2010-02-10

ලංකාවේ මේ සිදු වන්නේ කුමක්ද?

අජිත් පැරකුම් ජයසිංහ -

විපක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කළ බව කියන රාජ්‍ය විරෝධී ක්‍රියා හෝ හමුදා විනය විරෝධී ක්‍රියා පිළිබඳව ආණ්ඩුවේ හා හමුදාවේ ප්‍රකාශකයන් කරන ප්‍රකාශ ඔස්සේ තවමත් නිරවුල් අදහසක් ඉදිරිපත් වන්නේ නැත.


කර ඇති මොකක් හෝ වරද හේතුවෙන් මේ වන විට ෆොන්සේකා අත්අඩංගුවේ ය.


පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ෆොන්සේකා අත්අඩංගුවට ගත් පසුවයි. එනම් විපක්ෂයේ මතු වෙමින් තිබුණු සටන්කාමී නායකත්වය සිරගත කර මර්දනය කිරීමෙන් පසුවයි.

ජනාධිපතිවරණය සඳහා එක්සත්ව කටයුතු කළ එජාප, ජවිපෙ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ මහ මැතිවරණය වෙන වෙන ම තරග කිරීමට තීරණය කර තිබිණි. සරත් ෆොන්සේකා ජවිපෙ හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ වැනි පක්ෂ සමග සන්ධානගතව හාවා ලකුණින්  තරග කිරීමට අදහස් කරමින් සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණී.


එජාපය අලියා ලකුණින් වෙන ම තරග කිරීමට කල් තබා ම තීරණය කර තිබිණි. එය එක්තරා අන්දමකින් ආණ්ඩුවට එරෙහි සටන අතහැර දමා විපක්ෂයේ සිය ශක්තිය වර්ධනය කර ගැනීමට ගත් පියවරකි. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සිදු වන විට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිටියේ ඉන්දියානු චාරිකාවන යෙදෙමිනි. 


ජනාධිපතිවරණ පරාජයෙන් පසු සරත් ‍ෆොන්සේකාට එල්ල වූ තර්ජන හමුවේ එජාපය කටයුතු කළේ ඇල්මැරුණු ස්වභාවයකිනි. ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් පසු ද තත්වය එය ම විය. ජනාධිපතිවරණයෙන් පසු ප්‍රතිඵලය පිළිබඳ පැවති මහජන අසහනය විරෝධයක් ලෙස සංවිධානය කිරීමේ උවමනාවක් එජාපයට නො තිබිණි. හයිඩ් පාක් විරෝධතාව සංවිධානය කළේ ප්‍රධාන වශයෙන් ම ජවිපෙ විසිනි. ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම හමුවේ ද තත්වය මෙය ම වීමට බොහෝ දුරට ඉඩ තිබේ. සටන් කිරීමේ අභිලාෂයක් නොමැති එජාපය පැහැදිලිව ම කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂට තවත් අවස්ථාවක් ලබා දීම පිණිස ය. ජනාධීපතිවරණයේදී ෆොන්සේකා විසින් ඉදිරිපත් කරන ලද අභියෝගය නො තකා හැරීමට එජාපයට බැරි විය. ඇතැම් විට සිරගත කරන ලද ෆොන්සේකාගේ ප්‍රබලත්වය මහ මැතිවරණයේදී ද නො තකා හැරීමට එජාපයට බැරි වන්නට පුළුවන. විපක්ෂ සන්ධානය සමග එක් වන්නට එජාපයට බල කෙරෙන්නට පුළුවන. 


එහෙත්, බටහිර පන්නයේ නව ලිබරල්වාදී එජාප නායකත්වයට ෆොන්සේකාගේ මතු වීම වනාහි විකෘතියකි. ඔහුගේ මිලිටරි පසුබිම හා පෞරුෂය සැකයට මුලකි. මාක්ස්වාදී පදනමකින් ධනේශ්වර ක්‍රමය අස්ථාවර කිරීම සඳහා උපායිකව කටයුතු කරන ජවිපෙ සමග ෆොන්සේකා ගොඩනඟා ගත් විශ්වාසය ද එජාපයට ගැටළුවකි. ෆොන්සේකා තේරුම් ගැනීමේදී දේශපාලන මිනුම් දඬුවලට වඩා ඔහුගේ සටන්කාමී පෞරුෂය වැනි මානුෂික කාරණා ප්‍රමුඛ විය හැකි යයි අපට සිතේ. එහෙත්, නව ලිබරල්වාදී ධනේශ්වර පක්ෂයක් වන එජාපයට ඔහුගේ නායකත්වය භාර ගැනීම හෝ ඔහු සමග බලය බෙදා ගැනීම හෝ දුෂ්කර ය. මෙම තත්වය ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලබන විට රනිල් වික්‍රමසිංහ චාරිකාවක යෙදී සිටි රට වන ඉන්දියාවට ද එසේ ම ය. ඉන්දියාව මහින්ද රාජපක්ෂ රජයේ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සක්‍රියව හෝ නිහඬව හෝ අනුමත කරන්නේ මෙම පසුබිම තුළයි. 

ලංකාවේ පාලකයන් මේ වන විට රට යොමු කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා මානව හිමිකම් ආදියට ගරු නො කරන චීන පන්නයේ ධනේශ්වර සමාජ ක්‍රමයක් දෙසටයි. ඔවුන් මේ වන විට බටහිර සමග ඇති සියලු බලපෑම් රැහැන් පටවලින් මිදී ඇති බව පෙනේ. ජී. එස්. පී. ප්ලස් බදු සහන අහිමි වීම මෙම ක්‍රියාවලියේ එක් තීරණාත්මක සන්ධිස්ථානයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සපයා තිබෙන ණය සඳහා වූ මූලික කොන්දේසි වන අයවැය පරතරය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 7% දක්වා අඩු කිරීම වැනි කොන්දේසි කෙරෙහි අඩු අවධානයක් යොමු කර සිටින ලංකාවට එම ණය මුදලෙහි ඉදිරි වාරික අහිමි වීම බටහිර සමග සම්බන්ධයේ එක් යුගයක අවසානය වන්නට පුළුවන. 


මේ වන විට චීනය, රුසියාව, ඉරානය, ලිබියාව, බුරුමය වැනි රටවලින් සමන්විත අක්ෂයක් සමග කටයුතු කරන ලංකාව සහ බටහිර ධනේශ්වර රටවල් සමග බල සම්බන්ධයේ අතරමැදි භූමිකාව කරන ඉන්දියාව ද තත්වය පිළිබඳ සෑහීමට පත් වන බවක් පෙනේ. එක් පැත්තකින් ලංකාව ඉන්දියාවේ කලාපීය ආධිපත්‍යය ප්‍රශ්න නො කරන අතර ඉන්දියාව ඉක්මවා බටහිර වෙත සමීප වීමක් ද නැත. චීනය සමග ලංකාවේ ඇති සබඳතා ආර්ථික කටයුතු මූලික කරගෙන සිදු වේ. 


මහින්ද රාජපක්ෂ කළ ගුණ සලකන්නැයි පොළවේ හැපෙමින් පළි දරමින් ද , අතිශය කෲර ලෙස පහර දෙමින් ද, මේ ඉල්ලා සිටින්නේ පශ්චාත් යුද කාලීන ලංකාවේ පාලනය සඳහා යුක්ති යුක්ත හිමිකමකි. එය ලබා දිය යුතු ය යන ස්ථාවරයේ ඉන්දියාව මෙන් ම එක්සත් ජාතික පක්ෂය ද සිටින බව පැහැදිලි ය. බටහිර ද එය දැඩිව ප්‍රශ්න කරන්නේ නැත. බටහිර ධනවාදයේ ඒජන්තයන් වන එජාපයට 'රට භාරයි නුඹට පුතේ' කියන්නට පෙර මහින්ද ලවා ම සුළු ජාතීන්ගේ අරගල හොඳින් හෝ නරකින් මර්දනය කිරීම, කම්කරු අරගල පාගා දැමීම, ජවිපෙ දිය කර දැමීම, ගැමි ගොවි පංතිය නාගරීකරණයට අභිමුඛ කිරීම, රාජ්‍ය අංශය විනාශයේ දොරටුව අසලට ගෙන ඒම හා පෞද්ගලික අංශය සංවර්ධනයේ එංජිම බවට පත් කිරීම වැනි දුෂ්කර කාර්යයන් සම්පූර්ණ කර ගැනීම බටහිර ධනවාදයේ ඉලක්කයයි. 2005දී අරලියගහමන්දිරයෙන් පිට වී ගිය සාමකාමී ආකාරයට ම මිස්ටර් ක්ලීන් ලෙස යළි එහි පැමිණිය හැකි සුබ අනාගතයක් පිළිබඳ සම්මුතියක් පිළිබඳ රනිල් වික්‍රමසිංහ දකින සිහිනය මේ හා සමපාත වේ.

මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව රට තුළ මතු වූ ප්‍රධාන ම චෝදනාව වූයේ දූෂණයයි. එහෙත්, දූෂණය ධනවාදයේ ඓන්ද්‍රිය ලක්ෂණයක් වන අතර එය ධනවාදයේ ප්‍රධාන බලවේගවලට ගැටළුවක් නොවේ. මහින්ද රාජපක්ෂ පාලනයේ ඇති දූෂණය හා පවුල්වාදය වැනි කාරණා ධනේශ්වර බලවේගවලට එක්තරා අන්දමක ආශිර්වාදයකි. මන්ද, රාජපක්ෂවරු සිය විනාශය සඳහා අවශ්‍ය පිළලය ඒ ඔස්සේ වර්ධනය කර ගනිමින් සිටින බව ඔවුහු දනිති.

ෆොන්සේකා අතරමං වූ දේශපාලන චරිතයක් බවට පත් වන්නේ මෙම පසුබිම තුළයි. නිශ්චිත දේශපාලන බල ව්‍යාපෘතියක ස්ථානගත නොවූ ඔහු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මානුෂීය අපේක්ෂාවන්ගේ සංකේතයක් පමණක් බවට පත් කරන ලදී. බල දේශපාලන ව්‍යාපෘතිවලදී ප්‍රජාතන්ත්‍රවාදය හුදු සැරසිල්ලක් පමණක් බව ඒ පිළිබඳ වැඩියෙන් ම කතා කරන කවුරුත් දනිති. ෆොන්සේකාගේ ඉරණම බටහිරට, එජාපයට පමණක් නොව ජවිපෙට පවා බැරෑරුම් නො වන්නේ මෙම සංදර්භය තුළයි.


ෆොන්සේකාට එරෙහිව පටන් ගන්නා ලද කුමන්ත්‍රණ චෝදනා දැන් විනය ගැටළු බවට අපගමනය වෙමින් තිබේ. පීඩනය, පාවා දීම්, හුදකලාව හෝ අයහපත් සෞඛ්‍යය හමුවේ ඔහුගේ සටන්කාමී පෞරුෂය බිඳ වැටේ නම් ‍ෆොන්සේකාට නිදහස ද ලැබෙනු ඇත. රාජපක්ෂ පවුලේ අවුරුදු හතළිහක කුමන්ත්‍රණ හා එක්සත් ජාතික පක්ෂයේ කූට ව්‍යාපාර හමුවේ ඔහුගේ දින හතළිහේ දේශපාලනයේ 'අපරිණතභාවය' ඔහු විසින් ඔප්පු කර තිබේ. ඔහු අද ලෙළවන්නට උත්සාහ දරමින් සිටින්නේ සදාචාරයේ ධජයකි. එහෙත්, එය යටට රැස් වන්නට තරම් සදාචාරවත් සමාජයක් ලංකාවේ තිබේද?