ජී.එස්.පී. ප්ලස් රැක ගන්න ආණ්ඩුවට තවත් අවස්ථාවක්: හැබැයි මානව හිමිකම් තත්වය නැංවුවොත් පමණයි

(2010 පෙබරවාරි 16-W3Lanka)  පුහු ආඩම්බරකම් පෙන්වන්නට ගොස් දසලක්ෂයක් පවුල්වල ජීවනෝපාය හා සම්බන්ධ ඇඟලුම් කර්මාන්තය අනතුරේ හෙළමින් යුරෝපා සංගමයෙන් ලැබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි කර ගන්නවා වෙනුවට රටේ මානව හිමිකම් තත්වය නංවා ගතහොත් එම සහනය අහිමි වීම වළක්වා ගැනීමේ අවස්ථාවක් ලංකාවේ රජයට තවමත් තිබේ. 


මේ සඳහා මාස හයක කාල සීමාවක් ලබා දී ඇති අතර යුරෝපා සංගමයේ අධ්‍යයන මගින් හඳුනාගෙන තිබෙන මානව හිමිකම් අඩුපාඩු ඉක්මණින් නිවැරදි කර ගැනීමට ලංකාව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව යුරෝපා සංගමයේ වෙළඳ කොමසාරිස් කැරෙල් ඩි ගුච්ට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 


ජී.එස්.පී. ප්ලස් ඔස්සේ ලැබෙන බදු සහන නිසා ලංකාව වසරකට ඩොලර් මිලියන 150ක පමණ ආදායමක් ලබන බව තක්සේරු කර තිබේ. මෙය සුළු ගණනකැයි උදම් අනන ලංකාවේ දේශපාලකයන්ට මෙම සහනය අහිමි වුවහොත් ඇති වන වෙළඳ තරගකාරිත්වය කර්මාන්තයට අහිතකර අන්දමින් බලපාන අන්දම පිළිබඳ අවබෝධයක් නැත. එසේ වුවහොත්, රටට සිදු වන පාඩුව ඩොලර් මිලියන 150ක් නොව අතිවිශාල ගණනකි. 


දිළිඳු රටවල් 16කට යුරෝපා සංගමය විසින් මෙම සහනය ලබා දී තිබුණේ එම රටවල සමාජ හා මානව හිමිකම් තත්වයන් සැලකිල්ලට ගෙනයි. ඒ සඳහා එම රටවල් විසින් ජාත්‍යන්තර සම්මුති 27ක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.



ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් ලංකාවේ ඇඟලුම් අපනයනවල මිළ 10%කින් පමණ වැඩි වන අතර එය ඉල්ලුමට දැඩි ලෙස බල පායි. ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබන රටවල් හා චීනය වැනි ශ්‍රම මිළ අඩු රටවලින් ඇති තරගකාරිත්වය හමුවේ ලංකාවේ ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් ඇති බව අදාළ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෝ පවසති. 


බහුතරය කාන්තාවන් වන ලක්ෂ දෙකක් පමණ වන කම්කරුවෝ ඍජුවම ද, තවත් දස ලක්ෂයක් පමණ ජනයා ද ඇගලුම් කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගනිති. 

Comments

  1. The real cost has been estimated to be 75 million Euros. This is a small cost to pay for the country's sovereignty and independence.

    Another report on this website says that the country's trade deficit has reduced by almost 2 billion dollars. What is 150 or 75 million compared to this.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා