ශ්‍රී ලංකාවේ 62 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිතුමන් නිකුත් කළ පණිවුඩය

(2010 පෙබරවාරි 04-W3Lanka)  අද අප සමරන 62 වන නිදහස් සංවත්සරය සුවිශේෂී වන්නේ පසුගිය වසරේ දී ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමෙන් පසුවත් අප ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වූ විශ්වාසය යළි තහවුරු කිරීමෙන් පසුවත් පැවැත්වෙන ප්‍රථම නිදහස් දිනය බැවිනි.


යටත්විජිතවාදී පාලනයෙන් හැට දෙවසරකට ඉහතදී ලත් ස්වාධීනත්වය අද වඩාත් අර්ථාන්විත වී ඇත්තේ අප ස්වාධීනත්ව කාල සීමාවෙන් අඩක් තුළ රටේ ස්වෛරීත්වය සහ භෞමික අබණ්ඩතාවයට දරුණු අභියෝගයක් වූ ත්‍රස්තවාදයෙන් දැන් නිදහස ලබා ඇති බැවිනි.


නිදහස් සටනේ දී මහඟු කැපවීම් කළ දේශප්‍රේමීන්ට අපගේ ප්‍රණාමය පළ කරන පමණටම ත්‍රස්තවාදයට එරෙහි සටන ජයගැනීමට සහ ත්‍රස්තවාදය දේශපාලන අවියක් ලෙස යොදා ගැනීමට උත්සාහ කළ දේශීය සහ විදේශීය බලවේග පරාජය කිරීමට දැඩි පරිත්‍යාගයන් කළ අපගේ වීරෝධාර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම විවිධ කැපවීම් කරමින් සටනට දිරිදුන් සියලුම ජනතාවට අපගේ ගෞරව ප්‍රණාමය පුදකළ යුතුය.


ත්‍රස්තවාදය පරාජය කර නිදහස රැකගැනීම සඳහා වූ අපගේ ව්‍යායාමයේ නියම අරුත වටහාගෙන අපට සහය සහ සුහදතාව දැක්වූ සියලුම මිත්‍ර ජාතීන්ට අපි කෘතඥ වන්නෙමු. සාමයේ නව යුගයකට පිවිසෙන අපි අනාගත අභියෝගවලට මුහුණ දීමට සූදානම් වන්නෙමු. ජාතීන් අතර සන්හිඳියාව සහ විශ්වාසය ගොඩනැගීමට මෙන්ම ලෝක ජාතීන් අතර අපට හිමිවිය යුතු සාධාරණ ස්ථානය ලබාගැනීම උදෙසා රට සංවර්ධනය කිරීමට ද සම ප්‍රමුබත්වයක් දැක්විය යුතුය. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතරම අප දියත් කළ සහ නිම කළ යටිතල පහසුකම් නන්වාලීමේ යෝජනා ක්‍රමයන් හි ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතී.


අතීතයේ අපේ මුතුන් මිත්තන් ද මෑත ඉතිහාසයේ දී නිදහස් සටනේ නායකයින් ද පිළිබිඹු කළ පරිදිම අප සියලු දෙනා ජාති ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සංවර්ධනයේ ඵල සහ අයිතිවාසිකම් සම ලෙස බුක්ති විදිය හැකි ඒකීය ශ්‍රී ලංකාවක් සඳහා කැපව සිටින්නෙමු.


අපට ආවේනික සංස්කෘතියේ ස්ථාවර අංගයක් වූ මනුෂ්‍යත්වයට ප්‍රමුබස්ථානය අත්වන දේශයක් ලෙස ද අප කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ද, ප්‍රගතියේ ප්‍රදීපස්ථම්භයක් ලෙස ද, නව ශ්‍රි ලංකාවක් ගොඩනැගීමට දැඩි විශ්වාසයකින් යුතුව ක්‍රියා කිරීම සඳහා ජනතාවගෙන් සවිමත් වරමක් ලැබී ඇත.


මෙම නිදහස සමරන ඓතිහාසික මොහොතේ දී සාමය, ඉවසීම, අන්‍යොන්‍ය විශ්වාසය සහ සමෘද්ධිය සඳහාත් ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ලෙස අප ජනතාව අගය කරන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් උදෙසාත් යළි කැපවෙමු.

Comments

  1. Was wondering why band did not play the full version of our national anthum for the opening of the military salute to the Nation and the President? Normally they play the first chorus at the end after the 21 gun salute!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා