එජාප, එජනිස ජාතික ලැයිස්තු ‍ගේම් මෙන්න | Conspiracies in national list MP appointments of Sri Lanka

(2010 අප්‍රේල් 22 - W3Lanka ) පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තේරීම් මේ වන විට දැඩි මතභේදයට තුඩු දී තිබේ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් හිටපු උසස් අධ්‍යාපන ඇමති විශ්වා වර්ණපාල සැනසිලි තෑග්ගක් නැතිව ම කැපී යාම කැපී පෙනෙන ලක්ෂණයකි. කතානායක වි.ජ.මු. ලොකුබංඩාර සිය පුත්‍රයාගේ සුබ අනාගතය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ජානක ප්‍රියන්ත බංඩාර සමග හුවමාරු කරගෙන සබරගමු ආණ්ඩුකාර පදවියට ලබා දුන් පහත්වීම භාර ගෙන තිබේ. 

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකට ද අගමැතිව සිටි පුද්ගලයා එක පාරට ම කපා දැමීම හරි නැති නිසා මේ පාරත් ජාමෙ බේරී ඇත.

මහජන ඡන්දයෙන් එක් මන්ත්‍රීවරයා බැගින් පත් කළ සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය මෙම මැතිවරණයේ වාසනාවන්ත ම බලවේගය වී තිබේ. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් ද අසුන බැගින් හිමි වී තිබේ. ඔවුන්ට ඇමතිකම් ද දෙකක් ලැබෙන බැවින් මේ ආණ්ඩුව කෙතරම් වමට බරදැයි කෙනෙකුට තර්ක කළ හැකිය. ඔවුන් දැන් දෙක මදි වී වාසුදේව නානායක්කාරටත් එකක් ඉල්ලති. අම්මපා මේ  'සාදුකින් පෙළෙන නැගිටගන්න බැරිවුන්ට' තියෙන තණ්හාවක තරම!

මහජන ඡන්දයෙන් ආසන 12ක් දිනා ගත් දෙමළ ජාතික සන්ධානයට ද ලැබුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් බව විමසන කල පැරණි වාමාංශිකයන්ගේ වාසනාවේ තරම තවත් පැහැදිලි වේ. නිර්ධනයන් වෙනුවෙන් කිසිත් නොකර නිකම් සිටීමෙන් හා ධනපති පංතියේ සුරතල් පූස් පැටවුන් වීමෙන් රට දිනූ මෙවැනි පොරවල් ගැන අප්‍රේල් තිසීසයක් ලිවිය හැකිය. 

මේ අතර, දිවයිනෙන් ම මන්ත්‍රී පදවි දෙකක් පමණක් දිනා ගත් තවත් හිටපු වාමාංශික සහෝදර පිරිසක් වන විමල් වීරවංශ පෙරමුණ ද ජාතික ලැයිස්තුවෙන් අචල ජාගොඩට දුන් අසුන මදි බව කියමින් මුසම්මිල්ටත් එකක් ඉල්ලා පළි ගසන්නට පටන් ගෙන තිබේ. දෙන්නට යන කැබිනට් ඇමතිකම ගැන ද සතුටක් නැතිමුත් එය භාර නොගෙන සිටින්නට කිසිදු අදහසක් නැති විමල් එය භාර නොගන්නා බවට බොරු මෝස්තරයක් දමා ඡන්දයෙන් පැරදී යන එන මං නැතිව සිටින පියසිරි විජේනායක, බුද්ධදාස විතානාරච්චි ආදීන්ගෙන් එන පීඩනය කළමනාකරණය කර ගත්තේ ය. දැන් ඔහු ඇමතිකම භාර ගන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව කියන නිසා ය. අපි නොදන්න පක්ෂෙ!


විමල් වීරවංශ පෙරමුණේ දැඩි ම විරෝධය එල්ල වී තිබෙන්නේ එජනිස ජාතික ලැයිස්තුවෙන් මහාචාර්ය රජීව විජේසිංහ පත් කිරීම පිළිබඳවයි. "සරත් ෆොන්සේකාගේ ප‍්‍රශ්නය අපි සමාජයට අරං යනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියුමට හිතුමතේ උත්තර ලිව්වේ රජීව් විජේසිංහ. රජීව් වක‍්‍ර ලෙස ෆොන්සේකාට උදව් කළ කෙනෙක්. එහෙව් රජීව් විජේසිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේනවා. " කියමින් විමල් අද පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී බැණ වැදුණේ ය. 

ජාතික ලැයිස්තුවෙන් හොඳ ම ගේම දුන්නේ අන් කිසිවෙක් නොව රනිල් වික්‍රමසිංහයි. චූන් එකේ ගෙදරට වී ඉඳ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නට යන්නට සිටි රුක්මන් සේනානායකට හා කේ.එන්. චොක්සිගේ සුබ අනාගතය අඳුරු වී තිබේ. අනේ ඉතින් මේ දෙන්නට මිහිඳුගෙ සරණේ සරණයි!

මංගල සමරවීර ජාතික ලැයිස්තුවෙන් සිය ලේකම් වූ රුවන් ෆර්ඩිනැන්ඩස්ට දෙන්නට නියමිතව තිබුණු මන්ත්‍රී ධුරය පිළිබඳ සම්මුතියකට එළම තිබේ. මංගලගේ තවත් කකුලක් වූ ටිරාන් අලස් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන නිසා මංගලට ඒ මදැයි! 

මේ අතර සුළං හමන දිශාව පිළිබඳ හොඳ ම ඉව ඇති චම්පික රණවකගේ උරුමය පක්ෂය මහජන ඡන්දයෙන් ලද ආසන දෙක හා ජාතික ලැයිස්තුවෙන් දුන් එක භාර ගෙන ඉවසීමෙන් සැනසීම ලැබීමට තීරණය කර තිබේ. 


ජාතික ලැයිස්තුවෙන් තමන්ට මන්ත්‍රීකමක් ලැබීමටත් වඩා සතුටක් ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොන්ඩමන්ට ඇත. ඒ තමන්ගේ ප්‍රධාන තරගකරු වූ කඳුරට ජනතා පෙරමුණට මෙවර පාර්ලිමේන්තුවේ කිසිදු ඉඩක් නොලැබීමත්, කැඩී ගිය සෙල්ලසාමිට එජාප ජාතික ලැයිස්තුවෙන් තැනක් නොලැබීමත් හේතුවෙනි. 

මහනුවරින් ආසනයක් දිනා ගන්නට කොළඹින් එහි ගිය මනෝ ගනේෂන්ට අල්ලපු අත්තත්, පය ගහපු අත්තත්, ජාතික ලැයිස්තුවත් යන තුන ම අහිමි වී තිබේ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න සිටි හිටපු එජාප කෞතුක වස්තුවක් වූ එම්.එච්. මොහොමඩ්ට ද දෙවියන් හෝ මහින්දයන් පිහිට වී නැත. 

ඒ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලක සිට කාන්තා නායිකාව වී සිටින කමලා රණතුංග හා අත්තෙන් අත්තට පනින්නට ගොස් චෝරු වී ගිය හිටපු ශ්‍රී ලංකා හා යූඇන්පීකාර කුරුල්ලකු වූ ජේ.ආර්.පී. සූරියප්පෙරුම යන කෞතුක වස්තු දෙකට අවස්ථාව ලැබී තිබේ. 

අගමැති දි.මු. ජයරත්න ද පාර්ලිමේන්තු එන්නේ ජාතික ලැයිස්තුවෙනි. 

Comments

  1. What about JVP fight on national list??

    ReplyDelete
  2. ජවිපෙ ගැන කියන්නට තිබෙන්නේ උන්න හැටියට මළාත් මදැයි කියායි.

    ReplyDelete
  3. මරේ මරු.නියම විග්‍රහය!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා