හොර වෙද්දු යනු මානසික රෝගීහු හා ජාවාරම්කරුවෝ ය

(2009 දෙසැම්බර් 31 -W3Lanka) රට පුරා රෝගීන් ගසා කමින් අමාරුවේ දමමින් සිටින හොර දොස්තරලා පිළිබඳ කටයුතු කිරීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට පවරා තිබේ.


රට පුරා හොර දොස්තරවරු 6000ක් පමණ සිටින බව වාර්තා පවසයි. මේ හොර දොස්තරවරු වැඩියෙන් ම සිටින්නේ කොළඹින් දුර ඈත ප්‍රදේශවලයි.


මොවුන්ගෙන් ඇතැමෙක් ආයුර්වේද, යුනානි, හෝමියෝපති වැනි වෛද්‍ය සුදුසුකම් ඇති අය වුවත්, ඔවුන් කරන්නේ ඇලපති ප්‍රතිකාර හෙවත් බටහිර වෙදකමයි.


තවත් සමහරු වෛද්‍ය ක්ෂේත්‍රයේ වෙනත් රැකියාවල නියුතු ව සිටි අය වෙති. මොන ම සුදුසුකමක්වත් නොමැති අය ද බහුල ය. නිදසුනක් ලෙස පදවි-ශ්‍රීපුර ප්‍රදේශයේ කලක් වෛද්‍ය ප්‍රතිකාර කළ එක් පුද්ගලයකුට තිබුණු සුදුසුකම වූයේ ඔහුගේ අයියා සහකාර වෛද්‍ය නිලධාරියකු වීමයි.


මේ අතර, ආයුර්වේදයේ හා දේශීය සම්ප්‍රදායික වෙදකමේ නමින් කෙරෙන ජාවාරම් රැසක් ද රට පුරා තිබේ. මෙම ඊනියා සායන පවත්වන්නන් බොහෝ දෙනෙක් භින්නෝන්මාද රෝගී ලක්ෂණවලින් යුතු අය වෙති. එනම් තමන්ට යම් ගුප්ත බලයක් ඇතැයි සිතන්නෝ වෙති. පිළිකා වැනි මාරාන්තික රෝග පවා සිය ප්‍රතිකාරවලින් සුව කළ හැකි බව ඇතැමෙක් විශ්වාස කරති. සමහරු ඇස්වල සුද නැති කරන්නට කකුලට බෙහෙත් බඳිති. එක් අතකින් එය නරක ම නැත. මක් නිසා ද යත් ලෙඩා අන්ධ වන්නේ ඇසට දමන බෙහෙතින් අැස නරක් වී නොව කාචයේ සුද බැඳීමෙන් ම නිසා ය.


මොවුන් සමාජයට කරන හානිය සුළු පටු නොවේ. නිදසුනක් ලෙස රිය අනතුරකට ලක්ව රජයේ රෝහලක ශල්‍යාගාරයකදී සැත්කමකට පාත්‍ර කළ එක් රෝගියෙක් අනුරාධපුර ප්‍රදේශයේ එක් කැඩුම් බිඳුම් වෙදෙකු ළඟට ප්‍රතිකාර ගැනීමට ගිය විට ඔහු සමග ගිය පුද්ගලයකුට මෙම වෙදා පිහියක් දී අර ප්ලාස්ටරය කැප්පෙව්වේ ය. මාස හයකට පමණ පසු ඔහුගේ තෙලේ බලෙන් දැන් එම රෝගියා කොර ගසමින් ඇවිදියි.


ලාංකීය සමාජය සාමාන්‍යයෙන් ද විද්‍යාව පිළිගන්නේ ඉගෙගෙන රස්සාවක් කිරීම සඳහා සුදුසු දෙයක් ලෙස මිස ජීවිතය තුළ භාවිතා කළ යුතු දෙයක් ලෙස නොවේ. මෑත කාලයේදී නලින් ද සිල්වා වැනි අය විසින් ඉදිරිපත් කරන ලද දාර්ශනිත මතවාද ජාතිවාදය ඔස්සේ සමාජයට පෙරී කාන්දු වී ඇත්තේ සාමාන්‍ය මිනිසුන්ගේ මොළ තවත් කුරුවල් කරමිනි.


යන්ත්‍ර මන්ත්‍රවලින්, පිරිත් පැන්වලින්, බෝධි පූජාවලින්, දේව බලයෙන්, විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන්නන් හත් අටදෙනෙකු මේ දිවයිනේ ඔනෑම පඳුරකට පයින් ගැසූ විට දිව යන්නේ සමාජයේ පැතිරෙමින් තිබෙන මුග්ධකම නිසා ය.


ලංකාව සෞඛ්‍යවන්ත දේශයක් බවට පත් කිරීමට නම් මෙකී නොකී සියලු ගොඩ වෙද්දු හා රටේ වෙද්දු අල්ලා මානසික රෝහල්වලට හා සිර ගෙවල්වලට යවා පුනරුත්ථාපනය කළ යුතු ව තිබේ.


බටහිර විද්‍යාව සමග ඇති දාර්ශනික ප්‍රශ්න මේ හොර ජාවාරම් සහ මානසික රෝග සමග පටලවා නො ගත යුතු ය.


Comments

  1. යන්ත්‍ර මන්ත්‍රවලින්, පිරිත් පැන්වලින්, බෝධි පූජාවලින්, දේව බලයෙන්, විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන්නන් හත් අටදෙනෙකු මේ දිවයිනේ ඔනෑම පඳුරකට පයින් ගැසූ විට දිව යන්නේ සමාජයේ පැතිරෙමින් තිබෙන මුග්ධකම නිසා ය.

    පට්ට කථාව !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා