විරෝධතා දැක්වීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම

(2010 පෙබරවාරි 15-W3Lanka)  පසුගිය ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කළ  සරත් ෆොන්සේකා මහතා හමුදා අත්අඩංගුවට ගැනීමට එරෙහිව රට තුළ වර්ධනය වන සාමකාමී විරෝධතාවන් යටපත් කිරීම සඳහා රජය අනුගමනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී සාහසික කි‍්‍රයාමාර්ග පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන නීතිඥ සංගමය පවසයි.


එම සංගමය විසින් තත්වය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ ද පවසයි.


 "ප‍්‍රජාතන්ත‍්‍රවාදී  රටක් තුළ රජයට පක්ෂපාතීව අදහස් දැක්වීමට අයිතියක් ඇති සේම එම රජයට විරුද්ධව අදහස් දැක්වීමටද එ් හා සමාන අයිතිවාසිකමක් මහජනයාට තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ආරක්ෂා කිරීමට නම් ඉහත කී අයිතිවාසිකම සුරක්ෂිත විය යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන් විසින් මෙන්ම මෙරට මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින්ද පිළිගෙන තිබේ. 


 "වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකුව සිටියදී මෙහෙයවනු ලැබූ ජනඝෝෂා විරෝධතාවන් එවකට පැවති රජයේ පෙළඹවීම් මත පොලිසිය විසින් මර්දනය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන ලදී. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණයට අනුව, රජය අකැමැති කරුණු පිළිබඳව හෝ රජය දැඩි ලෙස විවේචනයට ලක් කරන මතයන් පිළිබඳව හෝ අදහස් ප‍්‍රකාශ කිරීමට තිබෙන අයිතිවාසිකම උල්ලංඝනය කිරීම භාෂණයේ නිදහස කඩකිරීමක් බව තීරණය කරනු ලැබීය. හදිසි නීතිය හෝ වෙනත් කිසිදු නීතියක් මඟින් සාමකාමී උද්ඝෝෂණයක් සාහසික ලෙස වැළැක්වීමේ ප‍්‍රතිපාදනයක් නීතියේ නොමැති බව අපි ප‍්‍රකාශ කරමු. 


 "මෙම සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීමේ පැහැදිලි රටාවක් අපට දැක ගත හැකිය. අවි මුගුරු රැගත් මැර කණ්ඩායම් සාමකාමී උද්ඝෝෂණ සඳහා රැස්වන අයට එක්රැස් වීමට ඉඩ නොතබමින් බාධා කිරීමත්, පොලිසිය එම මැරයන් ආරක්ෂා කරගනිමින් උද්ඝෝෂණකරුවන් පලවා හැරීම සඳහාත් තම බලය කි‍්‍රයාත්මක කරන බව පැහැදිලිව පෙනේ. පොලිසිය ඉදිරියේ අවි මුගුරු රැගෙන ගැවසෙන මැරයන් අත්අඩංගුවට ගෙන නීතියේ රැහැනට හසු කර ගැනීම පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ පොලිසිය සතු මූලික වගකීමකි. පොලිසිය එම වගකීම හිතාමතාම පැහැර හරිනු පැහැදිලිවම පෙනෙන්නට තිබේ.


 "කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය ඉතා පැහැදිලිවම පෙන්වා දී ඇති පරිදි පොලිසිය ඇතුළුව නීති ක‍්‍රියාත්මක කරන සියළුම ආයතන යැපෙන්නේ මහජනතාවගෙන් ලබා ගන්නා බදු මුදලින් වන බැවින් ඔවුන් මහජනතාවට සේවය කල යුත්තේ දේශපාලනඥයන්ගේ මෙහෙයවීම් මත නොව නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමෙන් බව අපි දැඩි ලෙස ප‍්‍රකාශ කර සිටිමු. 


 "ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනුවත් සියළුම ශිෂ්ඨ සම්පන්න සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී  රටවල් විසින් පිළිගනු ලබන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ඇතුළුව මානව හිමිකම්  සම්මුති වලට අනුකූලවත් සාමකාමී  රැස්වීම් පැවැත්වීමට සහ අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගනියි.


 "එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයේ සියළු ආයතන එකී මානව හිමිකම් වලට ගරු කර ආරක්ෂා කොට වැඩි  දියුණු කිරීම සඳහා බැඳී සිටියි. එබැවින් අප රජයට බල කර සිටින්නේ සාමකාමී රැුස්වීම් වලට සහ විසම්මුතික මත ප‍්‍රකාශ කිරීමට බාධා නොකරන ලෙසත් එම මත ප‍්‍රකාශ කරන අයවලූන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත්ය." 

Comments

  1. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබිලා දැන් අවුරුදු 63ක් ගෙවුනා. මට මතක හැටියට 1960 වගේ කාලයේ සිට කෙමෙන් පුද්ගලික නිදහස නැති වුනා. අද කව්රුත් නිදහසේ අදහස් කීමට මැලි වග පේනවා. මේ අවුරුදු 63 අතර ඉපදී කිසිදා නිදහස යන්න නොදැන මිය ගිය අය ඇතැයි සිතන විට ඇති වන්නේ මහත් වූ ශොකයකි.

    කර්තෘට අදහසක්:
    ZWJ අකුර නොපෙනෙන්න මෙතන පෙන්වාදෙන විදිහට සිංහල ලියා බලන්න:
    http://www.lovatasinhala.com/liyanna.php

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා