ෆොන්සේකාගේ ජාඩියට සිල්වාගේ මූඩිය

(2010 මාර්තු 01-W3Lankaජාත්‍යන්තරය අප රට දකින්නේ නීතියක් නැති රටක් හැටියට බව හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා පරාජිත විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ‍ෆොන්සේකා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බළකරන අන්තර්ජාල පෙත්සම විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් පැවසීය.


මේ සරත්ලා දෙන්නා ම ලංකාව නීතියක් නැති රටක තත්වයට පත් කිරීම සඳහා රාජපක්ෂ පාලනය සමග එක්ව සෑහෙන වැඩ කොටසක් කළ අය බව කවුරුත් දනිති.


කෙසේ වෙතත් එහිදී සරත් නන්ද සිල්වා පැවැත්වූ කතාවෙහි හරයක් තිබේ. වැරදි රාශියක් කර විශ්‍රාම ගැනීමෙන් පසුව හෝ කෙනෙකු තමන් කළ වැරදි නිවැරදි කිරීමට උත්සාහයක් දරන්නේ නම් එයට සහාය දිය යුතු යයි අපි සිතමු. සරත් නන්ද සිල්වාට සවන් දී ඔබු කැමති නම් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වූ පෙත්සමට මෙතැනින් පිවිස අත්සන් තබන්න. සරත් නන්ද සිල්වාගේ කතාව උපුටා ගනු ලැබුවේ ලංකා ටෲත් වෙබ් අඩවියෙනි. 


රදවා තබාගෙන සිටිනජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙක් ලෙසයි මා හදුන්වන්නේ. කෲර ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදය පරාජය කර අපට නිදහසේ ගමන් බිමන් යාමේ අවස්ථාව සලසා දුන් ඒ අභිත නිර්භීත සෙන්පතියාට, ඔහු අපට ලබාදුන් නිදහස භුක්ති විදින්න බැරි තත්ත්වයකට පත්කොට ඔහු සිරඅඩස්සියේ සිරකොට තිබෙනවා. එය ඉතාමත්ම ඛේදජනක තත්වයක්. එසේ රදවා ගැනීමේ අරමුණ අපට පැහැදිලියි. මේ නිර්භීත සෙන්පතියාගේ දරා ගැනීමේ ශක්තිය කඩා බිඳදැමීමේ ක‍්‍රියාදාමයක් වශයෙනුයි මම මේ සිරගත කිරීම දකින්නේ.

දේශපාලන සිරකුරුවෙක් වශයෙන් මම සරත් ෆොන්සේකා හදුන්වන්නේ වගකීමක් ඇතුවයි. අප රටේ නීතියේ අවශ්‍ය විදිවිධාන තියෙනවා වරදක් කර තැනැත්තෙකුව සිරඅඩස්සියට ගැනීමට. දැන් ඒ විධිවිධාන සියල්ල ඇහිරිලා ගිහිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ජාත්‍යන්තරය අප රට දකින්නේ නීතියක් නැති රටක් හැටියටයි. ඇත්ත වශයෙන්ම අපේ ඉතා උසස් නීති පද්ධතියක් තියෙනවා. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටෙව්වේ 1802. මේ කලාපේ මුලින්ම පිහිටවපු ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අපේ ශ්‍රේෂ්ඨාධීකරණය. ඒ ශ්‍රේෂ්ඨාධීකරණයේ අවුරුදු දහයක් අගවිනිසුරුවශයෙන් කටයුතු කිරීමට ලැබීම මාද ලැබූ භාග්‍යයක්. ඒ නිසා පැහැදිලිව කියනවා. අපේ රටේ හොද නීති පද්ධතියක් තියෙනවා. ජාත්‍යන්තරව පිළිගැනෙන නීති පද්ධතියක් තියෙනවා. මේ නීතියේ උසස්ම නීතිය තමයි ව්‍යවස්ථාව. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවේ 13 වෙනි වගන්තියේ පැහැදිලිව සදහන් වෙලා තියෙනවා. කිසියම් තැනැත්තෙක් අත්අඩංගුවට ගන්නවා නම් නීතියේ විධිවිධාන අනුව එම අත්අඩංගුවට ගත යුතුයි කියලා. 13 වෙනි වගන්තියේ දෙවැනි උපවගන්තියේ සදහන් වෙලා තියෙනවා එසේ අත්අඩංගුව ගත් තැනැත්තා නීතියෙන් යොදන කාලසීමක් ඇතුලතදී බලාන්විත අධිකරණයක් ඉදිරියට යොමු කළ යුතුයි කියා. ඒ නීතියේ සදහන් කාලසීමාව නම් අපරාධ විධිවිධාන සංග‍්‍රහයේ තිබෙනවා පැය 24කාලසීමක් ඇතුලත බලසහිත අධිකරණයක් ඉදිරියේ ඒ තැනැත්තා ඉදිරපත් කළ යුතුයි කියා. නමුත් මේ විධිවිධාන කිසිවකට අනුව නෙවෙයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ. එයට සාක්‍ෂිකරුවන් ලෙස සෝමවංශ අමරසිංහ මැතිතුමා, සුනිල් හදුන්නෙත්ති මැතිතුමා ඉන්නවා.

නීතිය අනුව නම් අත්අඩංගුවට ගත යුත්තේ අපරාධ නීතියට අනුකූලවයි. එතකොට අත්අඩංගුව ගන්න පොලිස් නිලධාරියා මුලින්ම කිව යුතුයි කුමක් අරභයා අත්අඩංගුවට ගන්නේද යන වග, ඒ සදහා සාධාරණ හේතු තිබිය යුතුයි. අන්න ඒකත් නීතියේ සදහන්වෙලා තියෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුවෙලා තියෙන්නේ එහෙම නොවෙයි . දේශපාලන සාකච්ඡාවක් සිදුකරමින් තිබෙන අවස්ථාවක මේ කාර්ලයාලයට ඇවිත් එතනින් උස්සගෙන පඩිපෙළ දිගේ ඇදගෙන ගිහින් තියෙනවා. මේ පඩිපෙළ දිගේ ඇදගෙන යාම කොතරම් බිහිසුණුද. අපරාධ නීති විධිවිධාන සංග‍්‍රහයේ සදහන්ව තියෙන්නේ මෙය නොවෙයි.

ඒ නිසයි මා සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවෙක් වශයෙන් හදුන්වන්නේ. මක්නිසාද යත් අපේ නීති පද්ධතියට අනුව නෙවෙයි ඒ අත්අඩංගුවට ගැනීම සිදුවී තිබෙන්නේ. මේ නීතිය අපේ ව්‍යවස්ථාවට සීමා වූවක් නොවෙයි. ඒකයි මම මේවගේ ජාත්‍යන්රව අත්සන් තබන අන්තර්ජාල පෙත්සමකට එකඟ වුනේ. මේක ජාත්‍යන්තර නීතියේ උතුම් දෙයක්. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1948 දෙවන ලෝක යුද්දය අවසන් වීමෙන් පසුව මුලින්ම අනුමත කර ගත්තේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය. ඒ විශ්වා ප‍්‍රකාශයේ මුලින්ම සදහන් වෙලා තිබෙනවා සෑම පුද්ගලයෙකුටම පුද්ගල ආරක්‍ෂාව ලැබිය යුතුය කියලා. ඒ විශ්ව ප‍්‍රකාශයේ 09 වෙනි වගන්තියේ සදහන් වෙනවා රටක ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධානවලට නීතියේ විධිවිධාන වලට අනුව අත්අඩංගුව ගත යුතුයි කියලා. ඒ මානව හිමිකම්විශ්ව ප‍්‍රකාශනයේ මුල් අත්සන් කරුවෙක් තමයි ශ‍්‍රී ලංකාව. ආණ්ඩුවට ජාත්‍යන්තරව යුතුකමක් තියෙනවා ඒ විධිවිධානවලට අනුව කටයුතු කිරීමට.

ඉන් පසුව 1978 ශ‍්‍රී ලංකාව සහභාගී වූනා මානව හිමිකම් ප‍්‍රඥප්තියකට. දේශපාලන සහ සිවිල් ප‍්‍රඥප්තියට එහිත් 09 වෙනි වගන්තයේ මේ කරුණම සටහන් වී තිබෙනවා. ඒ නිසා මෙය ජාත්‍යන්තර නීතියයි ඒ නිසයි අපි ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලීමක් කරන්නේ. මෙතන උල්ලංඝණය වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවේ විධිවිධානයක් පමණක් නොවේ ජාත්‍යන්තර නීතියේ විධිවිධානයි.

මිත‍්‍රවරුනි , ජාත්‍යන්තර නීතිය 1948න් පටන් ගත්තක් නොවේ. බි‍්‍රතාන්‍යයේ මේ අයිතිවාසිකම් ආරක්‍ෂා වුනේ මැක්නා කර්ටා කියන ලියවිල්ලකින්. ඒ ලියවිල්ලේ උත්පත්තිය තමයි 1215. නීති පොතට ආවේ යම්තැනැත්තෙකු අත්අඩංගුව ගන්නාව නම් අයිතිවාසිකම් අහිමිකරනවා නම් එය රටේ නීතිය අනුව කළයුතුය කියලා. එබැවින් මෙය සුළු පටු දෙයක් නොවේ. මේ වෙලාවේ අපි ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මෙතන උල්ලංඝණය වී තිබෙන්නේ රටේ නීතිය පමණක් නොවේ ජාත්‍යන්තර නීතියත් උල්ලංඝණයකර තිබෙන බව පැහැදිලිව සදහන් කළ යුතුයි.

සමහර අය කියනවා මේ යුද හමුදා නීතිය අනුව මෙය සිදුකළැයි කියා. යුද හමුදා නීතිය ජාත්‍යන්තර නීතිය ව්‍යවස්ථාව අභිබවා යන නීතියක් නෙවෙයි. එය පැහැදිලිව මතක තබා ගත යුතුයි. යුද හමුදා නීතියත් මේ ව්‍යවස්ථාවට යටත්. ජාත්‍යන්තර නීතියට යටත්. යුද හමුදා නීතිය තියෙන්නේ හමුදාවේ විනය ආරක්‍ෂ කර ගන්න. නොයෙක් අය අනොයෙක් දේ ගැන කියනවා නමුත් මම හිටපු අග‍්‍රවිනිශ්චකාරයවරයා ලෙස කියනවා මේ මූලික වගන්ති ලියවිලා තියෙන13 වෙනි වගන්තියේ යම් තැනැත්තෙක් නීතියට පටහැනිව අත්අඩංගුවට ගැනීම නොකළ යුතුය කියා සදහන් කර තිබෙනවා. 15 වෙනි වගන්තියේ සදහන් වෙලා තියෙනවා, මේ මූලික අයිතිවාසිකම් යුද හමුදාවේ විනය ආරක්‍ෂා කිරීමට සීමා කළ හැකියි කියලා. ඒක බොහොම ලස්සනට ලියලා තිබෙනවා. එහි කරුණු 03 ක් සදහන් වෙනවා. ඉන් එකක් ලෙස යුද හමුදාවේ නිලධාරීන් ඔවුන්ගේ කටයුතු යථා පරිදි ඉටුකරවා ගැනීමට හා ඔවුන් අතර විනයක් පවත්වාගෙන යාම සදහා නීතියෙන් නියම කරන ලද සීමාවන්ට යටත් විය හැකියි කියා. එතකොට යුද හමුදාවේ ඉන්න නිලධාරියෙක් ඒ තැනැත්තාගේ කටයුතු යථාපරිදි ඉටුකරවා ගැනීමට සහ ඒ තැනැත්තා යුද හමුදාවේ අනෙත් නිලධාරීන් අතර විනය පවත්වාගෙන යාම සදහා මේවා සීමා කරන්න පුළුවන් නීතියි. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට තරු හතේ ජෙනරාල්වරයෙක් එයා යුද හමුදාවෙන් ඉවත්වෙලා හිටියේ. ඒ නිසා මේ සීමා කිරීමට එයා යටත් වන්නේ නැහැ. එයා යුදහමුදාවේ නිලධාරීයෙක් නෙවෙයි. එයා විශ‍්‍රාම ගිය කෙනෙක්. ඒ නිසා මේ 15 වෙනි වගන්තිය සම්පූර්ණයෙන්ම පටලවාගෙන වටහාගෙන තිබෙන්නේ. කොන්දේසි තුනක් තිබෙනවා එතුමා යුද හමුදාවේ නිලධාරියෙක් විය යුතුයි ඒ වෙලාවේ, අනෙත් එක ඔහුගේ කාර්යය යථා පරිදි ඉටුකරවා ගැනීමට, මේ සීමා කිරීම කළ යුතුයි. වෙනත් විදියකින් කියනවා නම් යුද හමුදා නිලධාරියෙක් යුද්දයට යන්න කියා නොයා ඉන්නවා නම් ඔහු අත්අඩංගුවට ගත යුතුයි ඒ වෙලාවේ. අනෙත් එක තමයි එයාගේ විනය පවත්වාගැනීමට අවශ්‍ය නම්, මේ කොන්දේසි තුනම සපිරුණොත් තමයි ව්‍යවස්ථාවෙන් කියන්නේ මූලික අයිතිවාසිකම සීමා කළ හැකියි කියා.

ඒ නිසා මේ නීතිය බලන අය මෙය හරියට බලන්නෙ නෑ ඒක කනගාටුවක්. අපි ෆොන්සේකා මහතා වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ඒ පෙත්සම විභාග කිරීම දැන් කල්දාලා තිබෙනවා. මේ ඡන්දෙත් අවසන් වන තෙක් අපේ‍්‍රල් මාසේ 26 වෙනි දින දක්වා අපි කවුරුත් තර්ක කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය පුළුවන් මේවා කල්දාන්න. හැබැයි ව්‍යවස්ථාවේ 126 වෙනි වගන්තියේ සදහන් වෙලා තියෙනවා පැහැදිලිව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම පිළිබද නඩුවක් ඉදිරිපත් කළොත් ඉදිරිපත් කළ දින සිට මාස 02ක් ඇතුලත ඒක විභාග කර අවසන් කළ යුතුයි කියා. ඒවා අපි අතිනුත් කඩවෙන අවස්ථාත් තියෙනවා. නමුත් අපි වෑයමක් ගත්තා මේක අවසන් කරන්නා. නිකම්ම මාසදෙකකට එහා කල්දැම්මාම යම් කිසි තැනැත්තෙකුට ආවේගයක් ඇති වෙනවා සිතුවිල්ලක් ඇති වෙනවා, අපිට මේ රටේ යුක්තියක් තිබෙනවාද කියා. එවැනි ඛේදවාචක තත්වයක් තිබෙනවා.

අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථමවතාවට දේශපාන සන්ධානයක නායකයෙකු, හිටපු මන්ත‍්‍රීවරුව30 දෙනෙකකු පමණ වන සන්ධානයක නායකයෙකු තම මැතිරවරණ ව්‍යාපරයගෙන යන්නේ සිරමැදිරියක සිටයි. එය ප‍්‍රථම වතාවටයි සිදුවන්නේ. ඒ නිසා ෆොන්සේකා මැතිණියට මේ බර කරට ගැනීමට සිදුවෙනවා. එයට අප සුබ පතනවා. එසේම මීට වඩා දෙයක් අප කළ යුතු වෙනවා. අපේ මනසේ සහ හදවතේ ආලෝකයක් දල්වා ගන්න. මානව දයාව අපි පතුරවාලිය යුතුයි. අපි කරන ක‍්‍රියාවේ යම් සත්‍යයක් වේද අපි ප‍්‍රාර්ථනා කළ යුතුයි. අපි සියලූ දෙනාට ඔහු ලබාදුන් නිදහස එතුමන්ට ලැබේවා කියා ප‍්‍රාර්ථනා කරමු. ස්තුතියි.

Comments

  1. 404
    http://www.freesarathfonseka.com/

    ReplyDelete
  2. උසාවියට අපහාස කොරයි කියල එස් බී දිසානායක උන්නැහේ හිරේ විලංගුවෙ දැම්මෙත් සරන් නන්ද සිල්වා මහත්තයාගේ කාලෙ නෙවෙයිද ආයුබොං.

    දැන් මහ උසාවිය සරත් ෆොන්සේකා රඳවා ගන්න ඉඩ දීලනෙ තියෙන්නෙ. එහෙවු එකේ රටේ නීතියක් නෑ කියල කියන කොටත් උසාවියටමනෙ අපහාස වෙන්නෙ.

    එස් බී දිසානායක ගොයියට දාපු නීති සරත් නන්ද නඩුකාර හාමුදුරුවන්ට වලංගු නැ වගේ.

    ReplyDelete
  3. මෙ රට මිනිස්සු හිතන හැටි දැන් බලයෙ ඉන්න කෙනා දන්නවා. ජෙනරල් ව තව ටික දවසකින් නිදහස් කරයි. ජාතික එකයි, ස්වාධින එකයි එකත් වාසියට හරවයි....

    ReplyDelete
  4. මේ සරත්ලා දෙන්නා ම ලංකාව නීතියක් නැති රටක තත්වයට පත් කිරීම සඳහා රාජපක්ෂ පාලනය සමග එක්ව සෑහෙන වැඩ කොටසක් කළ අය බව කවුරුත් දනිති.

    එසේම මේ සරත්ලා දෙන්නාම මේ කහින්නේ අපේ ජාතියේ පියා සහ බාප්පලා මෙන්ම අපට ආදරෙන් නොවන බවද අප මතක තබා ගත යුතුය.

    සරත් පොන්සේකා නිදහස් කල යුතු බව සැබෑවකි. එහෙත් අපේ ජාතියේ පියා නැති වුවහොත් තවත් පියවරැන් ඇති තරම් සොයාගත හැකිවාක් මෙන් එයද ජාතික අවශ්‍යතාවයක් නොවේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා