ජනාධිපතිට හූ කියන්නේ මොන රටේද - ලංකාවේ අපේ ලංකාවේ | Sri Lanka, a country where you can hoot at the President

(2010 අප්‍රේල් 06-W3Lanka ) පසුගියදා අපේ මිතුරෙක් අපට කී කතාවක් මෙසේය. 

ලංකාවේ ඉන්නට බැරි යයි සිතුන බල්ලෙක් මුහුදට පැන පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිට්ටුම දේශය වන ඉන්දියාවට පීනා යමින් සිටියේය. මුහුද මැදදී හදිසියේම ඔහු දුටුවේ අපූරු දසුනකි. ඉන්දියාව පැත්තේ සිට තවත් බල්ලෙක් ලංකාව දෙසට පීනා එමින් සිටියි. ඌ කැහැටු බල්ලෙකි. 

"ඒයි, මං මේ ලංකාවේ ඉන්න බැරිව ඉන්දියාවට යනවා. උඹ මොකද ඉන්දියාවේ ඉඳන් ලංකාවට එන්නේ?" ලංකාවේ බල්ලා ඉන්දියන් බල්ලාගෙන් ඇසීය.

"එහෙ කන්න නෑ බං," යි කී ඉන්දියන් බල්ලා දිගටම පීනාගෙන ගියේය. එහෙත් මඳ දුරක් යද්දී ඔහුට කරුණක් සිතුණි. කන්න නැති නිසා තමන් ඉන්දියාවේ සිට ලංකාවට යද්දී ලංකාවේ බල්ලා කන්න නැති ඉන්දියාවට පීනා යන්නේ මන්දැයි අසන්නට ඔහුට සිතිණි. ඔහු ආපසු පීනා ඇවිත් ලංකාවේ බල්ලාගෙන් ඒ පිළිබඳ විමසුවේය. 

"ඇයි බං, ලංකාවෙත් කන්න නැද්ද?"

"නෑ බං, ලංකාවෙ කන්න නැත්තෙම නැහැ. ඔය හදාගන්න බැරිව ළමයින්ව ගංගාවලට වීසි කළාට තවම කවුරුත් බඩගින්නේ මැරුනෙ නැහැ."

"ඉතින් උඹ ඇයි ලංකාවෙන් යන්නෙ?"

"එහෙ නිදහසේ බුරන්න බෑ බං." 

මේ කතාව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළීබඳ උපමා කතාවකැයි අපේ මිතුරා පැවසීය. 

එහෙත්, මේ අවලං කතා හදන බල්ලන්ගේ ඇස් උඩ යන සිද්ධියක් වවුනියාවේදී සිදු විය. ලංකාවේ බල්ලන්ට බුරන්නට බැරිමුත් නරින්ට හූ කියන්නට පුළුවන. නිල් බාල්දියේ වැටුන නරි ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ගෙන් අරක්කු බී ඇවිත් හූ කියන්නේ වෙන කාටවත් නොව රටේ ජනාධිපතිටයි. වවුනියාවේ නරි හූව අසා ජනාධීපතිතුමාට මළ පැන වදාරන හැටි මෙතැනින් පිවිස බලන්න. 

මේ කතා ප්‍රචාරය කරන අයගෙන් අපට අසන්නට තිබෙන්නේ ඉන්දියාවේ මිනිසුන් තමන්ගේ රාජ්‍ය නායකයාට හූ කියනවාද කියායි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම එයින්ම නොපෙනේද? 

මේ නරි හූ කීවේ වවුනියාවේදී පමණක් නොවේ. මේ ලියන ලේඛකයාගේ මස්සිනා ජනාධීපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී ජනතාව අමතනු අසා සිටියේ ඇස්වලින් කඳුළු පෙරමින් බව මට කීවේ ඔහුගේ බිරිඳයි. එහෙව් මස්සිනා ද පසුගියදා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී මහින්ද ගීතා කුමාරසිංහගේ සහ සජින් වාස් ගුණවර්ධනගේ නම් කියන විට හූ කී බව ඔහුගේ බිරිඳ මට කීවාය. දවස් ගණනාවක් තිස්සේ ගාල්ල නැති වන තුරු පොලිස් ආරක්ෂාවක් දමා තිබුණේ මේ හූව අසාගෙන ජනාධිපතිතුමා ඉක්මනින්ම පල්ලම් බැස ගිය විනාඩි කීපය වෙනුවෙන් බව කී ඔහු දැන් කියන්නේ තමන් බුලත් කොළයට ඡන්දය දෙනමුත් එක බල්ලෙකුටවත් මනාප ගසන්නේ නැති බවයි. 

වවුනියාවේ සිද්ධිය ලෝකය පුරා දෙමළ ජනතාව අතර ප්‍රචාරය වෙමින් තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙමළ ජනතාවට බැන්නාය කියායි. එහෙත් එය බොරුවකි. ඔහු පැත්තකට හැරී වවුනියාවේ සංවිධායක ප්‍රෙමරත්න සුමතිපාලට කියන්නේ "තමුසෙ ගිහින් මේක නවත්තනවා. නැතිනම් තමුසෙටයි......" කියාය. හූ කියන නරින්ගේ නායකයා කවුරුදැයි එයින් ඔප්පු වේ. 


රජෙක් වී දේවත්වයට කිට්ටු වී සිටි අපේ අතිගරු ජනාධිපතිතුමා පිළිබඳ අපට දුක සිතේ. එතුමන් නරින්ගෙන් හූ අහන්නේ එතුමන් වටේ සිටින බල්ලන් නිසා ය. "බල්ලන්ගෙන් පරිස්සම් වෙනු!"

අපේ ජනාධිපතිතුමා හක්මන බැන්ටිස් රණවීර වැනි හිටිවන කවියෙහි ශූර කොළඹ යුගයේ කවියකු නොවුණේ නිල් බාල්දියේ වැටුණ නරින්ගේ වාසනාවටයි. තමන්ට හූ කී කොල්ලන් පිරිසකට බැන්ටිස් රණවීර කවියා පිළිතුරු දුන්නේ මෙසේයි:

කොල්ලෙකු උපන්නොත් නරියකු හට දාව
උපතින් උරුම වෙයි ඌටත් නරි හූව
එම්බල කොල්ලනේ අද මට හූ කීව
අම්මා ළඟට ගෙන ගොස් මකවන් හූව

Comments

  1. Awasanayata ethi kaviya pada galapa (awasana padaya hera)ape janapatitama janatawa kiyana dawasa etaka nowei.

    ReplyDelete
  2. What ever happened, in Sri Lanka there is freedom to jeer the president! What a democracy.

    ReplyDelete
  3. "මකවන් හුව" LOL!

    ReplyDelete
  4. මට තේරුන හැටියට නම් මෙතනදි ජනාධිපති දෙමලෙන් කතා කරනකොට අරුන් කෑගහනව අපි සිංහල කියලා එතකොට ජනාධිපති කියනවා ඔව් මමත් සිංහල අහන් ඉන්නවා දෙමලත් කියලා. මේකේ බනින්නේ සිංහල මිනිස්සුන්ට නේද?

    ReplyDelete
  5. Please note that the verse you have written at the end of the text, is not of Mr. Bantis Ranaweera. Man who said that verse instantly at an election rally held in Piliyandala, is non other than Mr. Somaweera Chandrasiri, former MP for Kesbewa, who is also a famous poet and a colleague of Mr. Ranweera. While his speaking to the crowed organized gang hooted at him. He stopped his speech for a moment and instantly delivered that verse, which shows his wit.

    from percyj

    ReplyDelete
  6. Thanks Percy. We will correct this in a new post.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා