට මාරු වෙන්න උත්සාහ දරන අවස්ථාවක වම කරන්න ඕනෙ මේ ආකෘති වර්ණනා කිරීම නෙමෙයි ‍මේ ආකෘති දෙකටම විරුද්ධ විකල්පයක් වෙනුවෙන් පෙනී සිටීම කියලයි මම හිතන්නෙ.


ඔබ‍ගේ ලෙනින් සම්බන්ධ ස්ථාවරය කුමක්දැයි මම දන්නෙ නැහැ.නමුත් මීටත් වඩා වැඩවසම් ලක්ෂණ පැවති 1917 අප්‍රේල් රුසියාව ඇතුලෙ විප්ලවීය වෙනසකට ලෙනින් යෝජනා කල වැඩපිලිවෙල සලකලා බලන්න.ධනේශ්වර ක්‍රමය විසින් කළ යුතු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ( උදා - ගොවිජන ප්‍රශ්නය,ජාතික ගැටලුව) විසඳීමේ කර්තව්‍යය සමාජවාදී විප්ලවය විසින් භාරගත යුතුය - මේ තමයි ඒ වැඩපිලිවෙලේ හරය.


රාමචන්ද්‍ර විසින් මතු කරන ලද ඉහත සඳහන් අදහස අප විසින් ආරම්භ කර ඇති සංවාදය ඉදිරියට පවත්වාගෙන යාමට ලොකු තල්ලුවකි. ඔහු විග්‍රහ කරන ආකාරයට ලංකාවේ මේ මොහොතේ ඇත්තේ ධනවාදයේ ආකෘතීන් දෙකක් අතර ගැටුමක් වන අතර ආකෘති දෙක ම විසින් වැඩවසම් ලක්ෂණ නඩත්තු කරනු ලැබේ. 


එහෙත්, නව ලිබරල්වාදී ගෝලීය ධනවාදය සමග ලංකාවේ ජාතිකවාදී ධනවාදයේ සම්බන්ධකම් ශක්තිමත් වන විට වැඩවසම් ලක්ෂණ රැක ගැනීමේ සංරක්ෂණවාදය අර්බුදයට ලක් වෙනවා. 


උදාහරණයක් ලෙස, 2016 වන විට ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමේ ආණ්ඩුවේ අරමුණ තුළ, මේ ආණ්ඩුවේ ම දෘෂ්ඨිවාදීමය පදනම් තුළ පවතින නලින් ද සිල්වලාගේ හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ස්ත්‍රී කලිසම් විරෝධය අර්බුදයට යනවා. නලින් ද සිල්වාට හා විශ්ව විද්‍යාල හරහා බිහි වන සුළු ධනේශ්වර ඊනියා වෘත්තිකයන්ට මහජන මුදලින් වැටුප් ගෙවන්න ලංකා‍ව අනිවාර්යයෙන් ම සුද්දන්ට විකිණිය යුතු නිසා නලින් ද සිල්වලාගේ සංස්කෘතික සංරක්ෂණවාදය දැවැන්ත අර්බුදයකට යනවා. 


ආර්ථිකයේදී මෙහි තත්වය වඩාත් සංකීර්ණ ප්‍රතිඵල ඇති කරනවා. දැන් පවතින ක්‍රමය තුළ ගොවීන් යයි කියන අර්ධ කාලීනව ගොවිතැනේ යෙදෙන දිළින්දන් රැක ගැනීම සඳහා යයි කියමින් පස, ජලය හා ඔක්සිජන් හැර අන් සියල්ල ම පිටරටින් ආනයනය කරමින් ලාභය බහුජාතික සමාගම්වලට ලබා දෙමින් පවත්වාගෙන යන ගොවිතැන ආහාර වෙළඳපොල විවෘත කළොත් දැඩි අර්බුදයකට ලක් වෙනවා. ඉන්දියාව වැනි ආහාර මිළ අඩු තැන්වලින් ආහාර ලංකාවේ වෙළඳපොලට පැමිණියොත් ලංකාවේ කෘෂිකර්මාන්තයේ දැවැන්ත විපර්යාසයක් වෙනවා. එතකොට ගොවියා, ගම, කුඹුර, වැව‍, දාගැබ ආදී වැඩවසම් සංකේතත් අර්බුදයට පත් වෙනවා. 


අප කියන්නට උත්සාහ කරන්නේ ඔබ කියන අන්දමට වැඩවසම් ලක්ෂණ නඩත්තු කිරීම ධනේශ්වර පාලකයන්ට අපහසු වන බවයි. ඒවා නඩත්තු කිරීම ඔවුන්ගේ අවශ්‍යතා ලේඛනයෙන් ගිලිහී යනවා. 


නව ලිබරල් ධනවාදය ප්‍රගතිශීලී යයි කීම මෙහි අරමුණ නොවෙයි. මේ ධනවාදී වැඩසටහන් දියත් වන්නේ දිළිඳුකම නැති කිරීම මුවාවෙන් වුණත් ඒවායින් ඇත්තෙන් ම සිදු වන්නේ ඇති-නැති පරතරය තව තවත් වැඩි වීම බවට උදාහරණ ලෝකයෙන් ඕනෑ තරම් සපයා ගත හැකියි. 


එහෙත්, යම් නිශ්චිත පසුගාමී ලක්ෂණ අබියසදී ධනවාදය ප්‍රගතිශීලී වෙනවා. නිදසුනක් ලෙස, මේ මොහොතේදී චම්පික රණවක තමන් කලින් සරණ ගොස් සිටි නලින් ද සිල්වා නම් ශාස්තෲවරයා අතහැර බැසිලියානු නව ලිබරල් ධනේශ්වර වැඩසටහන තුළ සිය ජාතිකවාදී ව්‍යාපෘතිය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂාකාරී වෙනවා. බැරි වුණොත් ඔහුත් රෙද්ද බැනියම විතරක් ඉතිරි කරගෙන අනෙක් සියල්ල ධනවාදයට භාර දෙන්න ඉඩ තියෙනවා. රෙද්ද බැනියම කියන්නේ ඡන්ද වෙළඳපොළේ ප්‍රතිරූප අර්ථකථනයට ප්‍රචාරණ සමාගම් විසින් භාවිතා කරන මෙවලමක් පමණයි. නලින් ද සිල්වා රෙදි බැනියම් නො ඇන්දාට සිංහල බෞද්ධ කතිකාවේ පියා ඔහුනේ. කලින් චම්පික කළ කාර්යයට දැන් අනුරුද්ධ ප්‍රදීප් ආදේශ වෙමින් ඉන්නවා.  


හැමදාම චම්පික දිහා බලාගෙන හැඩ වැඩ වුණ ජවිපෙට දැන් මොකද වෙන්නේ? අනුරුද්ධ ප්‍රදීප් දිහා බලන්න ද? ජවිපෙට සිංහල ජාතිවාදය අතහැර දමන්නට සිදු වෙනවා නම් එය ලංකාවේ වමේ විශාල ජයග්‍රහණයක්. 


කුමන සංදර්භයක් තුළ හෝ සිංහල හා දෙමළ ජාතිවාදී ව්‍යාපෘති අසාර්ථක වෙනවා නම් එය ඉතා ප්‍රගතිශීලීයි. මේ ජාතිවාදී ව්‍යාපෘති දෙක අන්‍යෝන්‍යව යැපෙමින් ලංකාවේ සමාජයට කළ හැකි උපරිම විනාශය කළා. මේ ජාතිවාදයන් වමට කළ විනාශය අති විශාලයි. 


හිරු පුවත්පතේ සිටි ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් දෙදෙනෙකු වන විමල් වීරවංශට හා ඔහුගේ පැරණි අතිජාත මිතුරකු වන රෝහිත භාෂණට සිදු වූ දෙයින් මෙය කදිමට නිරූපණය වෙනවා. විමල් වීරවංශව සිංහල ජාතිවාදය විසින් අරලියගහ මන්දිරයේ අවතැන් කරද්දී දෙමළ ජාතිවාදයේ ප්‍රගතිශීලී හරයක් සොයන්නට ගිය රෝහිත භාෂණට රටින් පිට වන්න සිදු වුණා. 


ගෝලීය ධනවාදය සමග සටන් කරන්නට සිංහල හා දෙමළ ජාතිවාදයේ කොඩි එසවූ මේ දෙන්නා ම වාමාංශය වෙනුවෙන් කළ හැකි කාර්යභාරය අමතක කළා. ඇත්තෙන් ම කීවොත් වමට තිබුණු දීප්තිමත් පුද්ගල සම්පත් දෙකක් නාස්ති වුණා. 


ගෝලීය ධනවාදය විසින් ලංකාවේ ඇති කරන තත්වය වර්ණනා ‍කරමින් හෝ පැත්තක ඉඳගෙන පරණ පොත් පෙරළ පෙරළා ලෝකේ ඉන්න හා හිටි විවිධ දාර්ශනිකයන් කියූ දේ හොය හොයා ඉඳීම නොවෙයි වම විසින් කළ යුතුව තිබෙන්නේ. සිංහල හා දෙමළ ජාතිවාදයන් නැවත මතු වීමට ඇති සියලු ඉඩ අවුරා දමන්න මේ අවස්ථාව පාවිච්චි කරන්න වමට පුළුවන්. එය ප්‍රගතිශීලී කාර්යයක් නොවේ යයි තර්ක කරන්නේ කොහොමද? 


දෙමළ, සිංහල, මුස්ලිම් ආදී පටු අනන්‍යතාවන් ඉක්මවා යන ලාංකික අනන්‍යතා ප්‍රකාශනයක් වෙත මේ රටේ දේශපාලන ප්‍රජාව තල්ලු කිරීම සඳහා වැඩ කරන්න වම උත්සාහ ගත යුතුයි. 


මහින්දලා, බැසිල්ලා, රනිල්ලා කරන දේ දිහා බලාගෙන අපි ඕවට නෑ කියන එක නෙමෙයි වමේ කාර්යය. දී තිබෙන සංදර්භය තුළ සමාජයේ කළ හැකි කුමන හෝ ප්‍රගතිශීලී සමාජ ප්‍රතිසංස්කරණවලට උර දීමයි වමේ කාර්යය. 


(මතු සම්බන්ධයි. සංස්කරණයට යටත් ය. අදහස්වලට ඉතා විවෘතයි.) 

Comments

  1. මට නම් මේ සංවාද පෙනෙන්නේ සමාජ හා දේශපාලන විද්‍යාව හදාරා ඇති එකම පවුලේ (තම තමන් කලින් දන්නා හඳුනන ) පිරිසක් අතර, තම තමන්ගේ දේශපාලන ඥාණය (භාශා දැනුම පමනක්ද විය හැකිය ) විග්‍රහ කෙරෙන වේදිකාවක් ලෙස මෙම බ්ලොග් අවකාශය යොදා ගන්නව විනා වෙනත් වැදගත් යමක් රටට සිද්ද නොවන වගයි.

    සමාජ ප්‍රශ්න වෙන වෙනම ගෙන හා ඊට අදා විසඳුම්ද ප්‍රයෝගික තලයක සිට කතා කරන්නේ නම් මීට වඩා වැදගත් වැඩක් මින් කල හැකි බව මාගේ හැඟීමයි.

    ප.ලි: සෑම මතෘකාවක්ම ඉහත ගණයට නොවැටෙන බවද පිලිගනිමි.

    ReplyDelete
  2. //නලින් ද සිල්වලාගේ හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ස්ත්‍රී කලිසම් විරෝධය අර්බුදයට යනවා.//

    මේකතාව ඇත්තද?
    අන්තරේට හොඳටම පිස්සුද?
    නලින්ට පිස්සු කියලා දන්නවා, අන්තරෙටත් බාගෙට පිස්සු කියලා දැනන් හිටියා)
    ගැනු ලමයින්ගේ අඳුම ගැන හොයාන මිනිස්සු සැබෑ ප්‍රශ්න ගැන ගන්නවා ඇත්තේ මොන්වගේ තීරනද
    අපේ විශ්ව විද්‍යාලවලට දෙවියන්ගේම පිහිටයි

    ReplyDelete
  3. @ sahan

    මේකනෙ මහත්තයා.වාමාංශික දේශපාලනයක් කියල එකක් තියනව.ඒකෙ උදවිය වාද විවාද කරගන්නව.ක්‍රියාමාර්ග ගැන කතා කරනව.යූඇන්පියේ හරි ශ්‍රීලනිපයේ හරි වගේ දෙන දෙයක් කාල පෝස්ටර් ගහන දේශපාලනේට වඩා ඒකේ බුද්ධිමය යමක් තියනව.ඒවට හුරු නැති අයට ඒව අබ්ලික් වගේ තමයි.මොනව කරන්නද.මෙහෙම ඒවත් ඉතින් ලෝකෙ තියනව කියල තේරුම් ගන්න.

    ReplyDelete
  4. i would like to point out that you cant compare Rohitha bashana to wimal weeravansa.wimal weera wansa is TAKKADIYA.Bashana is diferent caractere.accoding to my opinion he has been representing oppressed people.according to my knowlage that can be a leftist politic?

    ReplyDelete
  5. //යූඇන්පියේ හරි ශ්‍රීලනිපයේ හරි වගේ දෙන දෙයක් කාල පෝස්ටර් ගහන දේශපාලනේට වඩා ඒකේ බුද්ධිමය යමක් තියනව.// - 100%

    ReplyDelete
  6. හැබෑටම එහෙම දෙයක් තියෙනවද? අහගෙන ඉන්න නම් ලස්සනයි. හැබැයි ප්‍රයෝගික නැහැ. අදට ගැලපෙන විදියට පරිනාමය වෙලා නැහැ. ඉතින් ලෝකෙන් තුරන් වෙලා යන එක පුදුමයක් නෙමෙයි. ඔය මහත්තුරු කතා කර කර ඉන්න. හැබැයි අපි යනවා. " ඉදිරියට.....! "

    ReplyDelete
  7. ඔය හැමදාම කයිවාරු ගහපු වාද විවාද කරපු අන්තිමේ ධනපති පාලකයන්ගෙ තුරුලෙම නිදාගත්ත වාමාංශිකයො තරම් මේ රටේ මිනිස්සුන්ව රවටපු,මිනිස්සුන්ට බොරු කියපු,මිනිස්සුන්ව හීන තුල අතරමං කරපු කොට්ඨාශයක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා