ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීමේ අරගලයේ සාර්ථක ආරම්භක පියවරක්

(2010 පෙබරවාරි 04-W3Lanka)  "දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු" යන තේමාවෙන් ඊයේ කොළඹ හයිඩ් පිටියේ පැවති විපක්ෂ ඒකාබද්ධ රැළිය ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීමේ අරගලයේ සාර්ථක ආරම්භක පියවරක් බව අපගේ නිරීක්ෂණයයි.


රැස්වීමට සහභාගි වන්නන්ට හිරිහැර සිදු වනු ඇති බවට අඟවන පුවත් සහ කටකතා පැතිර තිබුණ ද දස දහස් සංඛ්‍යාත ජනකායක් ලිප්ටන් වටරවුමේ සිට පෙළපාලියෙන් පැමිණ හයිඩ් පිටියේ අතුරු සිදුරු නැති වන සේ පිරී ගිය අතර අවට මාර්ග ද සෙනග නිසා අවහිර විය.


ජනාධිපතිවරණය දූෂිත බව හා ආණ්ඩුව මාධ්‍ය හා විපක්ෂ ආධාරකරුවන් මර්දනය කරමින් සිටින බව රැළි‍යේ කථිකයන්ගේ හා සහභාගි වූවන්ගේ චෝදනා විය. ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි අතෘප්තියක් ඇති කරන කටකතා පැතිර යමින් තිබුණත්, ඡන්ද ක්‍රියාවලියේදී ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් හේතු වන දූෂණ ඇති වූ බව ඔප්පු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමට විපක්ෂය අසමත් වී තිබේ. 


සරත් ෆොන්සේකාට සහාය පළ කළ දකුණේ දේශපාලන පක්ෂ සියල්ලේ ම පාහේ නායකයන්ට අමතරව වාමාංශික ජනාධිපති අපේක්ෂක වික්‍රමබාහු කරුණාරත්න ද වේදිකාවේ සිට ජනතාව ඇමතූ අතර විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා වේදිකාවට පිවිසුණ අවස්ථාවේ ජනතාව ඉතා උණුසුම් අන්දමින් ඔහු පිළි ගත්හ.


කලින් සපයා තිබුණු ශබ්ද විකාශණ බලපත්‍ර පොලිසිය විසින් අවලංගු කර තිබුණු බව සංවිධායකයෝ පැවසූ අතර, ශබ්ද විකාශන නොමැතිව බෆල් මගින් පමණක් හඬ නිකුත් වුණ රැළියේ කතා ඇසීමට ජනතාවට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. 


ප්‍රදේශවාසීන්ට හිරිහැරයක්‌ සහ ශබ්ද දූෂණයක්‌ ඇතිවන බවට කරුණු අනාවරණය කර ඇති බවද එනිසා මහජනතාව ශබ්ද විකාශන බලපත්‍ර භාවිතයට විරෝධතාව ප්‍රකාශ කර ඇතැයිද පවසමින් කොම්පඤ්ඤවීදිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා විසින් රැළිය සංවිධායකයින්ට ලිඛිත දැනුම් දීමක්‌ කර ඇති බව අද දිවයින පුවත්පත පවසයි.


රැළියේ ජන සහභාගිත්වය ජවිපෙ විසින් ඉතා හොඳින් සංවිධානය කර තිබුණු අන්දම දක්නට ලැබිණි. අනපේක්ෂිත පරාජයෙන් ඇද වැටී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් ද මෙම රැළියෙන් පසු ප්‍රබෝධවත් වී සිටිනු දක්නට ලැබිණි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා