ආණ්ඩුව අද ගංවතුර ගැන කරන විශේෂ ප්‍රකාශය මෙන්න | The special statement by Sri Lanka government on floods

(2010 මැයි 20 - W3Lankaවැසි ජලයෙන් කොළඹ නගරය ඇතුළු රට පුරා නගර රැසක් යටවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අද (20) විශේෂ ප්‍රකාශයක් කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන පවසයි.


ඒ විශේෂ ප්‍රකාශය මෙවැනි එකක් වනවාට මෙන්න කැට! (මෙම කතාව සකස් කිරීම සඳහා දිනමිණ පත්තරයේ මැද පිටුවක පළ වන මහින්දගේ ආගිය කතා මහත් සේ ප්‍රයෝජනවත් වූ බව කරුණාවෙන් සලකන්න.)


මහ වැසි ඇද වැටෙන්නේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ගේ වරදක් නිසා නොව විපක්ෂයේ කුහකකම නිසා ය.


'දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හේතුච
පීතෝ භවතු ලෝකෝච
විපක්ෂ නායකයා භවතු ධම්මිකෝ' යයි බුදු බණේ ද කියැවේ.


'විපක්ෂ නායකයා කොටින්ට සම්බන්ධ ය. කොටි ඇමරිකාවට සම්බන්ධ ය. ඇමරිකාවට ගුවන් හමුදාවක් තිබේ. ඒ නිසා ඇමරිකාව අහසට සම්බන්ධ ය. වහින්නේ එහෙම ය. මේ වස්සන්නේ ලංකාව ප්‍රභාකරන් මැරූ සංවත්සරය සමරන එක වළක්වන්න ය. උන්ට වැරදිලා ය. වැස්ස පායපු දාට අපි මේ ගෝත්‍රික උත්සවය පවත්වන්නෙමු. 


'මෙතැන තිබෙන්නේ ඊලාම් කුමන්ත්‍රණයක් බව ඕනෑ ම පොඩි එකෙකුට තේරිය යුතු ය. වැඩි විස්තර විමල් වීරවංශ හා කොළඹ කුණු ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳූ හිටපු පරිසර ඇමති චම්පික රණවක ඇමතිවරුන්ගෙන් අසා ගත හැකි ය. 


'1977 න් පසු එක්සත් ජාතික පක්ෂයේ පාලකයන් විසින් හිතුවක්කාරකම් කිහිපයක් කරන ලදී. පළමුවැන්න ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම ය. දෙවැන්න විවෘත ආර්ථිකය හඳුන්වාදීම ය. තෙවැන්න ඉවක් – බවක් නැති ව පහත් බිම් ගොඩකිරීම ය. ඒ සඳහා රාජ්‍ය ආයතනයක් ද ස්ථාපිත කැරිණි. ‍මේ ක්‍රියාමාර්ග තුන කෙතරම් ප්‍රබල ද කියනවා නම් 1994 සිට 16 වසරක් බලයේ ඉඳලාත් අපේ ආණ්ඩුවට මේ රෙද්දවල් වෙනස් කරන්නට හැකියාවක් නැත.


'1977 ට පෙර රටට ලැබෙන වැසි වතුර ගලාගෙන ගොස් තැන්පත් වන රටාවක් තිබිණි. වගුරුබිම් හා පහත්බිම් ලෙසින් හැඳින් වූ එම ඉඩම් වන සතුන්ගේ ප්‍රයෝජනය සඳහා අත්හැර තිබිණි. ඒ මගින් අපගේ පරිසරය ආරක්ෂා වූ අතර ජල හිඟයකින් තොරව ගොවිතැන් කටයුතු කර ගැනීමේ අවස්ථාව ද උදා විය.


'එහෙත් රණසිංහ පේ‍්‍රමදාස මහතා මේ රටාව පිළිගත්තේ නැත. එතුමා ඇමැති බී. සිරිසේන කුරේ මහතා ද කැටුව පහත්බිම් ගොඩ කරන්නට පටන් ගත්හ. ගොඩ කළ ඇතැම් ඉඩම් ව්‍යාපාරිකයන් සඳහා වෙන් විය. තවත් ඉඩම් වල නිවාස ව්‍යාපෘති ඉදි විය. සිරිසේන කුරේ මහතා ද හොඳම ඉඩමක ගෙයක් තනා ගත්තේ ය. සිරිසේන කුරේ දැන් එක්සත් ජනතා නිදහස් සන්ධාන‍ය හා සම්බන්ධ මිලින්ද මොරගොඩගේ පක්ෂයේ ලොක්කෙකු වුණාට  කන්න ඕනෑ නම් කබරගොයාත් තලගොයා කර ගන්නට අපි දන්නෙමු. 


'මුළු රටේ ම බලය වමට ගියත්, කොළඹ නගර සභාවේ බලය යන්නේ අලියාට හෙවත් එක්සත් ජාතික පක්ෂයට ය.  දීර්ඝ කාලයක් කොළඹ පාලන බලය හිමිකර ගෙන සිටි එක්සත් ජාතික පක්ෂය කොළඹට කළ දෙයක් නැත. 2006දී අපි අනෙක් හැම එකට ම දෙන බැසිලියානු ෂොට් එක කොළඹ නගර සභාවටත් දුන්නෙමු. දැන් 'ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි - කඳු යාය ම අපේ තමයි අපේ රාජ්ජේ' ය. ඒත්, ගංවතුර ප්‍රශ්නය විසඳන්න බැරි කොළඹ මිනිස්සු එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය නොදෙන නිසා ය. ඒ නිසා ලබන අවුරුද්දේ පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී කොලඹ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමට ජනතාව වහා ක්‍රියා කළ යුතු ය. එතෙක් අපට කරන්නට දෙයක් නැත. ඉන්න වෙන්නේ වතුරේ ය.


'කොළඹ ප්‍රධාන වීථිවල පදික වේදිකාවේ අනවසර වෙළෙඳාම පටන්ගත්තේ එජාප කාලයේ ය. අන්තිමේ එය රට නසන ජාවාරමක් බවට පත් විය. කොළඹ අපිරිසුදු වීමටත්; කාණු පද්ධති හිරවීමටත් මේ තත්ත්වය බෙහෙවින් උපකාරී විය. කොළඹ ගැන කතාකරන කිසිවකුටත් පදික වේදිකා ශුද්ධ කිරීමට නො හැකි විය. අන්තිමේ එම වගකීමත් පැවරුණේ වත්මන් ආණ්ඩුවට ය.


'කොළඹ ඇතුළු ප්‍රධාන නගර වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ස්ථාවර හා සාර්ථක වැඩපිළිවෙළක් සකස් කළ යුතු ය. නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ඉදිකිරීම් අමාත්‍යංශය, පරිසර අමාත්‍යංශය වැනි ආයතන ඒකාබද්ධ වී මීට වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ක්‍රියාත්මක කළ යුතු ය. ඒ නිසා අන්තිමට සඳහන් කළ අමාත්‍යංශ දෙකත් ජනාධිපතිතුමා අතට ගත යුතු ය.


‍'ඇමතිවරු එකාට එක කාණුව බැගින් බලා කියා ගැනීම භාර දිය යුතු බව විපක්ෂ නායකතුමා පවසයි. අපේ ගරු ජනාධිපතිතුමා දැනටත් ඔහුගේ මල්ලිලාට හා පුතාට හැර අන් ඇමතිවරුන්ට භාර දී ඇත්තේ කාණු ය. 


'මගේ කතාව මෙතැනින් සමාප්තයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.'

Comments

  1. මේ බූරූ රොත්තට මතක නෑ 1994 ඉඳන් ඉන්නෙ උන් කියල. නොම්බර එකේ හරකෙක් තම යි දිනේෂ් කියන්නෙ. මැයි පළවෙනිද ස්ටේජ් එකේ කල කතාව දැක්කෙ නැද්ද?

    ReplyDelete
  2. ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුගොඩ,සීදූව,කටුනායක වැනි ප්‍රදේශ මේ විදිහට ජලයෙන් යටවී ඇත්තේ සෑහෙන කලකට පසුව බව ජලයට යටවු නිවෙස් හිමියන්, කඩහිමියන්, ඉඩම් හිමියන් පවසති.
    ඔවුන්ට දැන් ඇත්තේ එකම විසදුමකි.
    පොල් ගැසීම හැර අන් යමක් නැත.
    පොල් වර්ග දෙකක් ඇත.
    එ දෙකෙන් කෑමට ගන්නා පොල් රැගෙන තමන් අදහන දෙවියන් ඉදිරියට ගොස් මේ විනාශ්‍ය කරපු එවුනට සාපවේවා කියා පොල් ගැසීම ය.
    කවුරුත් නොකියන, හැමෝම දන්න ඇත්ත මේකයි.
    අද මේ ප්‍රදේශ යටවෙලා තියෙන්නේ දෙපැත්තෙන් අධිවේගී මාර්ග දෙකක් හැදෙනවා.
    ඒ නිසා වතුර බහින්නෙ හෙමින්.
    මොකද වතුර බහින්න තිබෙන්නේ සුපුරුදු පාරවල් නොව අධිවේගී මාර්ගයේ කුඩා බෝක්කු ය.
    ඒවයින් වතුර බැස යන තෙක් ටැංකියක සිටින මාලුන් මෙන් ඇවිද ඇවිද කථා කර කර සිටිය හැක.
    අමතක කරන්න එපා චීනෙන් ආව එකාට මේ රටේ මිනිස්සු ගං වතුරට යටවෙන එක ගැන ගාණක් නැත.
    පාර හැදීම ඔහුගේ එකම අරමුණය.
    මේ විදිහට වැස්ස වැහැලා වතුර බහින්නේ නැති වී වීම ඉදිරි කාලයටත් අනිවාර්ය ය.
    අධිවේගී මාර්ග හැදෙන එක මිනිස්සු දාහක් මැරුණත් නවත්වන්නේ නැති බව මේ යන විදිහට හොදටම පැහැදිලි ය.
    අන්තිමට කියන්න තියෙන්නේ ගම්පහ ආශ්චර්යය හදන්න මිනිස්සු මනාපම 450,000 ක් දුන්නා.
    දැන් සනීපද?

    ReplyDelete
  3. නියමම නියමයි. අයේ දෙකක් නැහැ. මීට ගොඩක් සමාන කතාවක් තමයි මුං කියන්නේ. මේ ආණ්ඩුවෙ උන්ගේ බඩ වේලුවත් වැරදි UNP හරි බටහිර ජාතීන් හරි තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා