ෆොන්සේකා යනු කුමක්ද හා ඔහු සහ ජවිපෙ දීගය



(2010 පෙබරවාරි 18-W3Lankaවිපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලමින් පුංචි බොරැල්ලේ සිට ලිප්ටන් වටරවුම දක්වා දැවැන්ත පෙළපාලියක් පෙබරවාරි 16දා පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණ දිවයින පුරා පසුගිය සමයේ පැවති උද්ඝෝෂණවල එක් අවදියක් අවසන් කළේය.


මෙම පෙළපාලියත් සමග ‍සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වන උද්ඝෝෂණවල පාලනය ජවිපෙ මුළුමනින් ම සියතට ගෙන තිබේ. මීට පෙර දිවයින පුරා පැවති උද්ඝෝෂණ පොදු ස්වභාවයක් ගත් අතර එක්සත් ජාතික පක්ෂය නාමික වශයෙන් ඒවාට සහභාගි විය. සටන්කාමී සංස්කෘතියක් නැති එජාපය පරාජය හමුවේ පසුබැස මුළුගැන්වෙන තත්වයක සිටි අතර භූමියේදී ජවිපෙ සමග පෑහීමට එයට අපහසු විය. 


ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණ අවධාරණය කිරීම හරහා ජවිපෙ බැහැර කර වෙන ම පෙරමුණක් යටතේ තරග කිරීමේ එජාප උපායමාර්ගය හමුවේ දැනට හුදකලා වී සිටින සරත් ෆොන්සේකා ඉදිරියෙන් තබාගෙන එජාපයට තරගයක් දී විපක්ෂ බලය අත්පත් කර ගැනීමේ උත්සාහයක් වෙත ජවිපෙ මේ වන විට යොමු වී ඇත. 


එක්සත් වන ලෙස එජාප සහ ජවිපෙ නායකත්වයන්ට පහළින් එල්ල වූ බලපෑම කෙරෙහි එජාප මෙන් ම ජවිපෙ නායකත්වය ද කටයුතු කළේ උපායශීලී ලෙස ය. මෙම එක්සත්භාවය ගොඩනඟා ගැනීමේ ඇත්ත උවමනාවක් දෙපක්ෂයේ ම නායකත්වයට නැත. එහෙත්, එජාපය ෆොන්සේකා අතහැර දැමීම හා පොදු විපක්ෂයක් ලෙස එක්ව ආණ්ඩුවට තරගයක් දීමට අකැමැත්තක් දක්වමින් ජාමෙ බේරාගැනීමේ ආරක්ෂණවාදී උපායමාර්ගයක් වෙත තල්ලු වීම සදාචාරාත්මක ප්‍රශ්නයක් ලෙස ඉස්මතු කිරීමට ජවිපෙ සමත් වී තිබේ. මෙම තත්වය හමුවේ ඉදිරි මහ මැතිවරණයේදී එජාපයට තියුණු ම තරගයට මුහුණ දීමට සිදු වන්නේ ආණ්ඩුවෙන් නොව ජවිපෙන් වීමට බොහෝ සේ ඉඩ තිබේ. 


විපක්ෂයේ බෙදීමත් සමග ආණ්ඩුව මහ මැතිවරණයේදී ඉතා පහසු ස්ථානයක සිටියි. එහි ඉල්ලීම වී තිබෙන්නේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගැනීමයි. එජාප උපායමාර්ගය වී ඇත්තේ ආණ්ඩුවට තවත් අවස්ථාවක් දී එය විසින් ම සිය මිනී වල කපා ගන්නා තෙක් කල් ගැනීමටයි. ජවිපෙ උපාය වන්නේ එජාපය පසුබස්වා විපක්ෂ නායකත්වය සියතට ගැනීම විය හැකිය. 


පෙබරවාරි 16 ජවිපෙට සුවිශේෂ දිනයකි. 1988 පෙබරවාරි 16 දින ජවිපෙ විජය කුමාරතුංග ඝාතනය කරමින් ප්‍රචණ්ඩත්වයේ සන්ධිස්ථානයක් සලකුණු කළේය. එදා ජවිපෙ අතින් ඝාතනයට ලක් වූ විජය කුමාරතුංග ජාතීන්ගේ ප්‍රශ්නයට සාකච්ඡාමය සම්මුතියක් අපේක්ෂා කළ අයෙකි. 2010 පෙබරවාරි 16දා ජවිපෙ අතින් උත්කර්ෂයට නැංවෙන ඔවුන්ගේ සිරගත වීරයා ජාතීන්ගේ ප්‍රශ්නය යුදමය මර්දනයකින් අවසන් කිරීමට තීරණාත්මක මැදිහත් වීමක් කළ අයෙකි. 1988 පෙබරවාරි 16දා සාමවාදී විජය කුමාරතුංග ඝාතනය කරමින් ජවිපෙ ඇරඹූ ගමන ඔස්සේ පැරණි වම මුළුමනින් ම පසුබස්වා ප්‍රධාන වාම බලවේගය ලෙස ඉස්මතු වීමේ අවස්ථාව ඔවුනට ලැබිණී. 2010 පෙබරවාරි 16දා යුදවාදී සරත් ෆොන්සේකා කරට ගෙන යන ගමන ඔස්සේ ජවිපෙ ඉලක්කය වන එජාප පසුබස්වා ප්‍රධාන විපක්ෂය බවට පත් වීම සාර්ථක වේ ද අසාර්ථක ‍වේ ද යන්න ඉතිහාසය විසින් තීරණය කරනු ඇත.


එහෙත්, මෙය හුදු හීනයක් නොවන බව අපේ අදහසයි. මන්ද, මහින්ද රාජපක්ෂ පාලනය දරා ගත නොහැකි ජනතාවන්ට අවශ්‍යව තිබෙන්නේ අලස නායකත්වයකින් යුත් එජාපය වැනි මළ හෝන්තුවක් නොව සටන්කාමී විපක්ෂයකි. එයට අවහ්‍ය ඇඟ ජවිපෙ සතුව ඇත. ඔලුව වීමට සරත් ෆොන්සේකාට හැකියාව ඇත. 


අනූව දශකයේ හිරු පුවත්පතේ මාධ්‍යවේදියකුව සිටි විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ ලියූ එක් දේශපාලන ලිපියක මාතෘකාව වූ 'වාසු යන් කුමක්ද?' යන්නෙහි අනුසාරයෙන් '‍‍ෆොන්සේකා යනු කුමක්ද?' යන පැනය මතු කර බැලූ විට අපට දක්නට ලැබෙන ෆොන්සේකා මෙවැන්නෙකි. ඔහු දේශපාලනිකව වතුර වැනි නිශ්චිත හැඩයකින් තොර භාජනයේ හැඩය ගන්නා ප්‍රපංචයකි. මහින්ද රාජපක්ෂ සෙවණේ උග්‍ර සිංහල ජාතිවාදියකු වූ ඔහුට එජාප හා මංගල සමරවීර ඇසුරේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකුගේ හැඩය ලැබී තිබිණි. එජාපය විසින් අතහැර දමා හුදකලා කරන ලද ඔහුගේ අනාගත හැඩරුව තීරණය වනු ඇත්තේ ජවිපෙ බලපෑම තුළයි. 


‍‍ෆොන්සේකා යනු වර්තමාන අර්බුදයේ හේතුවක් නොව එහි ඵලයකි. ලංකාවේ ජාතීන් අතර දිග්ගැසුණු අර්බුදයෙහිදී දෙමළ ජාතිකවාදය විසින් නිර්මානය කරන ලද ප්‍රභාකරන්ගේ නායකත්වයට යුදමය වශයෙන් අභියෝග කිරීමට සරත් ෆොන්සේකා වැනි නිර්දය යුද නායකත්වයක් අවශ්‍ය විය. කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජය ගැනීම සඳහා සිංහල ජාතිකවාදීන් විසින් වැඩෙහි යොදවන ලද්දේ ‍අද ෆොන්සේකාගේ තදබල දුර්ගුණ ලෙස හුවා දක්වන ප්‍රචණ්ඩ යුද නායකත්වය මිස අන් කුමක්ද? ඔහු මහින්ද රාජක්ෂට අභියෝග කළ හැකි පෞරුෂයක් ලෙස ගොඩනඟනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ම ආණ්ඩුවේ සිංහල ස්වෝත්තමවාදී යුද ව්‍යාපෘතිය විසිනි. එම යුද ව්‍යාපෘතිය විසින් දෙමළ අරගලය පොඩිපට්ටම් කර දමා උතුරු-නැඟෙනහිර පළාත් ද මුළුමනින් ම ලංකාවේ ආර්ථිකයට ඈඳා ගැනීමෙන් පසු ධනවාදයට විවෘත වූ නව අවස්ථාව ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස නව නායකත්වයක් හා විධිමත් පාලනයක් පිළිබඳ අපේක්ෂා ධනේශ්වර හා මධ්‍යම පන්තික කොටස් අතරින් මතු වන්නට විය. සරත් ෆොන්සේකා විපක්ෂ ජනාධිපති අපේක්ෂක බවට පත් කළේ එය විසිනි. ඔහු දූෂණයට එරෙහිව යහපාලනය වෙනුවෙන් සටන් වදින්නකු බවට පත් කරනු ලැබුවේ රාජපක්ෂ පාලනයේ සීමාසහිතකම් දරා ගත නො හැකි වූ ධනේශ්වර ක්‍රමය විසිනි. 


ඔහුගේ සුවිශේෂත්වය වන්නේ ඔහු වචනයෙන් මෙන් ම ශරීරයෙන් ද සටන්කරුවකු වීමයි. රාජපක්ෂ පාලනයේ කෲරත්වය නිර්මානය කරන්නට දායක වූවකු ලෙස එහි ස්වභාවය හා තම ක්‍රියාවේ ප්‍රතිවිපාක දැන දැනමත් එය අභියෝගයට ලක් කිරීමේ ධෛර්යය ඔහුට තිබිණි. අද ඔහු විඳින්නේ ඔහු ද දායක වී මෙරට තුළ පසුගිය සිව් වසක කාලය තුළ නිර්මානය කරන ලද ක්‍රමයේ ප්‍රතිඵලයි. ඔහු බලයට පැමිණියේ නම් මේ වන්දිය ගෙවන්නේ ඔහුගේ ප්‍රතිවාදීහු ය. 


එම ක්‍රමය අනුව, නීතිය යනු සතුරන් මර්දනය කිරීම සඳහා කඩුවක් ලෙස ද මිතුරන් ආරක්ෂා කිරීම සඳහා පළිහක් ලෙස ද යොදා ගන්නක් බව ඔහු දැන සිටියේය. අවනීතිය රජ කළ සමාජයක වල් බූරු නිදහස රිසි සේ භුක්ති විඳ පසුව ඒ වල් බූරු නිදහසේ නිර්මාතෘන්ට එරෙහි වූවන් පසුපස දැන් නීතිය හඹා එමින් සිටියි. ෆොන්සේකාගේ සටන දැන් වල් බූරු නිදහස සඳහා ඇති හිමිකම තහවුරු කර ගැනීම සඳහා කරන සටනක් බවට පත් වී තිබේ. එනම්, නිල බලය පාවිච්චි කර දූෂණයේ යෙදීමට අනෙක් ලොක්කන්ට ඇති අයිතිය තමන්ට ද තහවුරු කර ගැනීමේ හා වැරදි කර නිතියෙන් මුක්තිය ලැබීමේ අයිතිය තමන්ට ද ලබා ගැනීමේ අරගලයක් බවට පත් වී තිබේ. එතැනින් ම ෆොන්සේකාගේ දූෂණ විරෝධී සටන් පාඨ අවසන් කිරීමට ආණ්ඩුව සමත් වී ඇත. 


තමන් පෙනී සිටින සමාජ සාරධර්මයන් වෙනුවෙන් තමන් ම පරමාදර්ශයක් විය යුතු බව ෆොන්සේකා මෙන් ම අප සැවොම ද වටහා ගත යුතුව තිබේ. කෙසේ වෙතත්, ෆොන්සේකා යනු මේ මොහොතේදී නම් සිරගත කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් අකා මකා දැමිය නොහැකි ප්‍රබල දේශපාලන සාධකයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ හා නිදහසේ මිනිස් අපේක්ෂාවන් සමග ඉදිරියට යාමට සමත් වන්නේ නම් ඔහුගේ සටන්කාමී පෞරුෂයට අනාගතයක් ඇත. 

Comments

  1. UNP weni satankami nayakatwayak nethi deyaru danawadhi pakshayakata Mahinda weni ekadhipathi palakayeku samaga satnwedimata noheka.UNP yata kala hekke janatawa rawata balaye siteemai.Ranil weni nayakayanata virudha paksa nayaka kama menma samahara UNP ayata mantree kamada etiya.Ounata lebena waraprasada tulin oun seheemakta pathwe.Oun janatawage prashna menma rate prashnada magahari.Fonseka weni stankami prabala charitayaka awashiya thawaya ugaye awashiya thawayaki.Fonseka weni satankameyekuta Mahinda menma Ranil the bayaya.E ounge agagathaya pilibanda prashnayaki.Ranil Fonseka thanikereeme hethuwadha eyai.JVP ya gena kauru monawa keewat niyama washayen rata gena hitamin,janatawa gena hitamin sebe deshapalanayak kereemata utsaha darai.JVP ya gena matha bedha eta,namuth anikuth paksha ha sasandanawita oun sebe deshapremiyo wethi.Fonseka samanga athwel bendageneema rate deshapalanayata aluth balayak ekatu karanu eta.Meya newaradi lesa mehayauwoth pradhana paksa dekatama maha tharjanayak wenu eta.Api bala sitimu,ada ette asdharanaya,horakama,dushanayata erehi satanaki.UNP yata eyata nayakatwaya deemata beriya,ounthe dushitayo wana bewini.Nawa peramuna janata abilashayan samaga ediriyata yamata hekiwewai patamu

    ReplyDelete
  2. tharamak hondayi me analysis eka.

    okenwath vatahenavada ideal world ekayi pragmatic world ekayi athara thiyena wenasa. loke puraa inne MR la gota la Fonseka la thamayi. pudgalikathvayen thoarava samajaya pavathinne ne.

    vanathamulle waththak meddata gihin "adooo waren gaha ganna ooona ekek" kiyana eka prajathanthravadee ayithiyak. Prathipalaya gana kiyanna one ne neda.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා