නාමල්, ඔබට සුබ අනාගතයක්!


(2010 පෙබරවාරි 12-W3Lankaමහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂගේ දේශපාලන සම්ප්‍රාප්තිය ඊයේ තංගල්ලේදී පියාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකින් සනිටුහන් කෙරිණි. සාමාන්‍යයෙන් ලිහිල් බැගී කමිස උඩින් දමා ඇඳීම ප්‍රිය කරන 24 හැවිරිදි නාමල් එදා සිය පියා මෙන් සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබිණි.

රාජපක්ෂ පවුල් පාලනයේ ඔටුන්නේ නිල හිමිකරු වන නාමල් රාජපක්ෂ දේශපාලනයට සම්ප්‍රාප්ත වන්නේ පවුලේ ඇතැම් සාමාජිකයන්ගේ ක්‍රියාකලාපයන් තුන්වන රාජපක්ෂ පරපුරේ අනාගතය මත අයහපත් ප්‍රතිඵල ඇති කරන්නට පවා ඉඩ තිබෙන සිදුවීම් සිදු වෙමින් පවතින සමයකයි. 


එහෙයින් නාමල් රාජපක්ෂගේ දේශපාලන ප්‍රවේශය කැපී පෙනෙන ආකාරයකින් සිදු වීම අත්‍යවශ්‍ය ය. රජ හා දේශපාලන පෙළපත්වල බල පරිණාමය සිදු වූ ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය. බෙලිඅත්ත මන්ත්‍රී ව සිටි ඩී.එම්. රාජපක්ෂගේ අභාවය හේතුවෙන් ඔහුගේ සොහොයුරු ඩී.ඒ. රාජපක්ෂට පාර්ලිමේන්තු ඒමේ අවස්ථාව ලැබුණ අතර රාජපක්ෂ පෙළපතේ දේශපාලන බලය එතැන් සිට අත්පත් වූයේ ඔහුගේ දරුවන් වූ මහින්ද රාජපක්ෂට හා ඔහුගේ සොහොයුරන්ටයි. ඩී.එම්. රාජපක්ෂගේ දියණිය වන නිරූපමා රාජපක්ෂ 1994 පාර්ලිමේන්තුවේ රැඩිකල් මන්ත්‍රිනියක වූ මුත් බාප්පාගේ දරුවන්ගේ නැඟී ඒම හමුවේ ඇය පසු බැස ගියා ය. 


ඩී.ඒ. රාජපක්ෂගේ දරුවන් අතරින් දේශපාලනික වශයෙන් සාර්ථක වූයේත්, වාසනාවන්ත වූයේත්, දක්ෂ වූයේත් මහින්ද රාජපක්ෂයි. 1970දී නාමල්ගේ වයසේ ම තරුණයකු ලෙස පාර්ලිමේන්තුවට තේරී සෙමින් ජනාධිපති පදවිය දක්වා පැමිණි ඔහු සතු ජනප්‍රසාදය විස්තෘත රාජපක්ෂ පවුලේ බල මූලාශ්‍රය විය. මුල සිට ම දේශපාලනයේ සිටි බැසිල් රාජපක්ෂ කලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ නායකයෙක් විය. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා ගැනීමට පෙර වරක් එක්සත් ජාතික පක්ෂයට ද එක් වූයෙකි. 

ගෝඨාභය, බැසිල්, චමල් සොයුරන් හා චමල්ගේ පුත් ශෂීන්ද්‍ර වැනි ප්‍රමුඛ දේශපාලන චරිත අබියස නාමල් රාජපක්ෂ කැපී පෙනෙන අන්දමින් සිය නායකත්වය තහවුරු කර ගත යුතුව තිබේ. 


2007දී 'ද හින්දු' පුවත්පතේ නන්දිනී නායර් විසින් තරුණ නාමල් රාජපක්ෂගෙන් මෙසේ අසන ලදී. 


"ජනාධිපතිගේ පුතා වීම කෙබඳු ද?"


නාමල් රාජපක්ෂගේ පිළිතුර මෙසේ ය: "එය හොඳ හෝ නරක හෝ නැහැ. මම උත්සාහ කරන්නේ මා ම වන්නයි."


ඔබ ඔබ ම වන්න. ඔබට සුබ අනාගතයක්! 


(මේ සමග ඇති ඡායාරූපයේ පසෙකින් සිටින්නා ඔබේ දේශපාලන උපදේශක නම් ඔබට ‍සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි! ආ.....රක්ෂාවයි!)

Comments

  1. Isn't that JRP Sooriyapperuma. Interesting...

    ReplyDelete
  2. නාමල්ගේ සංවේදි කම ගැන කතා කරන්නත් කට්ටියක් හදා ගන්න වෙයි.ශ්‍රි ලං නි ප තින්දු කල අකාරයට අනුව ඒක පවුලකින් එක්කෙනෙක් නම් එයට අනුව නාමල් මහින්දගේ ළමයෙක් වෙන්න බෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා