වරෙන්තුකරුවකු සොයා පොලිසිය මහ රෑ ජනේලය කඩාගෙන ඔබේ නිවසට ආවොත් | If police break into your house in the middle of the night

(2010 මාර්තු 15-W3Lanka)  "ගේ කඩාගෙන ඇතුළට ආව පොලිසියේ අය එක්‌ක තාත්තා විනාඩි 45 ක්‌ විතර කතා කර කර හිටියා. එහෙම ඉන්න අතරේ ආව සුදු උස මහත්තයෙක්‌ තමා තාත්තාට වෙඩි තිබ්බේ. එයා පිස්‌තෝලේ අදිද්දී මම අඬාගෙන එයාගේ අතේ එල්ලුනා එතකොට මට ගහලා කාමරයෙන් එළියට එලෙව්වා. ඊට පස්‌සේ තමා තාත්තට වෙඩි තිබ්බේ." මෙසේ පවසන්නේ 14 හැවිරිදි ලහිරු ප්‍රසාද් දරුවායි.


ත්‍රිකුණාමලය නගරයේ පිහිටි මාළු වෙළෙඳසලක හිමියකු වන පී. රෙජී බන්දුල ඔහුගේ බිරිය හා දරුවන් තිදෙන ඉදිරිපිටදීම පිස්‌තෝලයකින් වෙඩි තබා මරා දැමීමට පොලිසිය කටයුතු කර ඇත්තේ ආත්මාරක්ෂාව සඳහා ‍මරණකරු සිය බලපත්‍ර සහිත තුවක්කුවෙන් තබන ලද වෙඩිල්ලක් හේතුවන් පූජනීය එස්අයිවරයකුට තුවාල සිදු වීමට පළි ගැනීමක් වශයෙන් බව දැන ගන්නට තිබේ.


පොලිසිය පැමිණ ඇත්තේ වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගන්නට යයි කියනු ලැබේ. "අපේ නිලධාරීන් ගිහින් තියෙන්නේ කන්තලේ අධිකරණය හමුවේ විභාග වන දික්‌කසාද නඩුවක විවෘත වරෙන්තුකරුවකු වන පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගන්නයි. සැකකරුගේ නිවසේ හා මියගිය පුද්ගලයාගේ නිවසේ අංකය එක හා සමාන නිසයි අපේ නිලධාරීන් ඒකට ඇතුල්වෙලා තියෙන්නේ. මියගිය පුද්ගලයාගේ හා වරෙන්තුකරුගේ නම් දෙකේ වෙනසක්‌ තිබෙනවා. ඒ නිසා මියගියේ වරෙන්තුකරුට ද කියන එක ගැන ප්‍රශ්නයක්‌ තිබෙනවා," යි පවසන්නේ මෙම 'නීතිගරුක' පොලිසියේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ධර්මසිරි සේනානායකයි.


මිය ගිය වරෙන්තුකරු ද එසේ මෙසේ අපරාධකරුවකු නොවේ. ඔහු දික්කසාද නඩුවක වරෙන්තුකරුවෙකි. වැරදිකාරයා මළා නම් කමක් නැහැ, මැරුණේ අහිංසකයෙකැයි කම්පා වන මිනිසුන් වරෙන්තුකරුවා කර ඇති අපරාධය කුමක්ද යන්න ද සිතා බලනවා නම් හොඳ ය.


දික්කසාද නඩුවක වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට පවා ලංකාවේ පොලිසිය යන්නේ මහ පාන්දර දෙකට තුනට පමණ ගෙවල්වල ජනෙල් බිඳගෙන වීම ද සැලකිල්ලට ගත යුතු කරුණකි. වනේ වන හතුරකුටවත් මෙවන් දුකක් නොවේවා යයි සිතන අය දික්කසාද නඩුවක් දැමීමේදී පවා පරිස්සම් විය යුතුය. මන්ද මෙවැනි නඩුවක් නිසා පවා මිනිසකු මිය යා හැකි බැවිනි. 


ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති ධුරය දැරූ 2005 නොවැම්බර් සිට 2008 වසරේ අගෝස්තු 16 දක්වා පුද්ගලයන් 91දෙනෙක් පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් ඇති බව ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුණආරච්චිගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රශ්නයකට පිළිතුරු ලෙස 2008 සැප්තැම්බර් 08දා පාර්ලිමේන්තුවේදී පැවසීය.


2005 වසරේදී පුද්ගලයන් දෙදෙනෙක්‌ 2006 දී 11දෙනෙක්‌, 2007 දී 20දෙනෙක්‌, 2008 දී 26දෙනෙක්‌ සහ 2009 දී 32දෙනෙක්‌ වශයෙන් පොලිස්‌ අත්අඩංගුවේදී සිදු වන මරණ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යමින් තිබේ.


මෑතක සිට පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වැඩි පිරිසක් මිය යන්නට පටන් ගෙන ඇත්තේ අපරාධවලට සම්බන්ධ ආයුධ මහ රෑ පොලිසියට පෙන්නන්නට ගොස් පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන පොලිස් වෙඩි පහරට ලක් වීමෙනි. මෙම මරණ පිළිබඳ පොලිසිය ඉදිරිපත් කරන හේතු හැම විටම එක හා සමාන ඒවා විය.


මෙසේ මරා දමනු ලැබුවේ දේශපාලක අනුග්‍රහයෙන් වැජඹුණු, පොලිස් අනුබල ලද පාතාල අපරාධකරුවන් බව නොදන්නා කෙනෙක් නැත. නීතියට පිටින් මෙසේ මිනිසුන් මරා දමද්දී ඇතැම් ලාංකිකයෝ පොලිසිය වීරත්වයෙන් සැලකූහ. නීතියට පිටින් මිනිසුන් මැරීමට බලවතුන්ට ඇති අයිතිය රැක ගැනීම සඳහා සමහර වාමාංශිකයෝද දිවි දෙන්නට යති. ඔවුන් නැඟී සිටින්නේ මෙසේ නීතියට පිටින් ඝාතනය කරන ලද සහෝදරයන්ගේ මළකඳන් පාගාගෙන බව මේ බිල්ලන්ට දැන් අමතක ය. 


නීතියට ගරු කරන සමාජයකට වඩා බලයට ගරු කරන වත්මන් ක්‍රමය හොඳ යයි සිතන කවුරු කවුරුත් දැන්වත් පියවි සිහියට එළඹිය යුතුය. අප වැනි මෝඩ මිනිසුන්ගෙන් ම සැදුම් ලත් මෙකී මර්දන ආයතනවල ඉන්නවුන්ට අපෙන් එකෙකි මේ මිනිසා කියුවාට කම් නැත. එහෙත් ඔනෑවට වඩා වීරයන් කරන්නට යාම නිසා මොළේ කළඳක් නැති, එහෙත් භයානක ගිනි අවි අතින් දරා සිටින පල් මෝඩයන් විශාල වශයෙන් සිටින මෙකී ආයතන දැන් අපවම කන්නට පනින තත්වයට පත් වී තිබේ.


හෙට පාන්දර වරෙන්තුකරුවන් සොයා එන ගමනේ ඔබේ ජනේලය බිඳගෙන පැමිණ මේ මූසලයන් ඔබේ අඹු දරුවන් ඉදිරිපිටදී ම ඔබේ හිසට වෙඩි තබා කුණු මාළුවකු සේ ඔබ බිම දිගේ ඇදගෙන නොයාවි යයි ඔබට තිබෙන විශ්වාසය කුමක්ද?


දැන්වත්, රටේ නීතියේ පාලනය පිහිටවිය යුතුව ඇති බව සිතන්න.

Comments

  1. amu amuve hena gahapan muntath munva rakina me kramayatath, munva rakina evuntath,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා