ටැබූ සබ්ජෙක්ට්ස් පට්ට ස්ටාලින්වාදියෙකි | taboosubjects is a Stalinist

(2010 මැයි 02 - W3Lanka)
"Our own actions are our security, not others' judgments."
George Herbert, 1593 - 1633


අපේ ආරක්ෂාව වන්නේ අපේ ම ක්‍රියාවන් මිස සෙස්සන්ගේ විනිශ්චයන් නොවන බව ඉහත ප්‍රකාශයේ අදහසයි. ටැබූ සබ්ජෙක්ට්ස් පිළිබඳ ලියන්නට සිතමින් සිටියදී මගේ මිතුරියක විසින් මෙම කියමන සහිත විද්‍යුත් ලිපියක් එවා තිබිණි.


මම යමක් ලියද්දී සාමාන්‍යයෙන් මෙවැනි ආප්තෝපදේශ යොදන්නේ කලාතුරකිනි. එවැන්නක් යෙදීම ලේඛනයට පණ්ඩිතමානීකමක් දෙයි. අද කාලයේ එවැනි ආප්තෝපදේශයක් සොයා ගැනීම සඳහා බොහෝ සේ කියවූවකු වීමට අවශ්‍ය නැත. අන්තර්ජාලයේ මේවා අඩංගු වෙබ් අඩවි ඕනෑ තරම් තිබේ. එබැවින් ෂේක්ස්පියර්ගේ කියමනක් උපුටා දක්වන අයෙකු හොඳින් ෂේක්ස්පියර් සාහිත්‍යය කියවූ කෙනෙකු වීම අත්‍යවශ්‍ය නැත.


ලිවීම පිළිබඳ මා බොහෝ කලකට ඉහතදී කියවූ ඉංග්‍රීසි ලිපියක තිබූ ගුරුහරුකමක් මම අදත් පිළිපදිමි. එයින් කියැවුණේ කතා කරන කරුණ පිළිබඳ අනුන් කියන දේ නොව ඔබ කියන දේ කුමක්ද යන්න පැහැදිලිව කියන ලෙසයි.


පසුගිය වසරක පමණ කාලයක් තිස්සේ මෙම අඩවිය හරහා ලංකාවේ සිදු වන විවිධ සිදුවීම් පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබේ. ඒ ඔස්සේ විවිධ සංවාද ද ගොඩනැඟිණි. අප විශේෂයෙන් ම කළ දෙය වන්නේ අධිපති මාධ්‍ය විසින් ගොඩනැඟීමට උත්සාහ කරන අදහස් ප්‍රශ්න කිරීමයි. අප එය කරන්නේ මේ මොහො‍තට අදාළ දේශපාලනයක් ලෙස සලකායි.


ටැබූ සබ්ජෙක්ට්ස් මෙම කාර්යය අපට වඩා විදග්ධ ලෙස කළ බව මම පිළිගනිමි. ඔහු ඇකැම් කරුණුවලදී අපට ගුරු වූයේය.


කලක් මම එක්තරා විකල්ප දේශපාලන පුවත්පතක කර්තෘ පදවිය දැරීමි. එම පුවත්පත අයත් වූ දේශපාලන කණ්ඩායමේ 'අසහාය' නායකයා මා කර්තෘ පදවියට පත් කළේ මා ඉත්තකු ලෙස තබාගෙන සිටීමටයි. මම එයට එරෙහි වුණෙමි. ‍මා කර්තෘ ලෙස නාමිකව සිටිය ද පුවත්පතේ කතුවැකිය ලිවීම ඉහත කී නායකයා සියතෙහි තබා ගත්තේ ය. මම එයට විරෝධය පළ කළෙමි. පුවත්පතක කතුවැකිය අනිවාර්යයෙන් ම එහි කර්තෘ විසින් ලිවිය යුතු නැති වුවත්, කර්තෘගේ මෙහෙයවීමට අදාළ නොවන්නේ නම් එවිට කර්තෘ යනු කිමෙක්ද යන ප්‍රශ්නය පැන නඟියි. අනෙක් පැත්තෙන් පුවත්පතේ කතුවැකිය දේශපාලන න්‍යාය තොරොම්බල් කිරීමට නොව එදිනෙදා ප්‍රශ්න පිළිබඳ පුවත්පතේ අදහස පළ කිරීමට යොදා ගත යුතු බව මම තර්ක කළෙමි.


මෙම දේශපාලන කණ්ඩායම සමග මා ඇති කර ගත් ගැටුම අවසන් වූයේ මා එතැනින් සමු ගැනීමෙනි. සමු ගැනීමට ආසන්න කාලයේ ඇති වූ සංවාදයේදී මම දැඩි ලෙස ම මගේ විරෝධය ලකුණු කළ කාරණයක් වූයේ 'දන්න අය' ලෙස ස්වයං මෝහනයට පක් වී සිටින පිරිසක් සමාජයට ඉහළින් සිටිමින් සමාජය හසුරුවන්නට දරන උත්සාහයයි. වාම දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම් ශක්තිමත් විය යුතු බව අපි පිරිසක් තර්ක කළෙමු.


මා එම දේශපාලන කණ්ඩායමෙන් ඉවත් වන සමයේ මට පහර ගැසූ එහි සාමාජිකයන් කී එක් කාරණයක් වූයේ 'ඌට කර්තෘකම ඕනැ වුණා,' කියා ය. ඔවුන්ගේ එකඟත්වය මත මා පුවත්පතේ කර්තෘ ලෙස පත් කර සිටි බව ඔවුන්ට අමතක වී තිබිණි.


අප අන්තර්ජාල ජනමාධ්‍යවේදය වෙත පිවිසුණේත්, අනාගත මාධ්‍යයක් ලෙස එහි විභවයන් හඳුනා ගත්තේත්, විකල්ප අදහස් සන්නිවේදනය සඳහා අන්තර්ජාලය යොදා ගැනීමට පෙළඹුණේත් මෙම කැඩී‍ වෙන් වීමත් සමගයි. මේ වන විට අපගේ දේශපාලන කණ්ඩායම් විසිර ගොස් තිබේ. වාම දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම් පමණක් නොව සමස්ත ලාංකීය සමාජයේ ම ප්‍රජාතන්ත්‍රවාදී පදනම් ශක්තිමත් කිරීම වර්තමානයේ වැදගත් ම දේශපාලන කාර්යය බව මම විශ්වාස කරමි. තනිව හෝ ඒ වෙනුවෙන් සටන් කරමි.


වමේ ව්‍යාපාරයේ වර්තමානයේ සක්‍රියව සිටින කිසිවෙක් තමන් ස්ටාලින්වාදියෙකැයි ප්‍රසිද්ධියේ හඳනා ගන්නේ නැත. ස්ටාලින්ගේ රූප වන්දනාව කළ ලංකාවේ එකම වාම පක්ෂය වන ලංකා කොමියුනිස්ට් පක්ෂය හෙවත් චීන පිල දැන් අක්‍රිය ය. එහි වෘත්තීය සමිති නායකයකුව සිටි වරාය කම්කරුවකු වූ බෙනඩික් සහෝදරයාගේ පුතකුට ඔහු විසින් තබන ලද නම ජෝසප් ස්ටාලින් ය. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් හා වාමාංශික ක්‍රියාධරයකු වන ජෝසප් ස්ටාලින් පවා තමා ස්ටාලින්වාදියෙකැයි පවසන්නේ නැත. ඔහු ඇසුරු කරන සියලු දෙනා ඔහු හඳුන්වන්නේ ජෝසප්, ජෝ හෝ ජොසා ලෙසමුත් ට්‍රොස්කිවාදී සමාජවාදී සමානතා පක්ෂයේ අය උපහාසාත්මක අරුතකින් ඔහුට ස්ටාලින් ලෙස අමතති.


අප දන්නා තරමින් නම් ලංකාවේ වමේ ව්‍යාපාරයේ ඉන්න තරමක් ඉන්නේ ස්ටාලින්වාදීහු ය. මේ ස්ටාලින්වාදීන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ තමන් මේ සමාජයට කළ යුත්තේ කුමක්දැයි දන්නා, ඒ සඳහා ඉතිහාසය විසින් පවරන ලද විශේෂ වගකීමක් සහිත, ඒ වෙනුවෙන් අවංකව කැප වී සිටින නිසා ලංකාවේ විප්ලවය කිරීමේ පේටන්ට් අයිතිය තමන්ට පමණක් හිමි යයි සිතාගෙන සිටින පිරිසක් වීමයි. අපට සිතෙන අන්දමට නම් මේ අයගේ හිස් කුහර තුළ භින්නෝන්මාදී ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබේ. සායනික ප්‍රතිකාර අවශ්‍ය පිරිසක් සමග තරහ වීමෙන් හෝ ඒ අය සමග ලංකාවේ සමාජය වෙනස් කරන්නට දේශපාලනය කළ හැකි යයි විශ්වාස කිරීමෙන් හෝ පළක් නැති බැවින් අපි දැන් වෙනත් පාරක් සොයමින් සිටින්නෙමු. අපි යන වදන මා මෙහි භාවිතා කරන්නේ මෙසේ සිතන්නේ හා කටයුතු කරන්නේ මා පමණක් නොවන නිසා ය.


වාසනාවකට මෙන් මේ අය සිංහල බ්ලොග් අවකාශයේ දක්නට නැත. හේතුව ලංකාවේ විප්ලවය කරන හැටි දන්නාමුත් සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නට නොදන්නා නිසා ය. අන්තර්ජාලය ධනේශ්වර උගුලක් ය යන තර්කය ඔවුහු විචිත්‍ර ලෙස ඉදිරිපත් කරති. එහෙත් මෑතක සිට ඔවුහු සෑමදෙනෙක් ම පාහේ ලොකු ම උගුලක් වන ෆේස්බුක්හි සිටිති.


මේ කිසිවක් ටැබූ සබ්ජෙක්ට්ස්ට අදාළ නැති වන්නට පුළුවන. මේ දීර්ඝ ලිවීම කියවීමට වෙලාව නැති තරම් කාර්යබහුල ලංකාවේ සරසවි ඇදුරකු නිසා ඔහු මේ වන විට මෙය කියවීම ද අතහැර දමා තිබෙන්නට පුළුවන. එහෙත් මට කීමට අවශ්‍යව ඇති කාරණය වන්නේ දෘෂ්ඨිවාදීමය වශයෙන් ධනවාදියකු යයි කියන ඔහු තුළ අඩංගු වන්නේ පූර්ණ ස්ටාලින්වාදියකු සතු ලක්ෂණ බවයි. ඔහු සියල්ල හරියට ම දනියි. එනම්, පරම සත්‍යය කියා දෙයක් ඔහු දන්නේ ය. ඔහු එහෙයින් උත්තරීතර ය. ඔහුට අනෙක් අය සමග සංවාදයක් නැත. එහෙත්, ඉතිහාසය විසින් පවරා තිබෙන කාර්යභාරය හේතුවෙන් ඔහු තමන් දන්නා දෙය සෙසු හුදී ජනයන්ට දේශනා කරයි. ඔහු සත්‍යය බැවින් අප වැනි පෘථග්ජනයින් ඔහු කියන දේ පිළිගත යුතු ය.


මේ මනෝභාවය පිළිබඳ අපට තිබෙන අත්දැකීම් සම්භාරය අති විශාල ය. දෘෂ්ඨීවාදීමය ලෙස ධනවාදියකු නම් ඔහු පළමුකොට ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හැදෑරිය යුතු ය. ලාංකීය සමාජය වසාගෙන පැතිරී තිබෙන ස්ටාලින්වාදය නමැති රෝගයට ඇති ප්‍රතිකාරය ප්‍රජාතන්ත්‍රවාදයයි. ලංකාව හා ලෝකය මීට වඩා යහපත් තැනක් බවට පත් කිරීමේ මාර්ගය වසා ඇති දොරටුවේ යතුර ද ප්‍රජාතන්ත්‍රවාදයයි.


ප්‍රජාතන්ත්‍රවාදයට ආගමික කර්තෘන් නැත. එය කන්ද උඩ සිට කරන දේශනාවක් නොව සමාජ භාවිතාවකි. ප්‍රජාතන්ත්‍රවාදය පැන නඟින්නේ පහළිනි. බිම් මට්ටමෙනි. අප වැනි මෝඩයන්ගෙනි. මෝඩයන් වීම පිළිබඳ අසතුටක් අපට නැත. මන්ද අප මෝඩයන් බව අප දන්නා බැවිනි. මෝඩකම නැති කර ගැනීමට අපට පුළුවන් යයි අප සිතන්නේ අප මෝඩයන් බව දන්නා හෙයිනි.
-අජිත් පැරකුම් ජයසිංහ, කර්තෘ W3Lanka

Comments

  1. එක එකාට බැනලා උබලා වැප් කිව්වොත් උබෙ බැනිල්ල නිසා හිට්ස් බහිනවා කියලා උබව ලංකියෙන් අයින් කරයි මට උනෙත් එහෙමයි

    ReplyDelete
  2. මේ දේශපාලන කියවීමක් මිස බැන අඬගැසීමක් නොවේ. මොකෙන් අයින් කළත් අප කරන්නේ අප නිවැරැදි යයි සිතන දෙයකි.

    ReplyDelete
  3. තමන් පවසන මතයම නිවැරැදි බවට තහවුරු කිරීමට උත්සාහ කිරීම ඔබ හඳුන්වන්නේ ස්ටාලින්වාදය ලෙසයි. එහෙත් මේ නරුමතාව මෙරට දේශපාලනයේදී කැපී පෙනෙන මෙන්ම තීරණාත්මක සාධකයකි. විරුද්ධ මතය යහපත් දෙයක් වුවද ද්වේශ සහගතවත් අපහාසාත්මකවත් ඉවත හෙලීම අද වෙද්දි මෙරට යථාර්තය බවට පත්වී ඇත. එනයින් බලන කල ඉන්න තරමක් ස්ටාලින්වාදියෝය. ඒත් මේ පිරිහුණු මානසිකත්වයට ස්ටාලින්වාදය ලෙස හඳුන්වන්නේ නැතිව අමු අමුවේම භාවිතා කරන්නේනම් ඔබේ ලිපි මීට වඩා සරල වනු ඇත.
    ප්‍රජාතන්ත්‍රවාදය පැන නගින්නේ බිම් මට්ටමෙන් බවත් අප වැනි මෝඩයන්ගෙත් බවත් ඔබ පවසන විට පූර්ණව එකඟ වෙමි. අපේ මෝඩකම නිසාම තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලේබලය අලවා ඕනිම කහල ගොඩක් අපේ ජීවිත මත හෙලන්න පාලකයින්ට හැකි වුයේ.

    ReplyDelete
  4. Who is this 'taboo subject' Ajith? Is it 'unethical', what ever philosophical meaning that word may, or may not, have, to tell his/her real name?

    ReplyDelete
  5. It is his right to keep his identity in whatever way he likes in this land. He has written facts and ideas that may affect his personality as an ordinary citizen.

    ReplyDelete
  6. "අප අන්තර්ජාල ජනමාධ්‍යවේදය වෙත පිවිසුණේත්, අනාගත මාධ්‍යයක් ලෙස එහි විභවයන් හඳුනා ගත්තේත්, විකල්ප අදහස් සන්නිවේදනය සඳහා අන්තර්ජාලය යොදා ගැනීමට පෙළඹුණේත් " Those of us who bolggs are craving for alternate views which the conventional newmedia fail to produce. This exchage of opposing / dissident/alternate views are often educating , enlghtning and opening the eyes of people like us ( laymens). But i see a diffrent trend these days. Rather than discussing important facts, the discussion falls down to personal level, just a step away from name calling. Eg: W3 Lanka Vs. Taboosubjects; Victor Ivon Vs. Sanath Balasooriya. These dicussion while providing much information which we did not know earlier, also showed the hidden mentalieties, agendas and proved them that they are also just common people like us, not as higher level thinkers as we thought. We enjoy these blogs, alternate new papapers. let us keep the dicussion to facts, rather than brining personalities into the debate.

    ReplyDelete
  7. @prikumara,

    සංවාද ඇතිවන්නේ එක්තරා මට්ටමකට හෝ සමාන චින්තනයක් ඇත්තන් අතරය. උදාහරණයක් හැටියට මම වර්ගවාදීන් සමඟ වාදයට නොයමි. වර්ගවාදය මොළයෙන් නොව හදවතින් මෙහෙයවන්නකි. එහෙයින් ඒ සඳහා කාලය වැය කිරීම නිෂ්ඵලය.

    'ධනවාදය' යනු කවරේද යන්න ගැන මා හා W3 ලංකා බ්ලොග් රචකයා අතර කලකට ඉහත සුහද සංවාදයක් ඇතිවිය. ඒ අප දෙදෙනා අතර යම් හෝ සමානතාවයක් මාදුටු නිසාය. එහෙත් ඔහුගේ අළුත් බ්ලොග් සටහන් දෙස බැලීමෙන් පෙනෙන්නේ මේ සංවාදය නිසා ඔහු සිටි තැනින් දශමයක් හෝ වෙනස් වී නැති බවයි. එහෙයින් මා තවදුරටත් ඒ වෙනුවෙන් කාලය වැය නොකරන බැව් මම ලීවෙමි. (කලින් ලියූ සටහන්ම නැවත ලියන්නේ මන්ද?) රාමචන්ද්‍ර ගැනද කිව යුත්තේ ඒ ටිකය.

    ඒ හැරුණු විට මා ගැන පෝස්ට ලිවීම ගැන මා කිසිවකු සමඟ අමනාපයක් නැත. ඒවා මා ගැන වර්ගවාදීන් ලියන සටහන් වලට සාපේක්ෂව ඉතා හොඳය.

    ReplyDelete
  8. Really?
    You guys at W3Lanka are bankrupt to this level?

    I can't see any logical argument in your post. May be because I'm not smart as you guys. But still I believe it's journalits job to explain things so ordinary people like us can understand things.
    For me this sounds more like yet another mud sling

    ReplyDelete
  9. හැබෑට ටැබූ අන්කල්ට මොකද වුනේ?? බ්ලොග් එක මිසිං නේද?

    ReplyDelete
  10. මෙතන පැරා පැවසූ දේ පසුකාලීන සිදුවීම් හා බලන විට 100% ක් සත්‍ය බව පෙනී යයි

    ReplyDelete
  11. /* ලංකා කොමියුනිස්ට් පක්ෂය හෙවත් චීන පිල */

    මොස්කව් පිළ නේද?

    ReplyDelete
    Replies
    1. ලංකා කොමියුනිස්ට් පක්ෂය කියන එක පාවිච්චි කළේ චීන පිල. ඔවුන්ගේ වෘත්තීය සමිති කාර්යාලයක් හිරු කණ්ඩායම කාලයක් සිය කාර්යාලය විදියට පාවිච්චි කළා. (ඔවුන් එය එසේ පාවිච්චි කරන්නට දුන්නා.) එහි තිබුණු රූප ආදියෙහි මාඕටත් වඩා ප්‍ර‍මුඛස්ථානය හිමි වුණේ ස්ටාලින්ටයි.

      Delete
  12. පැරා අහලා තිතියෙනවාද ස්ටාලින් තමන් ප්‍රජාතන්ත්‍රවාදීයෙක් යැයි කී බවත්, ඔහුත් කාලයක් පත්තරයක කතෘවරයෙක් බවත්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා