අපරාධ ජාලය වැනසීමේ මහා මෙහෙයුම හා පොලිස් රාජ්‍ය පදනම | Operation to eliminate the crime network and laying foundation for a police state

(2010 අප්‍රේල් 27 - W3Lankaත්‍රස්තවාදය තුළින් රට පුරා මතුවූ අපරාධ ජාලය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව අද දිනමිණ වාර්තා කරයි.

පුදපු ගමන් කාපි යකා වගේ මෙවැනි ප්‍රශ්නයක් මතු වේ. මර්දනය කරනු ලබන්නේ ත්‍රස්තවාදය තුළින් රටපුරා මතුවූ අපරාධ ජාලය පමණක්ද? දේශපාලන අනුග්‍රහයෙන් රට පුරා පැතිරුණ අපරාධ ජාලය මෙයට අදාල නැද්ද?

ත්‍රස්තවාදයේ ද අංශ දෙකක් තිබේ. එනම් රාජ්‍ය හා රාජ්‍ය නොවන ලෙසයි. රාජ්‍ය ත්‍රස්තවාදය දේශපාලන අනුග්‍රහය ලත් ත්‍රස්ත ජාලය සමග අතිනත ගෙන සිටින බව රහසක් නොවේ.

කෙසේ වෙතත්, දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට සියලු උපදෙස් ලබාදී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරයි. මේ උපදෙස් වඳුරාට දුන් දැලි පිහිය බවට පත් වී පෞද්ගලික පළිගැනීම් සඳහා ද උපයෝගී කර නොගන්නා බවට වග බලා ගැනීමක් ද පාලකයන් පැත්තෙන් තිබිය යුතු ය. 

'එක රටක්, එක ත්‍රස්තවාදයක් හා එක පාතාලයක්' යන ප්‍රතිපත්තිය ද නරක ම නැත. ත්‍රස්තවාදයන් හා පාතාලයන් රැසකින් බේරෙනවාට වඩා එකකින් මිය යාම පහසු ය.

ත්‍රස්තවාදී උවදුරින් මතුවූ මෙම අපරාධ ජාලය විනාශ කිරීමට නොහැකි වූයේ වසර 30ක් ආරක්ෂක හමුදාවට සහාය වීමට පොලීසියට සිදුවූ නිසා බව ද නොයෙක් අවස්ථාවල අපරාධ ජාලය විනාශ කිරීමට පොලීසිය කටයුතු කළත් සම්පූර්ණයෙන්ම පොලිස් බලය යෙදීමට කාලයක් නොතිබුණ බවද ආරක්ෂක ලෙකම්වරයා පවසයි. ඇතැම් පොලිස් නිලධාරීන් පමණක් නොව අධිකරණය හා සම්බන්ධ පුද්ගලයන් පවා මෙම අපරාධ ජාලය සමග සම්බන්ධ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, අපරාධ ජාලය විනාශ කිරීමේ මෙහෙයුම් කලින් පාතාලය මර්දනය කිරීමට යොදා ගත් පැන යන්නට තැත් කළ බව කියා මහ මග වෙඩි තබා මරා දැමීමේ අවනීතික ක්‍රියාමාර්ගය බවට පත් වීම පුරවැසි සමාජයකදී නම් අනුමත කළ නොහැකිය.

ලංකාව නීතියේ පාලනය ඇති රටක් බවට පත් නොකර මෙම ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට යාම රෝග නිධානය පසෙක තිබියදී රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම හා සමාන වේ.

පශ්චාත් යුද කාලීන ලංකාවේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නත් කලින් පොලිසිය ඉදිරියට ගැනීමට පාලකයන්ට උවමනා වී තිබෙන්නේ ඇයිද යන්න විමසා බැලීම වැදගත් කරුණකි. 

පාදඩ පංතිය මර්දනය කිරීමෙන් පාලකයන්ට මධ්‍යම පංතිය අතර ජනප්‍රිය විය හැකි ය. එහෙත්, මීළඟ පොලිස් ක්‍රියාමාර්ග යොමු වනු ඇත්තේ ජීවන වියදම හමුවේ වැඩි පඩි ඉල්ලා සටන මගට පිවිසෙන වැඩ කරන ජනයාට එරෙහිව වීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා