මෙන්න ලංකාවට තවත් විශිෂ්ඨ පළමු ස්ථානයක්? | Another first for Sri Lanka?

(2010 ජුනි 10, W3Lankaලෝකෙන් වැඩි ම, ඉහළ ම, වැඩි ම ආදී ස්ථාන ලබා ගන්න ලංකාවේ පාලකයන් හරි කැමතියි. අපි තමයි ලෝකෙ පළමුවෙනි අගමැතිනිය බිහි කළ රට. එහෙම වුණේ ලංකාව ගැහැනුන්ට සම තැන දෙන දියුණු රටක් නිසා ද? නැහැ, පාලකයෙකු මැරුණා ම ඔහුගේ උරුමය පුතාට හෝ පුතා ලොකු වන තුරු බිරිඳට හෝ හිමි විය යුතු යයි සිතන පසුගාමී රටක් නිසා. 


ලංකාවේ ජනගහණයෙන් 53%ක් ගැහැනු. ඒත්, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක්වත් නැහැ. පළාත් සභාවල තත්වය මීටත් අන්තයි. ලංකාවේ විප්ලවවාදී යයි කියන දේශපාලන පක්ෂවල පවා දේශපාලන මණ්ඩලයක කාන්තාවක් සිටි බවට තොරතුරු නැහැ. එහෙම ඉන්න පුළුවන් මට්ටමක හිටිය එක ම කාන්තාව අප දන්නා හැටියට නම් විවියන් ගුණවර්ධනයි. එහෙත්, අප දන්නා තරමින් ඇය හෝ සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සිටියේ නැහැ. වැරදි නම් නිවැරදි කරන්න.


ඒ වුණාට අපි හරි කැමතියිනේ, අපි ලෝකයේ පළමු තැන ලබා ගන්න අංශ ගැන කතා කරන්න. ලෝකයේ පළමු තැන ලබා ගැනීමේ පිස්සුව නිසා අපේ මිනිස්සු තම තමන්ට පුළු පුළුවන් හැටියෙන් එක එක විකාර කරලා ගිනස් වාර්තා තියනවා. ඔන්න දැන් ලෝකයේ පළමු තැන සඳහා උත්සාහ කරන්න පුළුවන් තවත් මාර්ගයක් තියෙනවා. 


ලෝකයේ වැඩියෙන් ම හිරෙන් පැන යාම් වාර්තා වන රට බවට පත් වන්න ලංකාවට පුළුවන්. බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන අනුව 1999 සිට 2009 දක්වා වසර දහය තුළ ලංකාවේ සිරකරුවන් 2453ක් සිරගෙයින් පළා ගිහින්. ඒ අතරින් 1563ක් පමණ අත්අඩංගුවට අරගෙන. 900ක් පමණ දෙනා තවම නිදැල්ලේ ඉන්නවා. 


2004 වසරේ පමණක් බන්ධනාගාරයෙන් පළා ගිය සිරකරුවන් ගණන 541ක්. එයින් 447ක් ම තවම අත් අඩංගුවට අරගෙන නැහැ. 


ගිය සතියේ මාළිගාකන්ද උසාවියේ සිර මැදිරියෙන් සිරකරුවන් 11ක් පළා ගියා. තවම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අටයි. 


සිරෙන් පැන යාම පිළිබඳ සංඛ්‍යා දත්ත අභිභවා යන්න පුළුවන්කමක් ලෝකයේ තිබෙනවා නම් අපි හිතන්නේ ලෝකයේ ම තවත් උදාහරණ තිබෙන්නේත් ලංකාවේ. 2009දී රජය යුද මුක්ත කලාපයක් ලෙස නම් කර දිගට හරහට පහර දුන් වන්නියේ එල්.ටී.ටී.ඊ. එළිමහන් සිරගෙයින් සිවිල් වැසියන් පළා යාම හෙවත් රජය විසින් 'මුදා ගැනීම' එක උදාහරණයක්. 


යාපනයේ මිනිස්සු කියන පරිදි ඔවුන් ඒ-9 පාර වැසුවාට පසු ඔවුන් සිටියේත් එළිමහන් සිරගෙදරක. එයින් කීදෙනෙක් පළා ගියා ද දන්නේ නැහැ. 

Comments

  1. ළංකාවේ තියෙන දූෂිතම ආයතනය පොලෝසිය කියල නේ කියන්නෙ. මොන බොරුද. හිර ගෙවල් තමයි නොම්බර එක. මරණ දඬුවම හම්බ වෙච්ච ඒවුන් ගෙදර ගිහිල්ල ඔක්කොම කරළ එනව..

    අපි මේ ගැන සමීක්ෂණයක් කාළා කාලේකට පෙර, දැන් තත්වය ඊට වඩා දරුණුයි. බොරුනම් වැඩ තහනම් කරපු ඒවුන්ගේ වත්කම් හොයල බලන්න. පාතාලය මෙහෙයවන්නෙ මෙතනින්...

    ReplyDelete
  2. දැනට අවුරුදු දෙකකට විතර කලින් අපි එක හිරගෙදරක මරණ දඩුවම නියම වුන හිරකරුවන් රදවල තියෙන තැනට ගියා, එතන හිටිය හිරකාරයෝ හැමෝම ගාව හෑන්ඩ් ෆෝන් තිබුනා.

    ReplyDelete
  3. @ thidas

    oya law student kenekda?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා