කඳුරට දෙමළ ඡන්ද මහින්දගෙන් ඈත් වන ලකුණු


(2009 දෙසැම්බර් 30 -W3Lanka) ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක ආර්. යෝගරාජන් සහ නියෝජ්‍ය ඇමති එම්. සචිතානන්දන් එම පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහයෝගය පළ කිරීම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කඳුරට දෙමළ ජනයාගේ ප්‍රතිචාරය කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට ඉඩ ඇති බව පෙනේ.


යෝගරාජන් විපක්ෂයට එක් වෙමින් පෙන්වා දුන් කරුණක් වන්නේ තම ප්‍රජාව වන ඉන්දීය සම්භවයක් ඇති කඳුරට දෙමළ ජනතාව පසුගිය බස්නාහිර හා සබරගමු පළාත් සභා ඡන්දවලදී තම පක්ෂයේ එක් නියෝජිතයකු හෝ පළාත් සභාවලට පත් නො කිරීමෙන් තම පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඇති සන්ධානය ප්‍රතික්ෂේප කර ඇති බවයි.


පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී කඳුරට දෙමළ ජනයා නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට ගොස් සිටියදී පවා වතුකරයේ ජනයා මහින්දට එතරම් කැමැත්තක් පෙන්වූයේ නැත. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තොන්ඩමන්, චන්ද්‍රසේකරන් හා අනෙක් සියලු වතු කම්කරු නියෝජිතයන්ගේ සහයෝගයෙන් සන්ධානය ඡන්ද 146,418ක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ඡන්ද 128,289ක් ලබා ගත්තේ ය.


වතුකරයේ හදවත වන් නුවරඑළිය - මස්කෙළිය ආසනය වැඩි ඡන්ද 10,000කින් එජාපය ජය ගත්තේ ය.


සන්ධාන ආණ්ඩුව පසුගිය සිව් වසරක කාලය තිස්සේ ම කඳුරට දෙමළ ජනයා සම්බන්ධෙයන් අනුගමනය කළේ උතුරේ දෙමළ අරගලය මර්දනය කිරීමේ මුවාවෙන් එම ප්‍රජාව ද මර්දනයට ලක් කර බියවැද්දීම හා වරදාන ඔස්සේ ඔවුන්ගේ නායකයන් තම ග්‍රහණයට ගැනීමයි. පීඩිත කඳුරට ජනයාගේ නායකයන් සන්ධාන ආණ්ඩුවට කඩේ යාමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ බස්නාහිර හා සබරගමුවේ ‍පීඩිත දෙමළ මිනිසුන්ගේ ඡන්දයෙන් සිංහල ජාතිවාදීන් පිරිසක් පළාත් සභාවට පත් වීමයි.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා