ජවිපෙට හම්බන්තොටින් ආසනය අහිමි වීම | JVP losing seat from Hambanthota

(2010 අප්‍රේල් 10 - W3Lankaජවිපෙ 1994 ඡන්දයේදී සිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන ආරම්භ කළේ ආරිය බුලේගොඩගේ ශ්‍රි ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ මල් පෝච්චිය ලකුණෙන් තරග කර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනයක් දිනා ගැනීමෙනි.


මෙම ආසනය දිගට ම හෙබවූයේ ජවිපෙ පැරණි සාමාජිකයකු වන නිහාල් ගලප්පත්ති විසිනි.


වැඩි ම පාර්ලිමේන්තු අත්දැකීම් ප්‍රමාණයක් ඇති ජවිපෙ සාමාජිකයා නිහාල් ගලප්පත්ති ය. එහෙත්, ගලප්පත්ති යනු විමල් වීරවංශ ඉවත් කිරීමෙන් පසු පවා ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වීමට සුදුස්සෙක් නොවීය. එහෙත් පැරණි සාමාජිකයකු වීම නිසා ඔහු හැමදාමත් ජවිපෙ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී විය. 


හැත්තෑව දශකයේ සිට ජවිපෙ හිතවතකු වූ විජිත රණවීර නම් වලව්කාර සුරුවම ද 2004දී ජවිපෙ මන්ත්‍රී ලැයිස්තුව එක් වූ බව දන්නෙ ජවිපෙ සාමාජිකයන් ම පමණි. 


සංකේතාත්මකව වැදගත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසනය ජවිපෙට  අහිමි කිරීමේ වගකීමෙන් සැලකිය යුතු පංගුවක් මෙම අකාර්යක්ෂම මන්ත්‍රීන් දෙබාන භාර ගත යුතු ය. 


ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වැඩි පිරිසක් මෙවැනි සුරුවම් වුණා විනා බිම් මට්ටම දක්වා ක්‍රියාකාරී වූ මහජන නියෝජිතයන් වූයේ නැත. මේ අතර, තවත් පිරිසක් ජනමාධ්‍ය පසුපස යන පිරිසක් වූහ. මෙහි දෙවියන් වූයේ විමල් වීරවංශයි. ඔහු ඉවත් කිරීමෙන් පසු පවා ජවිපෙ නායකයන් උත්සාහ කළේ එතැනට තමන් ආදේශ වීමට මිස ජන පදනම් තහවුරු කර ගැනීමට නොවේ. 


ජවිපෙ පාර්ලිමේන්තුවට පත් වන විට බයිසිකලෙන් පාර්ලිමේන්තු එන අලුත් විලාසිතාවක මන්ත්‍රීවරයකු පිළිබඳ චිත්‍රයක් ඔවුන් ජනතාවට දී තිබිණි. පසුව බයිසිකලය මරුති කාරය බවට පත් වූ මුත් ජවිපෙ මන්ත්‍රීන් ඇත්තෙන් ම මිළ දී ගත්තේ ජපන් ඩබල් කැබ් රථයි. අලුත් විදියක මන්ත්‍රී කෙනෙකු ගැන ජවිපෙ කී සියලු කතා හුළ‍ඟේ පා වී යද්දී අප දුටු ජවිපෙ මන්ත්‍රීවරයා වනාහි සෙසු පක්ෂවල මන්ත්‍රීන් වැනි ම හෝ ඊටත් වඩා අකාර්යක්ෂම පුද්ගලයෙකි.


ජවිපෙ සිය මන්ත්‍රීවරුන්ගේ අකාර්යක්ෂමතාව වසා ගත්තේ තම මන්ත්‍රීවරුන් සිය වැටුප පක්ෂ අරමුදලට පරිත්‍යාග කරන බව කියමිනි. මෙම අරමුදල්වලින් ද ආපසු කෙරුණ ප්‍රධාන කාර්යය වූයේ පක්ෂය හා ක්‍රියාකාරිකයන් නඩත්තු කිරීමයි. 


මෙකී අකාර්යක්ෂම මන්ත්‍රී නඩය කූඩු කර තබා ගැනීම පැවරී තිබුණේ පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්වරුන්ටයි. පක්ෂ උප සංස්කෘතියක් තුළ දිවි ගෙවන, සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳ නොදත් මෙකී නිලධාරීන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට සිර කුටි නඩත්තු කිරීමයි. මන්ත්‍රීට මහජන මුදලින් දුන් වාහනයෙන් ගමනක් යාමට පවා දිසා ලේකම්වරයාගේ අවසරය අවශ්‍ය විය. ජවිපෙට මන්ත්‍රීවරයකුගෙන් අවශ්‍ය වූයේ කියන තැනකට ගොස් කියන දෙයක් කියා එන පණිවුඩකරුවකුගේ කාර්යය මිස නිර්මානාත්මක බහුජන නායකයකුගේ භූමිකාව නොවේ. 


මහජනතාවට ජවිපෙ මන්ත්‍රීන් නැවත පත් කර ගැනීමට උනන්දුවක් නැති වන්නේ මෙම සංදර්භය තුළයි. 


ජවිපෙ මන්ත්‍රීන් වෙනුවෙන් මහජනතාව ගෙවූ වැටුපට සරිලන සේවයක් සැපයීමට ජවිපෙ සමත් වූයේ නැත. පාර්ලිමේන්තුවේ පනත් ගෙන එද්දී ඒවා පිළිබඳ යම් තරමක හෝ සාධාරණ විශ්ලේෂණයක් කළේ ඇතැම් ජවිපෙ මන්ත්‍රීන් බව සැබෑ ය. එහෙත්, ඔවුන් පාලනයේ ඇති ප්‍රශ්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ හෝ මහජන අදහස් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමේ කාර්යය හරි හැටි ඉටු කළේ නැත. මූලිකව ම මෙම මන්ත්‍රීන් ජනතාව හමුවට ගියේ නැත. ඔවුන් හමු වුණා නම් හමු වුණේ තම පක්ෂයේ සාමාජිකයන් හා හිතවතුන් පමණි. තමන් බලයට පත් වුණේ ඔවුන්ගේ ඡන්දයෙන් පමණක් නොවන බව ජවිපෙ මන්ත්‍රීන්ට කෙටි කලකින් අමතක විය.


ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වටා ඉදි වුණ පවුර වූයේ පක්ෂයයි. පක්ෂයේ නිලධාරීන්ගේ සීමා කිරීම්වලට කොටු වීම හා නැවුම් ප්‍රවේශයකින් වැඩ කිරීමට අවශ්‍ය නිර්මානශීලිත්වය නොමැති වීම ජවිපෙ මන්ත්‍රීන්ගේ මූලික ගැටළුවකි.


ජවිපෙ කුණු ට්‍රැක්ටර් රියදුරන් වැනි පීඩිත ජනයාට පාර්ලිමේන්තුවට මග සැකසුවේය. එහෙත් සය වසරකට පසු පාර්ලිමේන්තුවෙන් පිටතට එන්නේ ඒ ගිය කුණු ට්‍රැක්ටර් රියදුරා ම මිස සමාජ දේශපාලන නායකයකු නොවේ. ඕනෑ නම් ඔහු අඳින, පළඳින ආකාරය හා කතා කරන වචන ආදිය වෙනස් වී දියවැඩියාව වැනි ලෙඩක් හැදී තිබෙන්නට පුළුවන. 


හම්බන්තොටින් ආරම්භ කරන ලද ජවිපෙ පාර්ලිමේන්තු කතාවේ එක් පරිච්ඡේදයක් හම්බන්තොට ආසනය අහිමි වීමත් සමග නිමා වේ. එහෙත්, ජවිපෙට තවමත් පාර්ලිමේන්තු ආසන කීපයක් හිමි වී තිබේ. සුනිල් හදුන්නෙත්ති කොළඹිනුත්, අජිත් කුමාර ගාල්ලෙනුත්, විජිත හේරත් ගම්පහිනුත් තේරී ඇත. අනුර කුමාර දිසානායකට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් හිමි වනු ඇතැයි අනුමාන කෙරේ. උන්න හැටියට මළාත් මදැයි. 


පක්ෂයට පාට් දමමින් ආණ්ඩුව සමග හොර ගනුදෙනුවල නියැලී සිටින කම්කරු නායකයකු යයි කියා ගන්නා ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකුට 'කොටෙන්' පාර්ලිමේන්තු එන්නට තිබූ අවස්ථාව ඡන්ද දෙසීයකට අඩු ගණනකින් මගහැරුණේ ජවිපෙ වාසනාවටයි. එහෙත්, මන්ත්‍රීකමක් අරගෙන හෝ මේ දෙපිටකාට්ටුවන් පිට වි යනවා නම් එය ජවිපෙට ලාභදායී වනු ඇත.


මෙතැනින් එහාට ජවිපෙට පාරවල් දෙකකින් එකක් තෝරා ගත හැකිය. එක් පාරක් වැටී ඇත්තේ මීට කලකට ඉහතදී සමසමාජ, කොමියුනිස්ට් වැනි පක්ෂ ගිය මාවත ඔස්සේ ය. එනම්, වෘත්තීය සමිති මුට්ටි කාසිවලින් හා තම මුලස්ථානය ව්‍යාපාරිකයන්ට කුලියට දී හම්බ කරන මුදලින් පූර්ණකාලික නිකමුන් පිරිසක් නඩත්තු කරමින් කුමන හෝ පක්ෂයක නැට්ටේ එල්ලී ඩිව් ගුණසේකර හෝ තිස්ස විතාරණ හෝ සේ පාර්ලිමේන්තු දෙව්ලොව යමින් වැජඹෙන පිරිසක් සමග සෙ‍මින් මරණයට පත් වීමේ මාර්ගයයි. 


අනෙක් මාර්ගය තව ම සොයාගෙන නැත. කළ යුත්තේ එය සොයා ගැනීමයි. 


ලාංකීය පීඩිත සිංහලයාගේ දේශපාලන ව්‍යාපාරය වන ජවිපෙට අපි සුබ පතමු. 

Comments

  1. ලාංකික සමාජයේ ශක්තිමත් ධනපති පංතියක් හෝ ශක්තිමත් පීඩිත පංතියක් හෝ වර්ධනය වී නොමැත. මේ පංතීන් දෙකම අවවර්ධිතය.

    එහෙත් නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැංවිය යුත්තේ ද පවතින සංදර්භය තුළින් මිස ආනයනය කිරීමෙන් නොවේ.

    වලකට වැටීමත් යහපත් යැයි කිව හැක්කේ මේ අනුවය.

    සුළු ධනේශ්වර පිළිකණු සොයමින් අහසේ පවතින දේවල් මත දේශපාලනය නොකර පිඩිත පංතියේ සැබෑ නියෝජනයක් වෙනුවෙන් පෙනී සිටීමට ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ දී හෝ බරපතල ලෙස කල්පනා කරන්නේ නම් මේ පරාජය ජයග්‍රහණයකින් කෙලවර වන බව ස්ථිර ලෙසම පැවසිය හැකිය.

    ඒ සදහා සහෝදරාත්මක සුභාශිංසන එක් කිරීම යුතුකමක් යැයි සිතමි.

    ReplyDelete
  2. මගෙත් පලමු චන්දය පුද කලේ ජවිපෙට. ඒත් ඊට පස්සේ ජවිපෙ වෙනස් වෙන්න ගත්තා. එ අයත් අනෙක් අය වගේමයි. දැන් කව්රුත් විශ්වාස නෑ. ඒ නිසා දැන් චන්දෙ දෙන්නෙත් නෑ. ලංකාවේ හැමොම එකයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා