ජවිපෙ ජාත්‍යන්තර ප්‍රජාවට දුක කියන්නට සැරසෙයි

(2010 පෙබරවාරි 12-W3Lanka)  සරත් ‍ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමත් සමග මතු වූ මහජන විරෝධයට ජවිපෙ නායකත්වය දෙමින් ද සක්‍රියව මැදිහත් වෙමින් ද සිටියි.


ආණ්ඩුව මහා මර්දනයකට සැරසෙමින් සිටින බව හදිසියේ හමුදා කඳවුරු අටක් රැඳවුම් මධ්‍යස්ථාන ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පෙනී යයි. 


ඊළඟ පියවර ලෙස ආණ්ඩුව ජවිපෙ නායකයන් පිරිසක් සිරගත කිරීමට සූදානම් වෙමින් ඇති නිසා ජවිපෙ ඒ පිළිබඳ අවධානය යොමු කර නීති උපදෙස් ගනිමින් සිටියි.


ආරක්ෂාව ජවිපෙ මේ පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට නියමිත බව ජවිපෙ නායකයකු පැවසූ බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ ය.

මේ ජාත්‍යන්තර ප්‍රජාව විය යුත්තේ ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හෝ නෝර්වේ වැනි රටවල් විය නො හැකි ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග එක්ව දෙමළ අරගල පොඩි පට්ටම් කරන්නට කටයුතු කරන සමයේ ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ මේ රටවල් වහකදුරු විය. ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ඔවුන් මතු කළ සියලු ප්‍රශ්න බටහිර කුමන්ත්‍රණ විය. 


ජවිපෙට නිල සම්බන්ධයක් ඇති එක ම රට චිනයයි. එහෙත් චීනයට ලංකාව ව්‍යාපාර තිප්පොලක් වී ඇති අතර ජවිපෙට හෙණ ගැහුවත් චීනය පාඩුවේ බිස්නස් කරනු ඇත. ජවිපෙ කියුබාව, වෙනිසියුලාව වැනි රැඩිකල් පාලකයන් සිටින ලතින් ඇමරිකානු රටවලට ගරු කරනමුත් එම රටවල පාලකයන් ලංකාව කියා රටක් ඇති බවක්වත් දන්නවා ද යන්න සැක සහිත ය. දැන ගත්තත්, ඇමරිකාවේ තර්ජන හමුවේ පීඩිතව සිටින මෙම රටවලට ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කළ හැකි කැකිරි ගෙඩියක් නැත. ජවිපෙට සෙට් විය හැකි ඇමරිකානු අර්ථකථනය අනුව නීච රටවල් හෙවත් pariah states සියල්ල ම පාහේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් කලින් ම අල්ලාගෙන ඇත. 


එක්සත් ජාතීන්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් වැනි ආයතන සියල්ල ද පසුගිය කාලයේ ජවිපෙට කොටි ඒජන්තයෝ වි සිටිය හ. 


ජවිපෙට දැන් සිදු වී ඇත්තේ හිට්ලර් පස්සෙන් එළවාගෙන එන විට මාටින් නිමොලර් විසින් ලියන ලද සුප්‍රකට කවියේ ඇති සන්තෑසියයි. 


ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගන්නට බැරි යයි කතාවක් තිබේ. එහෙත්, මේ රටේ පීඩිත සිංහල ගැමි තරුණයන්ගේ ජනතා ව්‍යාපාරය වන ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමට ඉඩ නො දිය යුතු ය. එය වැළැක්වීමට මේ රටේ ජනයා මෙන් ම ජාත්‍යන්තර ප්‍රජාව ද මැදිහත් විය යුතු ය.


ආපසු හැරී ආ මග නිවැරදිදැයි බලන්නට ජවිපෙට තවමත් කාලය තිබේ. එවිට ඉදිරි මග තෝරා ගැනීම දුෂ්කර නො වනු ඇත. 

Comments

  1. ඔබ මේ ලියා තියේන සටහන නෙවෙයි මහ පොලොවේ පවතින්නේ,අපිත් හිතන් හිටියා ජවිපෙ කියන්නේ මහා පතරංග ජාතකේ වගේ වැඩක් කියලා,ඒක එහෙම නෙවෙයි,ඔවුන් මිනිසුන්ව පුදුම කරන්නේ පොස්ටර් ගැහිල්ලෙන්,උදේ නැගිටලා බලන කොට පොස්ටරේ වැදිලා ඉතිං අපිට හරි පුදුමයි ඇස් උඩ තියං බලාගෙන කල්පනා කරනවා ජවිපෙනේ වැඩ කාරයෝ ඉන්නේ කියලා.මේ රටේ තියෙන ඔකෝම ප්‍රශ්ණ පොස්ටර් වලින්,කතා වලින්,පිකටිං වලින්,‍රැවුල් වලින් විසඳන්න බැරි වගේම සියලුම ප්‍රශ්ණ UNP විසඳන්න එකටත් බෑ.ඒ තරමට මහින්ද අපේ ප්‍රශ්ණ අවුල් කරලා ඉවරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා