කොටි නැවත හිස ඔසවමින් ඉන්නවාද? | Is LTTE again raising head?

(2010 මාර්තු 02-W3Lanka2009 මැයි 18දා වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගේ මරණයෙන් යුදමය පරාජය සනිටුහන් කර මර්දනයෙන් යටපත් කරන ලද දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය නැවත ලංකාව තුළ හිස ඔසවමින් සිටියි ද යන සැකය මතු වෙමින් තිබේ.


අද දිනමිණ පුවත්පත වාර්තා කරන ආකාරයට එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර මූල්‍ය අංශයට සම්බන්ධ ප්‍රධාන පෙළේ නායකයකු මෙරට එල්.ටී.ටී.ඊ. මූල්‍ය කටයුතු ලිළිබඳ සොයා බැලීම සඳහා ස්වීස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට පැමිණ දෙහිවල පල්ලිදොර පාරේ නිවෙසක සැඟවී සිටියදී රහස් පොලිසිය මඟින් පෙරේදා (28) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් මරණයට පත්ව එම සංවිධානය අක්‍රීය තත්ත්වයට පත්වීමෙන් පසු එම සංවිධානයට අයත්ව තිබූ මෙරට ව්‍යාපාර කටයුතු සොයා බැලීම මෙම නායකයාගේ ප්‍රධාන කාර්යය වී ඇති බව දිනමිණ පවසයි. ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඔහු මෙරටට පැමිණ ඇත්තේ ජනවාරි 10 වැනි දිනයි.


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කොළඹ සැරිසරන බවට රහස් ඔත්තු අංශ විසින් වාර්තා කර ඇති බව ද, ඔවුන් කවුරුද යන්න හා ඔවුන් ගැවසෙන තැන් නොදන්නා බව ද, ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව ද අගමැති රත්නසිරි වික්‍රමනායක පෙබරවාරි අග සතියේ ඩේලි මිරර්ට ප්‍රකාශ කළේය. රටින් පිට සිටින ‍ලාංකික දෙමළ ජාතිකයන් ආධාර රැස් කිරීම් කරන බව රහස් ඔත්තු අංශ වාර්තා කර ඇති බව පවසන හේ ඒ කුමක් සඳහාදැයි නොදන්නා බව ද පැවසීය.


කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු එම සංවිධානයේ දෙස් විදෙස් ඉතිරි කොටස් සම්පූර්ණයෙන් ම යට ගොස් සිටිති. ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳ රහස් ඔත්තු සේවා සතුව ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයක් බව අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් හෙළි වේ.


දෙමළ ඊලාම් අරගලය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග හරහා ඉදිරියට ගෙන යාම සඳහා දෙමළ ජාතිකවාදීන් කටයුතු කරමින් සිටිති. දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම දෙමළ ජාතිකවාදීන්ට ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට උපකාර වී තිබේ. පසුලිය බදාදා ලන්ඩනයේ පැවති ලෝක දෙමළ සංසද සමුළුවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ද සහභාගි විය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා