ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ | The hidden tensions of Sri Lanka's ethnic crisis

අජිත් පැරකුම් ජයසිංහ


ලංකාවේ දෙමළ ජනයාට වර්තමානයේදී සන්නද්ධ අරගලයක් වෙත ආපසු යාමට ඇත්තේ අඩු අභිරුචියක් බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම නම් ගැටුම් විශ්ලේෂක විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ආසියානු වැඩසටහන් අධ්‍යක්ෂ රොබට් ටෙම්ප්ලර් පවසයි. එහෙත්, දෙමළ ජනයාගේ සාමූහික අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීමට රජය දිගින් දිගට ම අසමත් වන්නේ නම්, ඔවුන්ගෙන් ඇතැමෙක් අවසානයේදී ප්‍රචණ්ඩත්වය හරහා විසඳුමක් සෙවීමට නැඹුරු විය හැකි බව ද ඒ සඳහා දෙමළ විදේස්ගත ප්‍රජාවේ ඇතැමුන් උදව් කරනු ඇති බව ද ඔහු පවසයි.


ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අලුත් ම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ. "ලංකාවේ සිටින දෙමළ ජනයා සහ විදෙස්ගත දෙමළ ප්‍රජාව අතර පරතරය පළල් වී ඇත. රටේ සිටින බොහෝ දෙනා දශක ගණනක් තිස්සේ දිග්ගැසුණු යුද්ධයෙන් විඩාපත්ව සිටිති. ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම වෙනුවට ඔවුන්ට උවමනා දුෂ්කර තත්වයන් මැද ජීවිත ගොඩනඟා ගැනීමටයි. පොදු දේශපාලන අදහසක් බලාත්මක කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය නොමැති සංදර්භය තුළ ලංකාවේ දෙමළ නායකයෝ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ප්‍රාමාණික ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් සිටිති. ප්‍රචණ්ඩකාරී නොවන අන්දමින් ‍බෙදුම්වාදය පැතිරවීමට දෙමළ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනමුත් දෙමළ ඊලමට රට තුළින් හා ජාත්‍යන්තරව සහයෝගයක් නැත. වෙන ම රාජ්‍යයක් සඳහා දෙමළ විදෙස්ගත ප්‍රජාවේ අඛන්ඩ ඉල්ලීම් විසින් විදෙස්ගත ප්‍රජාවේ දෙමළ ජනයා ප්‍රචණ්ඩත්වයට කැප වී සිටින්නේ යයි සලකන රාජපක්ෂ රජයේ බිය නඩත්තු කරමින් විනාශකාරී ත්‍රස්ත මර්දන නීති හා හදිසි නීතිය පවත්වාගෙන යාම සඳහා අවසර සපයයි."


බොහෝ දෙමළ ජනයා මුහුණ දී සිටින දේශපාලනිකව කොණ් කරනු ලැබීම සහ අනාරක්ෂිතභාවය නම් වන අර්බුදයේ මූලයන් හේතුවෙන් මතු වන යුක්ති යුක්ත ඉල්ලීම්වලට ලංකාවේ රජය අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම පෙන්වා දෙයි. ජාත්‍යන්තර ප්‍රජාව වඩා බලවත් ලෙස දේශපාලන හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ලංකාවේ රජයට බල කළ යුතු බව ද ප්‍රතිසංවර්ධනය සඳහා ලබා දෙන ආධාර සමග සමාජය මිලිටරිහරණය කිරීමේ හා ප්‍රජාතන්ත්‍රීයකරණයේ කොන්දේසි බැඳී තිබිය යුතු බව ද කණ්ඩායම වැඩි දුරටත් පෙන්වා දෙයි. දෙමළ හා මුස්ලිම් ජනයා බහුතරය ලෙස ජිවත් වන ප්‍රදේශවල අනාගතය තීරණය කිරීමේ තේරුමක් ඇති භූමිකාවක් ඔවුන්ට ලබා දීම ද මෙයට ඇතුළත් විය යුතුය. යුද්ධයේ අවසන් මාසවලදී මිය ගිය දහස් ගණනක් දෙමළ සිවිල් වැසියන් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය බල කළ යුතු යැයි ද ඔවුහු පවසති.


මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ ඇති වී තිබෙන අර්බුදය දෙමළ ජාතිකවාදී දේශපාලනයේ ගැටුම ප්‍රකාශ කරන කැඩපතක් ලෙස දැකිය හැකි ය. මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීන් ගණනාවකට මහ මැතිවරණය සඳහා නාම යෝජනා අහිමි වී තිබේ. නාම යෝජනා අහිමි වූ මන්ත්‍රීන් අතරින් ඇතැමෙක් ආණ්ඩුවට කඩේ ගිය අය වෙති. එහෙත් ඇතැමෙකුට නාම යෝජනා අහිමි වීම පිටුපස ඇත්තේ දේශපාලනික කාරණයකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනික බෙදීම සලකුණු වන්නේ එතැනිනි.


දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා අහිමි වූ වඩාත් දේශපාලනික කොටස වනාහි දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය අවධාරණය කරන දැඩි ජාතිකවාදීහු වෙති. එහෙත්, මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ බලය හිමි වී තිබෙන්නේ ෆෙඩරල් පක්ෂය, ඊ.පී.ආර්.එල්.එෆ් හා ටෙලෝ යන පක්ෂ නියෝජනය කරන ලිබරල්වාදීන් පිරිසකටයි. ඔවුහු මේ වන විට ඉන්දීය හා කොළඹ ආණ්ඩු සමග එක්ව සීමිත බලය බෙදීමක් භාර ගනිමින් ඒකීය ලංකාවක රාමුව තුළ ධනේශ්වර දේශපාලනයකට කැමැත්ත දක්වන පිරිසකි.


පශ්චාත් යුද කාලීන ලංකාවේ දෙමළ දේශපාලනය තුළ මතු වී තිබෙන ප්‍රබල ම ගැටුම ඇත්තේ කොළඹ කේන්ද්‍රීය පාලනය යම් සීමිත සංශෝධන සහිතව භාර ගැනීමට සූදානම් ධනේශ්වර ලිබරල්වාදීන් හා ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් වූ සටන අතහැර දැමීමට අකැමැති දෙමළ ජාතිකවාදීන් අතර ගැටුමයි. මෙය අලුත් තත්වයක් නොව කලක පටන් දෙමළ දේශපාලනය තුළ දක්නට ලැබුණු තත්වයකි. එහෙත්, දෙමළ දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමත් සමග ලිබරල් ධාරාව යටපත් වී ජාතිකවාදී ධාරාව පෙරමුණට පැමිණියේය.


දෙමළ විදෙස්ගත ප්‍රජාවේ දේශපාලනය තවමත් දැඩි ලෙස ම ජාතිකවාදී නැඹුරුවකින් යුක්ත වේ. දෙමළ වෙනම රාජ්‍ය ඉල්ලීම වෙනුවෙන් නැවත ජනවරමක් ලබා ගැනීම සඳහා වූ ජනමත විචාරණ මාලාව දෙමළ ඊලාම් අරගලයේ වර්තමාන ප්‍රජාතාන්ත්‍රික අවධියේ වැදගත් ක්‍රියාමාර්ගයකි. දෙමළ විදෙස්ගත ප්‍රජාවේ දේශපාලනයේ කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට දෙමළ ඊලාම්වාදීහු පසුගියදා සමත් වූහ.


ලංකාවේ භාණ්ඩ වර්ජනය කරන ලෙස හා ලංකාවේ පාලකයන් විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටින සංවිධානයක් වන ලෝක දෙමළ සංසදය හෙවත් Global Tamil Forum විසින් පෙබරවාරි 24දා පවත්වනු ලැබූ ජාත්‍යන්තර සමුළුවක ආරම්භක දේශනය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබැන්ඩ් විසිනි. තහනම් කරන ලද කොටි සංවිධානයට හිතවත්ව සිටි පිරිස් ඇතුළු ලොව පුරා දෙමළ ක්‍රියාකාරිකයන් සහභාගි වූ මෙම සමුළුව පැවැත්වුණේ Houses of Parliamentහිදීය.


බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂයේ සෙවණැලි විදේශ ලේකම් හෙවත් බොහෝ විට මීළග ආණ්ඩුවක විදේශ ලේකම් විය හැකි පුද්ගලයකු වන විලියම් හේග් ‍මෙම සමුළුවේ අවසන් කතාව පැවැත්වූ අතර පක්ෂ භේදයකින් තොරව මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ම මෙයට සහභාගි වූහ. ලංකාවේ තිරසාර සාමයක් ඇති කළ හැක්කේ අව්‍යාජ ජාතික සංහිඳියාවකින් නිසා බ්‍රිතාන්‍යය එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින ලාංකික ප්‍රජාවේ සියලු සාමාජිකයන් සමග තමන් කටයුතු කරන බව කියමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය මිලිබෑන්ඩ්ගේ පියවර අනුමත කර තිබේ. කොටි සංවිධානයේ පරාජයත් සමග දෙමළ ඊලාම් දේශපාලනය වඩාත් සංකීර්ණ තලයක් කරා සංක්‍රමණය වෙමින් ඇති බවට මෙම සමුළුව දෙස් දෙයි.


කොළඹ ආණ්ඩු කේන්ද්‍රීය සිංහල ජාතිකවාදී දේශපාලනය තවමත් දෙමළ ජාතික සන්ධානයේ ලිබරල් ධාරාව සමග හෝ වැඩ කිරීමට සූදානම් තත්වයට වර්ධනය වී නොතිබීම විසින් අර්බුදය තවත් ගැඹුරු කරයි. දෙමළ ලිබරල් දේශපාලනික ධාරාවේ නැඟී ඒම සාධනීය ප්‍රතිඵලයක් ඇති කර ගැනීම සඳහා කළමනාකරණය කර ගත හැකි වනු ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණියහොත් පමණි. එහෙත්, බොහෝ විට සිදු විය හැක්කේ දෙමළ ජාතික සන්ධානය උතුරු-නැගෙනහිර බහුතරයක් ආසන දිනා ගන්නා අතරතුර දකුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලවත් වීමයි. ජතිවාදය ඇතුළු පසුගාමී අගතීන්ගෙන් මිදී දෙමළ ජනයා සමග සම්මුතියකට එළඹීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අසමත් වුවහොත් එයින් වඩාත්ම අර්බුදයට පත් වන්නේ දෙමළ ලිබරල් දේශපාලනයි. තම ජනතාවගේ දේශපාලනික ඉල්ලීම් වෙනුවෙන් අවම බලය බෙදීමක්වත් ලබා දීමට කොළඹ ආණ්ඩුව පොළඹවා ගැනීමට අසමත් වුවහොත් දෙමළ ජාතික සන්ධානයේ ලිබරල් ධාරාව යටපත් කරගෙන නැඟී සිටීමට ජාතිකවාදීන්ට යළි අවස්ථාව ලැබේ. දෙමළ දේශපාලන ඉතිහාසය පුරාම මෙවැනි බලවේග නිරන්තර පාවාදීම්වලට ලක්ව අසරණ වී තිබේ. දෙමළ ජාතික සන්ධානය වර්තමානයේදී ඉන්දියාව කෙරෙහි තබා ඇති වශ්වාසය ගැන ද කීමට තිබෙන්නේ එම කරුණමය.


මේ අතර දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ දේශපාලනය අවසන් වී නැති බවට ඉඟියක් ආණ්ඩුව විසින් ම ලබා දෙන ලදී. ඉදිරියේදී උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ එයින් ජන අවධානය වෙනතකට යොමු කර ගැනීම සඳහා ඇතැම්විට ආණ්ඩුවට සරත් ෆොන්සේකාට වඩා ප්‍රබල සතුරෙකු අවශ්‍යව තිබෙනවා විය හැකිය. කෙසේ හෝ වේවා, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කොළඹ සැරිසරන බවට රහස් ඔත්තු අංශ විසින් වාර්තා කර ඇති බව ද, ඔවුන් කවුරුද යන්න හා ඔවුන් ගැවසෙන තැන් නොදන්නා බව ද, ඔවුන් අත්අඩංගුවට ගන්නා තෙක් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බව ද අගමැති රත්නසිරි වික්‍රමනායක ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. රටින් පිට සිටින ‍ලාංකික දෙමළ ජාතිකයන් ආධාර රැස් කිරීම් කරන බව රහස් ඔත්තු අංශ වාර්තා කර ඇති බව පවසන හේ ඒ කුමක් සඳහාදැයි නොදන්නා බව ද පවසයි.




කොටි සංවිධානයේ යුදමය පරාජයෙන් පසු එම සංවිධානයේ දෙස් විදෙස් ඉතිරි කොටස් සම්පූර්ණයෙන් ම යට ගොස් සිටිති. ඔවුන්ගේ වත්මන් ක්‍රියාකාරකම් පිළිබඳ රහස් ඔත්තු සේවා සතුව ඇත්තේ අවම තොරතුරු ප්‍රමාණයක් බව අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් හෙළි වේ. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කර දැමුව ද, ත්‍රස්තවාදයට සරු පසක් සපයන සමාජ අර්බුද විසඳීම සඳහා පියවර ගැනීමට ලංකාවේ රජය භයානක අන්දමින් අසමත් වී තිබේ. ලංකාවේ මේ මොහොතේ යුද්ධයක් නැති මුත් සාමය තිරසාර කර ගැනීම සඳහා ක්‍රියාමාර්ගවලට එළඹීමක් ද දක්නට නැත. මෙම තත්වය හමුවේ අනාගතය අප සිතන තරම් සුබ එකක් නොවන්නට ඉඩ තිබේ. ප්‍රමාදය පසුතැවිල්ලට මුල විය හැකි බව ලාංකික දේශපාලන ප්‍රජාව සිහියේ තබා ගත යුතුය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා