ඇඟිලි සලකුණ හා ෆොන්සේකා

(2010 ජනවාරි 29 -W3Lanka 'රාජ ආණ්ඩුවක් හදන්නට වන්දි භට්ටයින් විනා විමසන ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය නොවන බැවින්' තමන් බ්ලොග් ලිවීම නවතන බව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු බියොන්ඩ් ෆ්‍රේම් සිය අවසාන සටහන තබමින් කීවේය. අවශ්‍ය නො වුණාට, මිනිසුන් හිතන, විමසන එක වැළැක්වීම ලෙහෙසි නැත. හිතා විමසා ලිවීම නම් අනතුරුදායක විය හැකි ය. 


එහෙත් අප නම් දිගට ම ලියන්නට අදහස් කරන්නෙමු. ඒ අප දන්නා දෙය වන්නේ ලිවීම නිසා ය. මේ දිනවල රටේ ප්‍රධාන ම ජනමාධ්‍යය වී තිබෙන කටකතා අංශය සමග සම්බන්ධ වනවාට වඩා මෙය විධිමත් කාර්යයකැයි අපි විශ්වාස කරමු. 


නව තත්වයන් යටතේ අප කරුණු කියන්නේ ආණ්ඩුවට සිය පිටපත්වල අඩුලුහුඬු පෙන්වා දීමට මිස වෙනස් ආකාරයකට හිතන්නට හෝ කරුණු විමසන්නට මිනිසුන් පෙළඹවීම සඳහා නොවේ. මෙය සම්පූර්ණයෙන් ම රාජපාක්ෂික ක්‍රියාවක් බව කරුණාවෙන් සලකන්න. 


ෆොන්සේකා කොයි තරම් නරක මිනිහෙකුදැයි ඊයේ රාත්‍රී මහජන දේපලක් වන ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඇඟිලි සලකුණ වැඩසටහනෙන් අපේ ඇසට ඇගිල්ලෙන් නොව බෝල්පොයින්ට් පෑනෙන් ඇන පෙන්වා දුන්නේ ය. ෆොන්සේකා විසින් කණ කපන ලද කරණවෑමියා හා කණ පලන ලද කෝකියා ද බෝල්පොයින්ට් පෑනෙන් පහර දී ඇස අන්ධ කරන ලද හමුදා නිලධාරියා ද තවමත් හමුදාවේ හෝ වෙන කොහේ හෝ සිටින බැවින් නළුවන් යොදා කරනවාට වඩා මෙම සැබෑ ම පුද්ගලයන් යොදා එකී වැඩසටහන කරන්නට හැකිව තිබිණි. 


එකී වැඩසටහන බැලූ අයට ෆොන්සේකා පිළිබඳ මැවෙන චිත්‍රය හා සමාන චිත්‍රයක් මීට පෙර මාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රභාකරන් සම්බන්ධයෙන පමණි. ඔහු වැනි භයානක පුද්ගලයකු හමුදාපති තනතුරට පත් කළේ ඇයි ද යන ප්‍රශ්නය ඇසීම අවස්ථාවේ හැටියට සුදුසු නො වන්නට ද පුළුවන. ඇඟිලි සලකුණ විකාශය කළ චැනලයෙන් ම මීට පෙර අපට අනේක වාරයක් පෙන්වා දුන්නේ සරත් ෆොන්සේකා ජාතික වීරයකු බවයි. එකල විකාශය කරන ලද වැඩසටහන් නැරඹූ අයට හිටපු හමුදාපති කොටින්ට එරෙහි යුද්ධයේදී කිසිවක් කර නැතැයි විශ්වාස කිරිම ටිකක් අපහසු ය. 


ජනාධිපතිවරණයට තරග කළ පමණින් ජාතික වීරයකු භයානක ද්‍රෝහියකු වන්නේ කෙසේද යන්න තව ටිකක් තර්කානුකූලව පෙන්වා දෙන්නේ නම් හොද ය.


මෙවැනි වැඩසටහන් නීතිය අනුව නම් අපහාසාත්මක වන ඒවා ය. එහෙත් දැන් ඉතින් එවැනි නීති ප්‍රශ්නවලින් ද ලංකාව නිදහස් වී තිබේ. මාධ්‍ය සදාචාරයෙන් නිදහස් වීම ද සම්පූර්ණ වී තිබෙන බව ඇත්තකි. 


එහෙත් අප ආණ්ඩුවට පෙන්වා දෙන්නේ මෙවැනි වැඩසටහන් විසින් ඔබට ඡන්දය දුන් හිතන විමසන මිනිසුන්ගේ සිත්වල හොඳ අදහස් ඇති නො කරන බවයි. මාධ්‍ය නිදහසට ඔබ ඇඟිලි නො ගසන බව අපි දනිමු. එනමුත්, මෙබඳු වැඩසටහන් පාලනය නො කරන්නේ නම් හිතන, විමසන මිනිසුන් ආණ්ඩුව කෙරෙහි කලකිරීමට ඉඩ ඇත. 

Comments

  1. ඔය කියන විදිහට එල්.ටී.ටී.ඊ ය මර්දනයට ආණ්ඩුවට යවල තියෙන්නෙ තවත් ප්‍රභාකරන් කෙනෙක්. තමන්ගෙ සහායකයන් ඔය කියන විදිහට මර්දනය කළා නම් දෙමලුන්ව කොහොම මර්දනය කරන්න ඇත්ද?

    බලා ගෙන යන කොට ආණ්ඩුව යුද අපරාධ කළාය කියන කතාව ඇත්තද?

    එහෙම උනොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙන්නෙ.

    ඉතින් ආණ්ඩුව අමාරුවෙ දාන්න ආණ්ඩුවෙම ජාතික රූපවාහිනිය ඇයි මෙතරම් මහන්සි වෙන්නෙ?

    ඇතුගල දැන් එල්.ටී.ටී.ය. එක්ක සෙට් වෙලාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා